දේශීය පුවත්

දවසට ලංකාවේ PCR 20,000කට වැඩිය කරනවා

දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර තිබෙන බවත් මේ වනවිට දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 20,000කට අධික ප්‍රමාණයක් කෙරෙන බවත් එම පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගනිමින් සිටින බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලක කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘මව්බිම’ට ප්‍රකාශ කළාය.

පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්වන පුද්ගලයන් එම පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳී සිටිය යුතු බවත් අනෙක් අයගෙන් හුදෙකලා වී සිටිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නාය.

මේ වනවිට දිනකට රජයේ රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ 15000ක් කෙරෙන බවත් පෞද්ගලික අංශයේද දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5000ක් පමණ කරන බවත් ඇතැම් දිනවලදී රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල එකතුව දිනකට 20,000 ඉක්මවා යන බවද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පෙර තත්ත්වයට වඩා B117 නව කොරෝනා වයිරසය ප්‍රබල වුවද රටේ පොදු මහජනතාවගේ සහයෝගය හිමිවේ නම් මෙම කොරෝනා නව වයිරසයේ පැතිරයෑම පහසුවෙන් පාලනය කළ හැකි බවත් ඒ සඳහා හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙසට තමා රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button