තරු හුට පටවිශේෂාංග

‘ජනප්‍රිය නළුවා’ සම්මානය මගේත් සිහිනයක් – සජිත

කලා ක්ෂේත්‍රයේදී අපට මුණගැහෙන කලා පවුල්වල පුතුන් අතරින් ‘සජිත අනුත්තර’ කියන්නෙ සැබෑම දක්ෂයෙක්. ඒ ගැන ආයෙ අමුතුවෙන් විස්තර කළ යුතු නැති තරම්. ජැක්සන් ඇන්තනී නමැති මහ පරිමාණයේ රංග ශිල්පියාට, කලාකරුවාට නොදෙවෙනි වූ හැකියාවක් ඇති සජිත අදට වඩා හෙටට බොහෝ දේ කරාවි.

ඒ ගැන අද ඔහු කරන-කියන දේ වෙතින් අපට පැහැදිලි කරගත හැකිය. මේ දිනවල ප්‍රේක්ෂකයාගේ ආදරණීය ගෞරවයට ඔහු පත්ව සිටින්නේ, නාඩගම්කාරයෝහි ‘සරා’ ලෙසය. යළිත් ඔහු සමඟ මේ කතා බහ ‘සරා’ වූ නිසාම ජනප්‍රියම ටෙලි රංග ශිල්පියා ලෙස ලද සම්මානය නිසාය. මෙවර අප සමග කතා බහට එක්වන්නේ ‘සජිත’ විතරක්ම නෙවෙයි. ඔහුගේ ආදරණීය බිරිඳ ‘බුවිනි’ නැතිනම්, ‘බුවි’ ත් මෙවර සඳැල්ල කතා බහට එක්වුණේ මේ විදියටයි.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී ‘ජනප්‍රිය’ සම්මානය ඔබට ලැබුණෙ පළවෙනි වතාවටයි. ඔබගෙ ‘අප්පච්චිට’ කී වතාවක් මේ සම්මානය ලැබී තිබෙනවාද කියලා මතකද? 

මට ලැබුණෙ පළවැනි වතාවට. මම හිතන විදියට අප්පච්චිට සහ අපේ අයියා අකිලටත් ජනප්‍රිය සම්මාන ලැබී තිබෙනවා. හැබැයි දෙන්නටම ලැබුණෙ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන්.

එකම ගෙදර කොල්ලෝ තුන්දෙනාටම ‘ජනප්‍රිය’ සම්මාන ලැබිලා? 

අප්පච්චිටයි, අයියටයි, මටයි, තුන්දෙනාටම – ඔව්නෙ.

ඒ ගැන මොකද හිතෙන්නේ. 

ජනප්‍රිය හෝ කුසලතාවය සඳහා හෝ ඕනෑම සම්මානයක් කියන්නෙ නළුවකුට සිහින සැබෑවීමක් සහ ලොකු උත්තේජනයක්. ජනතාවගෙන් අපට ලැබෙන ආදරය වගේම, චිත්‍රපට ක්ෂේත්‍රය අධ්‍යයනය කරන පිරිස අපට කරන අගැයීම, අපට ඔප්පු කරවන සළකුණක් වගේ දෙයක්. ඒ අතරින් ජනප්‍රියම නළුවා කියන එක ඕනෑම නළුවකුගේ වගේම මගේත් සිහිනයක්. මෙකේ ජූරිය වෙන්නෙ ජනතාවගේ ආදරය තමයි. සම්මානයක් විදියට ලැබෙන්න.

අප්පච්චි මේ ගැන මොනවද කිව්වේ? 

අප්පච්චිට හරි සන්තෝෂයි. අපේ කුඩා කාලයේ සිට අපි තෝරාගත්ත මාර්ග, අධ්‍යාපනය තෝරා ගත්ත විදිය ආදි සියල්ල ගැන අප්පච්චි බොහොම ආඩම්බරයෙන් බලා සිටින චරිතයක්. අක්කයි, අය්යයි, මමයි, මෙතෙක් කළ කී දේ සියල්ල ගැන බලා අප්පච්චි පුදුම විදියට ආඩම්බර වෙනවා. අම්මත් අප්පච්චිත් දෙන්නම එහෙමයි.

මම කලා ලෝකයේ හය හතර ඉගෙන ගත්තෙ අපේ අප්පච්චිගෙන්. එදා මම මේ සම්මානය ගනිද්දි ඉස්සරහා හිටියෙ අප්පච්චි. එයා ඉදිරියේ අත්පොළසන් හඬ මැද වේදිකාව මතට ගිහින් මේ වගේ සම්මානයක් ගන්න මම පුදුම විදියට පින් කරලා තියෙනවා. අප්පච්චිගේ මුහුණ තිබුණෙ හිනාවෙන්. එදා මම එය දුටු දෙයක්.

