ගොසිප් පුවත්තරු හුට පට

සුමානයකට දවසක් රෑට මසාජ් කරලා උදේට ඔළුව සෝදනවා – උදාරි

මා ඇයව ඔබට හඳුන්වා දෙන්නේ කවුරුන් ලෙස ද? නිරූපිකාවක්, රංගන ශිල්පිනියක්, නර්තන ආචාර්යවරියක්, ගායිකාවක්, නිවේදිකාවක් මෙන්ම ව්‍යාපාරිකාවක් ලෙසද විවිධ වෘත්තීන් ඔස්සේ උපන් හපන්කම් ඇති යුවතියකි. ලස්සන රහස් පිටුවට ඇගෙන් බොහෝ තොරතුරු දැන ගැනීමට ඇති නිසාම අපි කතා බහ ආරම්භ කළෙමු.

ඉතින් කොහොමද? 

ගොඩක් හොඳින් හැම වැඩකටයුත්තක්ම කරගෙන යනවා. මේ දවස්වල රඟපෑමයි, ව්‍යාපාර කටයුත්තටයි අමතරව මගේ ඩාන්සින් ක්ලාස් එකේ වැඩවලට ගොඩක් වෙහෙසෙනවා.

කොච්චර වෙහෙසුනත් ලස්සනේ නම් අඩුවක් නැහැ නේද? 

හිත ලස්සන නම් ගත ඉබේම ලස්සන වෙනවානේ. මම හිතන්නේ මගේ ලස්සනේ රහසත් ඒක කියලා.

ඔබ කියන්නේ හදවත ලස්සන හැමෝගෙම මුහුණ ලස්සනයි කියලද? 

නැහැ. සමහර වෙලාවට හදවතින් පොහොසත් කෙනෙකු මතුපිටින් මහා ලොකු රූප ස්වභාවයක් නැති වුණත් එවැනි මිනිසුන් නිසා මුළු සමාජයත් ලස්සන වෙනවා. සමහර ගොඩක් ලස්සන මිනිස්සු මතුපිටින් කොච්චර ලස්සන වුණත් හදවතින් වි’ ස ගොඩක්.

මුහුණ ලස්සන හැමෝම හදවතින් ලස්සන නැද්ද? 

බොහෝ දෙනෙක් නැහැ. මා එය අත්දැකීමෙන් දන්නා දෙයක්. සමහරු මතුපිටින් හරිම ලස්සනයි. අඳින විදිහ, විලාසිතා කරන විදිහ, හැසිරෙන විදිහ ලස්සනයි. කතාවත් හරිම ලස්සනයි. ඒත් ආශ්‍රය කරද්දි හිතෙනවා මේ මිනිස්සු මොනතරම් රඟපෑමක්ද කරන්නේ. හදවතින් මොනතරම් දුප්පත්ද කියලා.

වර්තමානය වෙන විට ලස්සනට වටිනාකමක් ලැබිලා තියෙනවාද? 

මෙහෙමයි. ලස්සන තිබූ පමණින්ම කාන්තාවකට හෝ පිරිමියෙකුට වටිනාකමක් එකතු වෙන්නෑ. එහෙම වටිනාකමක් එකතු වුණත් එය හරිම තාවකාලිකයි. මම පෞද්ගලිකව හිතනවා ලස්සන කියන්නේ උපකුලකයක් විතරයි. එය සම්පූර්ණ කුලකයක් වෙන්න නම් දක්ෂතාවය, හැදියාව, උගත්කම, බුද්ධිමත් බව, පෞර්ෂය කියන මේ හැමදේම එකතුවෙච්ච තැනක් ලස්සන කියන්නෙ මහා වටිනා දෙයක්.

ඔබත් එවැනි කෙනෙක්? 

ඔව්… ඇත්තටම මම මට ලැබුණු රූපය ගැන මෙන්ම ලැබුණු දක්ෂතා ගැන සැබෑවටම සතුටු වෙනවා. මම හිතන්නේ හැකියාව, දක්ෂතාවය, රූපය කියන්නේ මට වාසනාවට ලැබුණු දේවල් කියලා. ඒ එක්කම මේ හැම දේම අඩුවක් නැතුව ලැබෙන්නෙ පෙර සංසාරේ මම ගොඩක් පිං කරලා ඇති කියලත් හිතනවා.

කාන්තාවකට ලස්සන වැදගත්ද? 

ඔව් ඇත්තටම. ලස්සන කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඒ වටිනා ආභරණය පරිස්සමෙන් ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක්.

සුදු වෙන්න මොනවා හරි කරනවාද? 

මාව දකින ගොඩක් අය මගෙන් අහනවා සුදු වෙන්න ඉන්ජෙක්සන් ගහලාද, පෙති බීලාද කියලා. මාව දන්න අය දන්නවා පුංචි කාලේ ඉඳලාම මම ගොඩක් සුදුයි, පැහැපත්. මට ඒ දේ ලැබිලා තියෙන්නේ අම්මාගෙනුයි, තාත්තාගෙනුයි. ඒ දෙන්නත් ගොඩක් සුදුයි.

