ගොසිප් පුවත්තරු හුට පට

මම රඟපාන්නේ මගේ සතුට වෙනුවෙන් – ජනප්‍රිය නිලි චම්පා ශ්‍රියානි කාලෙකට පස්සේ කියන කතාව

කලාතුරකින් හිමිවන සුවිශේෂි චරිත රැසකට පණ පොවන වාසනා ගුණයකට හිමිකම් කියු ඇය නැවත පුංචි තිරයට ඇවිත්. ඒ සකර්ම ටෙලි නාට්‍යය ඔස්සේ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය නිලි චම්පා ශ්‍රියානි. ඉතින් ඇය රංගනයෙන් දායකවන ටෙලි සිත්තම නිර්මාණය වන්නේ ශාන්ති දිසානායකගේ “පරඬැල්” නවකතාව පාදක කර ගනිමින්. සති අන්තයේ ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ දිග හැරෙන ‘සකර්ම’ හරහා යළිත් අප අතරට එන චම්පා ශ්‍රියානි ඇයගේ අලුත්ම තොරතුරු ගැන අපිට කිවුවේ මෙන්න මෙහෙමයි.

කාලෙකට පස්සේ තමයි මම යේ රංගනයට ආවේ. මම එක හුස්මට ටෙලි නාට්‍යවල රඟපාන්න උත්සාහ කළ කෙනෙක් නෙවෙයි. එක් නිර්මාණයක් කරලා නිවිහැනහිල්ලේ හොඳ හුස්මක් අරගෙන ඊළඟ නිර්මාණයට සූදානම් වෙන්නේ. ඒ නිර්මාණය ගැන හොඳ අවබෝධයක් වගේම නිර්මාණාත්මක පසුබිම ගැන මම සෑහීමට පත් වුණොත් විතරයි ඒත්. මුල් කාලයේ ටෙලි නිර්මාණය වුණේ ඉතාමත් විධිමත් පෙර සැලසුමකට අනුව. තිර රචනය සම්පූර්ණ කරලා අපිට ලබාදෙනවා.

කලා අධ්‍යක්ෂකවරයා වේෂ නිරූපණ ශිල්පියා සහ අධ්‍යක්ෂකවරයා සහ අනෙක් සියලු දෙනාම නිර්මාණය ගැන කතා කරනවා. නිර්මාණය ගැන හොඳ පෙර සූදානම් වීමක් එක්ක නිර්මාණයකට අපි එකතු වෙන්නේ. එතනදී ආර්ථිකමය ලාභය බලාපොරොත්තුවෙන්ම නෙවෙයි මම නම් රඟපෑවේ. හොඳ නිර්මාණයක රඟපාලා ලබන තෘප්තිය මුදලින් මනින්න මට නම් බැහැ. ටෙලි නාට්‍යවලට කාර්යබහුල නොවුණ නිසා මගේ පෞද්ගලික ජීවිතයට වැඩි ඉඩකඩක් වෙන්වුණා.

මගේ මහත්තයා පර්සි මහේන්ද්‍ර. අපි විවාහ වුණාට පස්සේ දුවලා දෙන්නෙක් මට ලැබුණා. සදලි ගීත්මා සහ සියුමි දිනෙත්මා. මගේ ලොකු දුව දැන් විවාහකයි. දෙවෙනියා මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දුන්නා. මං මගේ පවුලට ගොඩාක් ආදරය කෙනෙක්. නිර්මාණය ජිවිතයෙන් පරිබාහිරව මගේ පවුල එක්ක ඉන්න මට පුඑවන් වුණා.

වර්තමානයේ බිහිවෙන බොහෝමයක් නිර්මාණ ඉතා ඉක්මනින් ආරම්භ කරන වැඩ. ඒ අතරතුර “සකර්ම” ටෙලිනාට්‍ය ඉතාමත් විශේෂ නිර්මාණයක්. කොළඹින් දුරබැහැර ගල්ගමුව නවගත්තේගම වගේ පිට පළාතක දර්ශන තලයන්ට අපව නිර්මාණය හරහා රැගෙන යනවා. මේක සැලසුම් සහගත වැඩක්. මේ වගේ බරසාර වැඩකට මා සම්බන්ධ වෙන්නේ වසර 14කට පස්සේ.

අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්. මගෙ චරිතෙ ගොඩනඟා ගන්න ඔහු මට විශාල සහායක් දැක්වුවා. මට වාසනාවක් තිබුණා පුංචි කාලේ ඉඳලා පොත පත කියවන්න. ඒ නිසාම මට රඟපාන්න ලැබුණු ගොඩක් ටෙලි නාට්‍යවල චරිත මම කලින්ම නවකතා පොත් විදිහට කියවලා රසවිඳපු චරිත. ඒ නිසා මේ චරිතය ගැන මට ලොකු වගකීමක් තිබුණා.

ඇත්තටම පාඨකයන් ඒ චරිත ඔහුගේ පරිකල්පන ලෝකය තුළ මවාගන ඉන්න චරිත. “හිමි අහිමි” එඩ්වඩ් මල්ලවආරච්චි, “ගංගා සහ නිශ්ශංක” කරුණාරත්න සපුතන්ත්‍රී, “වන වදුලේ වසන්තය” පියසේන කහදගමගේ “බැද්දදේ ගෙදර” සහ “අඹු දරුවෝ” ජයසේන ජයකොඩි” කටු ඉඹුල” සරත් ධර්මසිරි” ස්වර්ණ තිසරාවි” ස්වර්ණලතා කිරිවත්තුඩුව වගේ බොහෝමයක් නිර්මාණ නවකතා ආශ්‍රිතව ගොඩනැගුණු ටෙලිනාට්‍ය.

මට මතකයි ඒ දවස්වල රූගත කිරීම් අතරතුර ලැබෙන විවේකයේදි ජයලත් මනෝරත්න අයියා පොතක් කියවනවා. මගෙත් කියවීමට තිබුණු නැඹුරුව අලුත් ගැන්වුණේ අපි අතර කතාබහේ දී ගොඩනැගෙන ආභාසය එක්ක. ජනප්‍රියත්වය වගේම ජීවිත පරිණතියත් මට ලැබුණා. අපට සැබෑ ජීවිතයේදී රඟපාන්න බැහැ. මගෙ ජීවිතය සරලයි. ඒ ජීවිතේ දකිනකොට සමහරු පුදුම වන අවස්ථා තියෙනවා. ඔයා ටෙලිනාට්‍යයේ හිටියේ මෙහෙම නෙවෙයිනේ කියනවා.

හැබැයි කොතැනකට ගියත් මාව හඳුනාගෙන කතා කරන පිරිසක් අදත් ඉන්නවා. සමහර වෙලාවට සමාජයේ පහළම ස්ථරවල වැඩ කරන අහිංසක මිනිස්සු දක්වන ප්‍රතිචාර පුදුම සහගතයි. මං රගපාන්නෙ පළමුවෙන්ම මගේ සතුට වෙනුවෙන්. දෙවනුව මගේ රසිකයන් සතුටු කරන්න. ඔවුන්ගේ ආදරය ලැබීම රංගන ශිල්පිනියක් විදිහට ලබන වරප්‍රසාදයක්. එය තමයි මා ලබන ඉහළම සම්මානය කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button