නාඩගම්කාරයෝ රූගත කරද්දි, වතාවක් ඔබ සහ ඔබගේ බිරිඳටත් නිරෝධායනය වෙන්න සිදුවුණා. අද නැවතත් කොරෝනා භීතියෙන් ලෝකය වෙලාගත් මොහොතක ඔබ රටට කියන පණිවුඩය මොකක්ද? 

ප්‍රශ්න කියන ඒවායේ විශාලත්වය කුඩා හෙවත් චූල ප්‍රමාණයේ සිට ගෝලීය ප්‍රශ්නයක් දක්වා වෙන්න පුළුවන්. කොවිඩ් ගෝලීය අර්බුදයක්. මේ නිසා පුද්ගලිකව අපි සුවය ලැබුවා කියනවාට වඩා, සෞඛ්‍ය අංශ දැණුවත් කළත්, ආර්ථික අර්බුද හමුවේ සමහර වෙලාවට ඒ නීති රීති හරියට පිළිපදින්න වෙන්නෙ නැහැ. අන්න එතකොට තමයි රෝගය වඩාත් පැතිරෙන්නෙ. ඒ නිසා, අනෙක් කෙනා ගැන හිතලා. සෞඛ්‍ය අංශ කියන විදියට කටයුතු කළොත් මෙය අපට පාලනය කර ගන්න පුළුවනි. ඒ නැතත්, මෙය වැළඳුනාය කියන්නෙ ලෝක අවසානය නෙවෙයි. ශාරීරිකව සහ මානසිකව ශක්තිමත්ව අපි මීට මුහුණ දීලා කටයුතු කළ යතුයි.

‘සරා’ ට ගෙදර පිළිගැනීම කොහොමද වයිෆ් බයද? 

සරා කියන්නෙ මගේ ටෙලිරංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. මගේ පළමු ටෙලි නිර්මාණය වුණේ බොහිමියානුවා. එය අධ්‍යක්ෂණය කළෙත්, මෙම නාඩගම්කාරයෝ අධ්‍යක්ෂණය කළ සිවගුරුනාදන් මහතා. මම සිහින මවන්නෙ සිනමා නළුවකුවීමටයි. ඒ අතරේ මේ කොරෝනා වයිරසය නිසා ලද සිනමාවේ විවේකය, ටෙලි නිර්මාණයකට යොමු කරනවන්න ලැබීම එක අතකට සතුටක්. හැමදේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා.

මට මෙය ලැබුණේ කොවිඩ් තත්ත්වය නිසයි. මම රඟපෑ චිත්‍රපට හතරක් ඉදිරියේ තිරගත වීමට නියමිතයි. එසේ තිබියදී සිනමාහල් කොවිඩ් තත්ත්වය නිසා ජනශූන්‍ය වෙද්දී, කලාකරුවකු ලෙස නිකං ඉන්න බැරි රුදාව නිසා, ලැබුණු අවස්ථාවක් මේක. ඉතින් ඒක හොඳයි. චිත්‍රපට විතරයි කරන්නෙ කියන ප්‍රතිපත්තිය මත හිටපු මම ‘සිවා’ මාමාට මගේ කැමැත්ත කීවාම, ඒක ලැබුණා. ඒක මෑත කාලයේදී මම ගත්ත හොඳ තීරණයක්. ගෙදරට සරා නෙවෙයි. ඔය කවුරු වුණත්, වයිෆ්ගේ ආදරය ලබන හුරතලය ලබන, ඒ වගේම වයිෆ්ට බය කෙනා තමයි. මේක මට විතරක් නෙවෙයි, හැමෝටම වගේ එහෙමනෙ.

‘සරා’ ට ගෙදර පවරා තියෙන වැඩ රාජකාරි මොනවාද? 

අනේ ඉතිං එහෙම නැහැ. මම අංශ කීපයක නිරතව සිටින නිසා කාර්ය බහුලයි. ගෙදර එන්නෙ ඒ සියල්ල හැර විවේකීව ගෙවන්නයි. ‘බුවි’ ට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්නෙ. මම ගෙදර ආවාම එයා කිසි වැඩක් පවරලා නැහැ. ගෙදරට අඩිය තැබුවා කියන්නෙ එතැන ඉඳලාම විවේකය තමයි. අනේ ඉතිං ඇයට ස්තුතිවන්ත වෙන්නට ඕනෑ, මොකද ඒ ශක්තියෙන් තමයි නැවත මම ඊළඟ දවසේ ගෙදරින් පිට වෙලා ගිහින්, බාර ගත්ත රාජකාරිය ඉටු කරන්නෙ.

