දේශීය පුවත්

සිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඊයේ (මැයි 7) හිමි විය.

ඒ අනුව, කොවිඩ්-19 රෝගයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ 6 වන එන්නත මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වීම නිසා සිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව, කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් තෝරා ගෙන එම ප්‍රදේශවල ජනතාවට මෙම එන්නත ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා ‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමකදී සඳහන් කළේ ය.

එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වුව ද මෙරට ජනතාවට ලබා දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා ගත යුතු ද? යන්න පිළිබඳව ‘මව්බිම’ වෙබ් අඩවිය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිනොෆාම් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුවහොත් එය මෙරට ජනතාවට ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මීට පෙර තීරණය කර තිබුණු බවය.

“NMRA එකේ අපි තීරණයක් අරන් තිබුණේ මීට ඉස්සෙල්ලා, WHO අනුමැතිය ලැබුණොත් අපිට ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ.”

ඒ පිළිබඳව ‘මව්බිම’ වෙබ් අඩවිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙන් විමසීමක් කළ කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, ලැබී ඇති දත්තවල හිඟ බව මත ඔවුන්ට සිනොෆාම් එන්නත අනුමත කළ නොහැකි බවය.

කෙසේ වෙතත් සිනොෆාම් එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට එය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර ඇති බව ඒ මහතා පැවසීය.

“එන්නතක් අනුමත කිරීමේදී, අපි කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව යන සාධක තුනක් සැලකිල්ලට ගන්නවා. මේ වන විට, චීන එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ දත්ත අප සතුව නැහැ, එන්නත ලබා ගත් අයගෙන් කිසියම් අතුරු ආබාධයක් වාර්තා වී තිබේ ද යන්න වැනි කරුණු සම්බන්ධ දත්ත ද ඇතුළුව,” ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම්, එය අවශ්‍ය සියලු පූර්ව අවශ්‍යතා සපුරාලන බවත් ඒ අනුව ලබන සතියේ සිට එය මෙරට ලබා දීමට හැකි වනු ඇති බවත් වෛද්‍ය කමල් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, ‘මව්බිම’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ලොව පුරා රටවල් 52 දෙකක මෙම එන්නත භාවිත කරන බවත් චීනය මේ වන විට මිලියන 280ක ජනතාවකට සිනොෆාම් එන්නත ලබා දී ඇති බවත් ය.

එමෙන් ම, සිනොෆාම් එන්නත ලබා ගත් කිසිවෙකුගෙන් මේ වන තෙක් අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වී නොමැති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

“රටවල් 52 තව මිලියන 160කට 180කට විතර පාවිච්චි කරලා තියෙනවා. එතකොට කිසි ම side effect එකක් report කරලා නෑ අපිට තාම. ලෝකේ කොහෙවත් report වෙලත් නැහැ. ඩුබායි රජ්ජුරුවන්ගේ ඉඳන් පල්ලෙහාට එනකම් ම සිනොෆාම් එක ගැහුවේ. ඔය කරුණුත් එක්ක, WHO එකටත් ඉදිරිපත් කරලා තියෙන කරුණුත් එක්ක අපි අපි බලාපොරොත්තු වෙනවා අපිට මේකට අවශ්‍ය අනුමැතිය ලැබෙයි කියලා.”

ඉකුත් දා මෙරට සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් චීනයෙන් ලැබුණු අතර එම අවස්ථාවේදී රජය ප්‍රකාශ කළේ, එම එන්නත් ලබා දීමේදී මෙරට සේවයේ නිරතව සිටින චීන ජාතිකයින්ට ප්‍රමුඛතාව හිමි වන බවය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරනු ලබන තුරු චීනයෙන් ලබා දී ඇති Sinopharm එන්නත මෙරට තුළ භාවිත කරීම වහා ම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අප්‍රේල් 9 වන දා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය විසින් ගෞරී සංගරී තවරාසා නීතීඥවරිය මගින් පෙත්සමක් ද ගොනු කර තිබිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button