ක්‍රීඩා පුවත්විශේෂාංග

සචින්ගේ සුපිරි ලෝක වාර්තාව කැඩූ අවුරුදු පහළොවේ අපේ කෙල්ල

90 දශකයේ සිට ලොව ක්‍රිකට් ප්‍රජාවම වර්ණවත් කළ සචින් තෙන්ඩුල්කාර්ගේ මතකය කිසිවකුටවත් අමතක කිරීමට නොහැකි වී තිබෙන්නේ ඔහුගේ සුපිරි පිතිහරඹය එතරම්ම මනස්කාන්ත වූ බැවිනි.

අවුරුදු 16දී ටෙස්ට් හා එක්දින වරම් දිනාගත් තෙන්ඩුල්කාර් පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගන්නා විට යාන්තම් අවුරුදු 16 මාස 7ක් වී තිබූ අතර, එදා ඔහු දැක්වූ දක්‍ෂතා ගොන්න බිඳ දැමිය හැකි ක්‍රීඩකයකු තවමත් බිහිවී නොමැත.

එදා අවුරුදු 16 මාස 7කදී තෙන්ඩුල්කාර් පිහිටු වූ ලෝක වාර්තාව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වෙතින් බිඳ වැටී තිබීම එක්තරා අයුරකින් අපට සතුටු විය හැකිය. කවීෂා කුමාරි එගොඩගේ නම් ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක නොවූවද එම වාර්තාලාභිනිය ශ්‍රී ලාංකිකයකු වීම අප සියලු දෙනාගේම ගෞරවය ඇයට හිමිවිය යුතුය.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය දක්වන දක්‍ෂතා දෙස බලන විට අනාගතයේදී වාර්තා හඹායෑමට හැකි ක්‍රීඩිකාවක් විය හැකි යැයි අනුමාන කළ හැකිය.

2003 වසරේ අප්‍රේල් මස 23 වැනිදා උපන් කවීෂා වයස අවුරුදු 9දී ක්‍රිකට් පිටියට පිවිස ඉන් අනතුරුව 2014 වසරේදී එනම් ඇයට යාන්තම් අවුරුදු 11ක් සපිරුණු අවස්ථාවකදී ජාතික කණ්ඩායම (එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පිල) නියෝජනය කිරීම ඇයගේ දක්‍ෂතාවලට හොඳ උදාහණයක් සපයා තිබේ. 2014 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල නියෝජනය කරමින් ඇය ඕමාන්හිදී පළමු ශේ්‍රණියේ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබූ අතර, එලෙස ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ලොව ළාබාල තම ක්‍රීඩිකාවක් බවටද ඇය පත්වී තිබිණි.

මෙයට වසර තුනකට පෙර එනම් 2018 වසරේ ජුලි මස 07 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වන විට ඇයගේ වයස අවුරුදු 15යි මාස 2ක් වීමද විශේෂත්වයකි.

2019 වසරේ ජනවාරි මසදී තායිලන්තයේදී පැවැති තායිලන්ත කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ((Thailand Women’s T20 Smash) මලයාසියාවට එරෙහිව නොදැවී ලකුණු 57ක් ලබාගනිමින් 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී අර්ධ ශතකයක් ලැබූ ලොව ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව (අවුරුදු 15යි මාස 9කදී) බවටද ඇය පත්විය.

මෙතරම් ළාබාල වයසේදීම ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට පැමිණි කවීෂා මේ වනවිට කාන්තා ක්‍රිකට් පිටිය තුළ දක්වන දක්‍ෂතා දෙස බලන විට ඉදිරියේදී ඇයගේ නමින් තව තවත් වාර්තා සටහන් වීම නොවැළැක්විය හැකිය.

ඇයගේ මෙම සුපිරි දක්‍ෂතා නිසාම 2019 වසරේදී පැවැති ශ්‍යාම් භාතියා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව බවටද ඇය පත්වී තිබූ අතර, එම සම්මානය කුමාර් සංගක්කාර වෙතින් ලැබීම සතුටට කරුණක් බවත්, අනාගතයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේ නම් එය භාග්‍යයක් බවද ඇය පවසා තිබේ.

“මම දැනට ඩුබායිවල සිටියත් අපේ පදිංචිය පන්නිපිටියේ. මම ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමැතියි. පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් මාත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ අය කිව්වා ශ්‍රී ලංකාවට ඇවිත් දේශීය ක්‍රිකට් තරග සෙල්ලම් කරන්න කියලා. මගේ මවුපියනුත් කැමැතියි මම ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනවා නම්. මගේ උපාධිය සම්පූර්ණ කළාට පස්සේ මේ ගැන හිතනවා” යැයිද ඇය වෙබ් අඩවියකට සඳහන් කර තිබිණි.

මේ වනවිට ඩුබායි හි පරිගණක පිළිබඳ ගෞරව උපාධියක් හදාරන ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ උප නායිකාව ලෙසද කටයුතු කිරීම කැපී පෙනේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල වෙනුවෙන් මේ වනවිට විස්සයි-20 තරග 14කට සහභාගි වී ඇති කවීෂා එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 209ක් ලබා ඇති අතර, බිඳ හෙළා ඇති කඩුලු ගණන 7කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කිරීමට අවශ්‍ය වටපිටාව සම්බන්ධයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබූ බව ඇය පවසා තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා මහතාගෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු පැවැසුවේ එම ක්‍රීඩිකාව එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුකර නොමැති බවත්, වෙනත් නිලධාරියකුගෙන් ඒ සම්බන්ධයෙන් විමසා ඇත්දැයි තමන් නොදන්නා බවත්ය.

“ඇය දක්‍ෂ ක්‍රීඩිකාවක්. ඒත් ඇය එසේ ඉල්ලීමක් කළේ කාගෙන්දැයි කියලා මම දන්නේ නැහැ. ඒත් මම දැනුවත්ව ඇයගේ පාර්ශ්වයෙන් කිසිවෙක් ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර නැහැ. සමහර විට අපේ ක්ලබ් (ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයකින්) එකකින් කතා කළා වෙන්න පුළුවන්. කොහොම වුණත් එවැනි ඉල්ලීමක් ක්‍රිකට් ආයතනයට ලැබුණොත් මගේ තනි කැමැත්තට තීරණයක් ගන්න බැහැ. ඒ ඉල්ලීම ක්‍රිකට් විධායක සභාවට දාලා, එහි අනුමැතිය ඇතිවයි තීරණයක් ගන්න ඕන. එතනදී එයාගේ හැම පැත්තක් සම්බන්ධයෙන්ම අවධානයට ලක් කළ යුතුව තිබෙනවා” යැයිද ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කළේය. කරුණු කාරණා එසේ තිබියදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට ඇය දක්වන කැමැත්තට සාධාරණයක් ඉටුකරමින් ඇයගේ දක්‍ෂතාවලින් ප්‍රයෝජනය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සුක වන්නේ නම් එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලෙහි අනාගතයට සුභදායී බව කිව යුතුමය.

විචිත්‍ර වීරසිංහ

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button