මගේ තාත්තා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මලයාලම් කෙනෙක්. ඒ ප්‍රාන්තයේ අයගේ හම හරිම ලස්සනයි. ඒ වගෙයි කොණ්ඩත් ගොඩක් දිගයි. හරිම ලස්සනයි. කොච්චර කැපුවත් ඉක්මනට වැවෙනවා. තාත්තාගේ ආරේට ලස්සන කොණ්ඩයකුත් ලැබිලා තියෙනවා.

ඇත්තටම මම ලස්සන වෙනවා කියලා කරන්නේ ලැබුණ ලස්සන පවත්වාගෙන යන්න ස්වාභාවික සත්කාරවලින් උත්සාහ කරන එක.

ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරන ඒ ස්වභාවික අලේපන ගැන දැන ගන්න අපිත් කැමතියි. 

සුමානයට දවස් දෙකක් කස්තුරි කහයි, සුදු හඳුනුයි, වැල්මී කුඩුයි, කිරි, වතුර හෝ රෝස වතුරෙන් ගානවා. මේ ස්වාභාවික සත්කාරය හමට හරිම හිතකරයි. වෙනනම් මොකුත් කෘත්‍රිම දේවල් ගාන්නේ නැහැ. කොණ්ඩයට මගේ තාත්තාගේ අම්මා ගෙදරදීම පිළියෙල කරනවා තැඹිලි තෙල්වලට කරපිංචා දාලා හදන තෙල් එකක්. ඒක සුමානයකට දවසක් රෑට හිසේ ගල්වලා මසාජ් කරලා උදේට ඔළුව සෝදනවා.

ඇඟේ හැඩය තියාගන්න මොනවාද කරන්නේ? 

ම්… දවසකට පැය 2ක් හෝ තුනක් නර්තනයේ යෙදෙනවා. ඇඟට වගේම මනසටත් ඒක හරිම හිතකරයි.

නර්තනය, සංගීතය කියන්නේ මගේ ජීවිතයේම කොටසක් කියලයි මට හිතෙන්නේ

කෑම බීමෙන් පාලනය වෙන්නේ කොහොමද? 

ඇත්තටම මම කෑම බීමෙන් නම් ලොකුවට පාලනයක් නෑ. උදේට කන්නේ කොන්ෆෙක්ස් කිරිත් එක්ක. දවල්ට බත් ටිකකුයි, එළවළු, සලාද, මැල්ලුම වගේ දේවල් කනවා. රෑට කෙටි ආහාරයක් ගන්නවා.

ඊට අමතරව උදේට කොළ කැඳ බොන්න මම හරිම ආසයි. ගස්ලබු ඇරෙන්න අනිත් හැම පළතුරක්ම වගේ කන්න කැමතියි. අලිගැට පේර, කොමඩු වගේ පලතුරු නිතර ගන්නවා. වතුර බොනවානම් ටිකක් අඩුයි. ඒ නිසා ෆෝන් එකේ එළාම් එක තියලා වතුර බොනවා.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව? 

ඇස් දෙකට දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මා.

ජීවිතයේ ලස්සනටම සැරසුන දවස? 

මම නිරූපණයේදී මනාලියන් ලෙසින් බොහෝ වාරයක් හැඩගැන්වී තිබෙනවා. ඒ හැම වේලාවකම මට මාව ගොඩක් ලස්සනට පේනවා.

විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද? 

හැමෝම කරන විලාසිතා නම් රැල්ලට මම කරන්නේ නැහැ. මට ගැලපෙන මට පුළුවන් විලාසිතා තමයි කරන්නේ. එහෙම නැතුව Brand පස්සේ යන්න වැඩිම මුදල් ගෙවලා විලාසිතා කරන්න කියලා මානසික මට්ටමක් මට නැහැ.

ආසම පාට? 

මම ආසම පාට කළු පාට

ඇඟට ලස්සනම ඇඳුම? 

දිග ගවුමට ලස්සනයි.

ඔබ ලස්සනයි කියලා ඔබට හිතුණ දවස.? 

ම්…. පුංචි කාලේ ඉඳලම මම ලස්සනයි කියලා මට ඇහිල තියෙනවා. ලොකු වෙනකොට ලස්සන කියන්නේ මොකක්ද කියලත් මට වැටහිලා තියෙනවා. ඒත් එක දෙයක් කිවයුතුමයි. ලස්සන කියන්නේ මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් දෙයක් කියලා හැම තිස්සේම මට හිතෙනවා. ඒ නිසා කවදාවත් ලස්සන නිසා ආඩම්බර වෙලාවත්, ඔළුව ඉදිමුවාගෙනවත් ඉඳලා නෑ.

ලස්සන නිසා අමාරුවේ වැටිලා නැද්ද? 

එහෙම පැටලිලි ඇවිත් නැතුවාම නොවේ. ඒත් මම හිතනවා කාන්තාවක් විදිහට අපි නිරතුරුවම බුද්ධිමත් විය යුතුයි. මගේ තාත්තා පුංචි කාලේ ඉඳලාම නංගිටයි මටයි නිතර කියපු දෙයක් තමයි ‘‘ලස්සන වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රශ්නත් වැඩි වෙනවා’’ ඒ නිසා බුද්ධිමත් වෙන්න කියලා.

ඒ ඔවදනත් එක්ක ලොකු ආරක්ෂාවක්, රැකවරණයක් ගෙදරින් නිරතුරුව ලැබුණා.

අසුන්තා එදිරිසූරිය

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button