දේශීය පුවත්ප්‍රධාන පුවත්

අසල්වැසි ඉන්දියාවෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනෑ

”ඉන්දියාව මුහුණපාල තියෙන බරපතළ ම ගැටලුව තමයි හුස්ම ගන්න ජීවය දෙන්න තියෙන ඔක්සිජන් හිඟකම. ඔවුන්ට මේ තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම් පැමිණ තිබුණත් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ වරද නිසා අද නිසි පරිදි ඔක්සිජන් නොමැතිවීමේ ගැටලුවක් හටගෙන තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය මෙන් ම ආණ්ඩුව ඉතාමත් දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි. අපට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවාද යන කාරණය පිළිබඳව,” යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කීහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ පැවැසූහ.

“එසේ වුවහොත් හදිසි ප්‍රතිකාර කරන්න ආරෝග්‍යශාලා ප්‍රමාණවත් ද? විශේෂයෙන් ම ඔක්සිජන් සැපයීම් හරියාකාරව කරන්න පුළුවන් ද? ඒ නිෂ්පාදන හරියාකාරව තියෙනවා ද? අපි ළඟ ඔක්සිජන් සංචිතයක් තියෙනවා ද? ඒ නිසා බලධාරීන් හැම දෙනාට ම අපි ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා මේ රටේ ඔක්සිජන් තත්ත්වය පිළිබඳව සොයා බලන්න. එසේ නොමැති නම් නිෂ්පාදනය ආරම්භ කරන්න. සංචිතයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.

කොරෝනාවෛරසය හේතුවෙන් අලුතින් එන රැලි පිට රැලි මගින් ලෝකයේ සිදුවන විනාශය ඉතාමත් පැහැදිලියි. අපේ අල්ලපු රට ඉන්දියාව ගොදුරු වී තිබෙන තත්ත්වය අතිශයින් ම කනගාටුදායකයි. මේ තත්ත්වය තුළ අතිශයින් ම සංවේදී දර්ශන අපි මාධ්‍යයන් තුළින් නරඹනවා.

ඉන්දියාවේ උදා වී තිබෙන තත්ත්වය අපේ ධර්ම සාහිත්‍යයේ දැක්වෙන විශාලා මහනුවර තුන් බිය සිහිගන්වන්නක්. එසේ තුන්බිය වැනි ඛේදවාචකයක් ඇති වී තිබෙන අවස්ථාවේදී අපේ අල්ලපු රටේ මෙහෙ ම වෙද්දී අපි ඉතා දැඩි සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි අපේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඉන්දියානුවන්ට අපේ සංවේගය පළ කරන අතර අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීරණ මේ මොහොතේ ගත යුතුයි.

ඉන්දියානු විශේෂඥයන් කියන්නේ ඉන්දියාව මේ තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතුව වැඩ මග හැරීම, අදාළ වැඩ ප්‍රතික්ෂේප කිරීම හා පමාවී පියවර ගැනීම. මේ චෝදනාව අපේ රටේ බලධාරීන්ට එල්ල කරන්න බැහැ. දැන් ඉන්දියාවේ තිබෙන තත්ත්වයට අපේ රට මුහුණ නොදීමට නම් පමා නොවී පියවර ගත යුතුයි.”

රූපසේන පත්තුව – ඇඹිලිපිටිය
Source – මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button