දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් බව තහවුරු වී රෝහලකට යොමු කරන තෙක් කළ යුතු දේ

කොවිඩ්-19 රෝගීන් යළිත් වරක් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔබට යම් හෙයකින් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් රෝහලකට යොමු කරන තෙක් නිවෙසේ සිට පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා උපදෙස් කිහිපයක් ලබා දුන්නේ ය.

ඊයේ (මැයි 6) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළේ ය.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් රෝහලකට යොමුකරන තෙක් නිවසේ සෙසු අයගෙන් හුදෙකලාව සිටීම, හොඳින් මුව ආවරණය පැළඳ සිටීම, අත් නිතර සෝදා පිරිසුදු කර ගැනීම, හැකි නම් වෙන ම වැසිකිළියක් භාවිත කිරීම, එසේ නොමැති අවස්ථාවක එය භාවිත කිරීමෙන් පසු හොඳින් පිරිසුදු කිරීම, ඇඳ විවේකයෙන් සිටීම, හැකි තරම් දියරමය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතු බව ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය. ආහාර ගැනීමට හැකියාවක් ඇත්නම් ආහාර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේ ය.

ඇතැම් අයට නියුමෝනියා තත්ත්වය ඇතිවන අතර එය හඳුනාගැනීම සම්බන්ධයෙන්ද වෛද්‍යතුමන් උපදෙස් ලබා දෙමින් මෙසේ පැවසීය.

“නිවුමෝනියා උත්සන්න වෙන ලක්ෂණ කියන්නේ මුලින් ම සුළු වශයෙන් මහන්සි වෙන විට හතිය දැනීම, එක හුස්මක් ගෙන වචන කිහිපයක් කතා කරගෙන යෑමට බැරිවීම එය නිවුමෝනියාව උත්සන්න වීමක් නිසා විය හැකියි. එවිට අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. නොඑසේ නම් 1990ට කතා කර උපදෙස් ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේත් දුරකතන අංකවලටත් කතා කරලා උපදෙස් ගන්න පුළුවන් මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔබව රෝහල් ගත කිරීමට කටයුතු කරනවා.”

මේ මොහොතේත් විවිධ ඖෂධ පැමිණ තිබෙන අතර එය ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ද ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

“කොවිඩ්වලට බෙහෙතක් සොයා ගත්තා කියූ ගමන් සමහර මාධ්‍ය එයට ලොකු ප්‍රචාරයක් දෙනවා. කනගාටුවට කරුණ මාධ්‍යයත් එයට එකතු වීමයි. ඖෂධයක් සොයා ගත්ත ම එය රෝගීන්ට දෙන ක්‍රමවේදයක් තිබෙනවා. එය තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. කරාපිටිය වෛද්‍යවරයෙක් බෙහෙතක් සොයා ගත්තා කියල ප්‍රචාරයක් යනවා. එය බොරු කතාවක්. රෝගය වැළඳීම වළක්වා ගැනීමට තිබෙන ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කළ යුතුයි. මෙම නව ප්‍රභේදය පහසුවෙන් පැතිරෙන බව පෙනෙන්නට ඇති අතර රෝග ලක්ෂණ පෙන්වන සංඛ්‍යාව වැඩියි. ඒ සමග ම රෝගයේ සංකූලතා වැඩි වීමක් තිබෙනවා. ඒ නිසා මෙය වැළඳීම වළක්වා ගත යුතුයි.”

චතුර දේශාන් ලියනගේ – කිරුළපන
Source – මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button