බුවිනි 
‘බුවි’ අද වන විට සජිත ගැන කොහොමද හිතන්නෙ? 

එයාගෙ ජීවිතය ගෙන යන්න හරි පහසුයි. එකිනෙකා ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙන්නෙ. එයා වැඩ ගොඩක ඉන්න කෙනෙක්. ඒ වැඩ සියල්ල අතරේ මම කියන දේත් අහලා. සියලු දේට ගරුත්වයක්දීම ගැන මම හරි සතුටු වෙනවා. එයා එක්ක ජීවිතය පාලු නැහැ. හොඳ මනුෂ්‍යයෙක්.

‘සජිත’ කියන නළුවටද වඩා කැමති? නැත්නම් ගායකයාටද? නිවේදකයාටද? නර්තනශිල්පියාටද? 

එකක් කියලා කියන්න බැහැ. එයා සැබෑම දක්ෂයෙක්.

සජිත ගෙදර ඉන්නකොට, මොන වගේ කෑමද වැඩිපුර හදලා ඉල්ලන්නෙ? 

ඉතාලියානු කෑමවලට එයා වැඩිපුර ආසයි. මටත් ඒ වගේ කෑම හදන්න ලෙහෙසියි.

ගෙදරදී එයා මොන වගේ වැඩවල නිරත වෙන්නද කැමති? 

ඇත්තම කිව්වොත් ගෙදරදී එයා කිසිම වැඩක් කරන්නෙ නැහැ. ඒක පැමිණිල්ලක් නෙවෙයි. එයා එන්නෙ බොහොම මහන්සිවෙලා. ගෙදර ආවාම එයාට නිදහස අවශ්‍යයි. පොඩි ළමයකුට වගේ එයාගෙ බෑග් එක පවා හදලා දෙන්නෙ මම.

මෙතෙක් ‘සජිත’ රඟපෑ චරිත අතරින් ‘බුවි’ වඩා කැමති රංගනය මොකක්ද? 

මෙතෙක් රඟපෑ චරිත අතරින් මම වඩාත් කැමති තිරගත වීමට නියමිත ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ රඟපාලා තියෙන චරිතයට. එහි මාධ්‍ය දර්ශනය මටත් නරඹන්න ලැබුණා. ඒ චිත්‍රපටයේ පෙම්වතිය ලෙස රඟපාන්නෙත් සොනාලි.

‘බුවි’ අධ්‍යක්ෂවරියක නම්, ඔබ කරන නිර්මාණයේ සජිත රඟපාන චරිතයට – පෙම්වතිය ගෙන් ඔහුට ගලපන කාන්තා චරිතය කවුද? 

එයාට එක්කෙනෙක් කියලා විශේෂයෙන් කියන්න බැහැ. චරිතයට අනුව එයාට ඕනෑ කෙනෙක් ගැලපෙනවා. කතාව අනුව චරිතයට තෝරා ගන්න පුළුවනි.

‘සරා’ ගෙ රංගනය වෙතින් මෙතෙක් විකාශය වූ කොටස් අතරින් ‘බුවි’ ගෙ සිත තදින්ම ඇදී ගිය අවස්ථාව? 

එක් අවස්ථාවක ‘මාලන්’ ට මුලින්ම සැර කරලා කතා කළා. ඒ ජවනිකා පෙළට මම ආසයි. ඒ වගේ අවස්ථා ජීවිතයේදී සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන අවස්ථා නොවෙයි. ඒ නිසා මම ඒ වගේ අවස්ථාවලට ආසයි.

‘සජිත’ ‘බුවි’ දකින්න මොන විදියටද? 

මට දැනෙන්නෙ එයා ‘මල්ටි ටැලන්ටඩ්’ චරිතයක් ලෙසයි. එක් අංශයකට විතරක් සීමා වූ චරිතයක් නෙවෙයි. කලාවේ බොහෝ දේට දක්ෂ කෙනෙක්.

එයා ගෙදර ඉඳිද්දී ‘බුවි’ එයා ලවා වැඩිපුර ගායනා කර ගන්න ගීතය මොකක්ද? 

සේනක බටගොඩ ‘රෑ අහසේ’ කියන ගීතය.
සජිත ගැයූ ගී අතරින්, ඔබ වඩා කැමති ගීත පහක් විතර ගයලා තියෙනවා. ඒ අතරින්, සීත සන්තෝෂෙ ගීතයට ආසයි. ඒ වගේම එයා මෑතකදී කළ ‘කළුවර’ නිර්මාණයටත් හරිම ආසයි.

කෙටියෙන්, ඔබට ‘සජිත’ ගැන හැඳින්වීමක් කරන්න කිව්වොත්? 

එයා හොඳ මනුෂ්‍යයෙක්.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ 

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button