විශේෂාංග

මගේ හීනය සැබෑ වුණා – රූපවාහිනී රූ කිරුළ දිනූ කව්මිණි තත්සරණි

ජාතික රූපවාහිනිය මගින් වසරක් පාසා සංවිධානය කරන ‘රූපවාහිනි රූ කිරුළ-2021. මෙවරද නවලිය මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ඇතිව සිංහල අලූත් අවුරුදුදා සවස් භාගයේදී රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රය තුළ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දස දෙසින් පැමිණි රූමතියන් විශාල පිරිසක් අතරින් මෙවර ‘රූ කිරුළ. දිනාගනු ලැබුවේ ගම්පහ ප‍්‍රදේශයේ තරගකාරියක වූ කව්මිණි තත්සරණිය. මෙම තරගය තුළ හොඳම සේයා කුමරිය ලෙසද කව්මිණි ජයග‍්‍රහණය හිමිකර ගැනීම ද විශේෂත්වයකි. ඒ ජයග‍්‍රහණයේ වගතුග කව්මිණි මීවිතට කිව්වේ මෙහෙමයි.

කව්මිණි ලොකු සතුටකින් වගේ. 

ඔව්. තවමත් මම ලබපු ජයග‍්‍රහණයේ සතුට භුක්ති විඳින ගමන්නේ.

ලබපු ජයග‍්‍රහණය ගැන මොකද හිතෙන්නේ. 

ඇත්තටම පුංචි කාලේ ඉඳල අවුරුදු කුමාරියක් ලෙස ජයග‍්‍රහණය හිමිකරගන්න එක මගේ හීනයක් වෙලා තිබුණා. ඉතින් ඒ සඳහා මම මෙවර ඉදිරිපත් වුණා.

ඒ සඳහා ජාතික නාලිකාව මගින් පැවැත්වූ තරගයම තෝරාගත්තේ ඇයි? 

ජාතික නාලිකාව මගින් සංවිධානය වූ මෙම තරගය වගකීම් සහගතය කියල මට හිතුණා. ඒ වගේම කාන්තා පුවත්පත් අතරේ මම කැමතිම පත්තරයක් තමයි ‘නවලිය.. ඒ සුසංයෝගය මගේ කැමැත්ත තවත් වැඩි කළා.

ගෙදරින් ලැබුණ සහයෝගය මොන වගේද? 

අම්මයි තාත්තයි අයියයි නංගිල දෙන්නයි මේ හැම දේකදීම මගේ පිටිපස්සෙන් ඉඳල ලොකු සහයෝගයක් දුන්නා. ඒ නිසා තමයි මේ තරම් දුරක් මට එන්න හැකි වුණේ.

සාමාන්‍යයෙන් මෙවැනි දේවල්වලට නංගිල ඉදිරිපත් වෙනවට අයියල අකමැති බව තමයි අපි අහල තියෙන්නේ. 

ඔව් ඉතින් ඒ අපේ ආරක්‍ෂාවටනේ. මගේ අයියත් ඇහුව ඔයාට මේකට යන්නම ඕනෙද කියල. ඒත් අකමැති වුණේ නෑ.

තත්සරණිට හිතෙන විදියට කූපන්පත් කීයක් විතර තරගය සඳහා ඉදිරිපත් කළාද? 

මෙහෙමයි ජාතික රූපවාහිනියට යැව්වේ මගේ අයදුම්පත‍්‍රය විතරයි. ඒත් නවලිය පුවත්පතේ විවිධ තරග ඉසව් සඳහා අවශ්‍ය කරන කූපන්පත් මගේ ගෙදර අය යාළුවෝ වගේම ඥාතීන් විසින් විශාල ලෙස යොමුකරල තිබුණා.

ඔය අතරේ ඔබ හොඳම සේයා කුමරිය ලෙසත් ජයක් ලැබවා. ඇත්තටම ඔබ ෆොටෝ ජෙනික්ද? 

උගත් බුද්ධිමත් සාධාරණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තරග කරලනෙ ඒ තැන හිමිවුණේ. ඒ නිසා මම දැන් හිතනව ඒක එහෙම වෙන්න ඇති කියලා.

ඉදිරියේදී ඔබට කලා ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න ලැබීම අනිවාර්යයි. ඒ හරහා අනාගතය ජයගන්න හිතන්නේ කලාවෙන්ද? 

තවම නම් මම එච්චර දුරට ඒ දේවල් හිතල නෑ. දැනට මම බත්තරමුල්ලේ ආක්ටික් පුද්ගලික සමාගමේ කළමනාකරණ සහායිකාවක් ලෙස සේවයේ යෙදෙනවා.

ඒ කියන්නේ ඔබ රංගනයට දායක වෙන්නේ නැහැ කියන එකද? 

නැහැ… නැහැ එහෙම නෙවෙයි හොඳ නිර්මාණයකට දායකවෙන්න අවස්ථාව ලැබුණොත් මම ඒක පැහැරහරින්නෙ නෑ. මොකද අපි ඕනෑම කෙනෙකුට අවස්ථාව කියන එක හරිම වැදගත්.

ඒත් පෙම්වතා එපා කිව්වොත්. 

තාම මගේ ජීවිතේ ඇතුළේ එහෙම කෙනෙක් නැති නිසා ඒ ප‍්‍රශ්නෙන් දැනට නිදහස්.

රැකියා ස්ථානයෙන් ඔබට හොඳ සහයෝගයක් ලැබෙන්න ඇති නේද? 

අනිවාර්යයෙන් පසුගිය කාලේ මට හැමදේටම නිවාඩු ලබාදීල ලොකු සහයෝගයක් වුණා ආයතනයේ හැමෝම. ජයග‍්‍රහණයෙන් පස්සේ ඔවුන් හැමෝම මාව දිරිමත් වෙන විදියට ඔවුන්ගේ උණුසුම් සුභ පැතුම් ලබාදුන්නා.

රූ කිරුළට ඉදිරිපත් වුණේ නිළියක් වෙන්න හිතාගෙන කියල කවුරුහරි කිව්වොත්? 

කියන කෙනෙකුට ඉතින් ඕන දෙයක් කියන්න පුළුවන්නේ. ඒත් රඟපාන්න ඕනෙමයි කියල මගේ හිතේ නිකමටවත් තිබුණේ නෑ. ඒත් මම ලබපු ජයග‍්‍රහණය හරහා මට ලැබෙන හොඳ අවස්ථා මම මගහරින්නේ නෑ.

කව්මිණිට මේ ලැබෙන ප‍්‍රතිචාර කරදරයක් කියලත් දැන් හිතෙනවා ඇති නේද? 

අනේ නැහැ. ඔෆිස් එකේ වගේම පාසල් යාළුවන්ගෙන් වගේම ඥාතීන්ගෙන් අසල්වැසියන්ගෙන් මට ලැබෙන ආදරය ගෞරවයට මම හරිම කැමතියි. ඒ වගේම ඒ ආදරයට මම ආදරය කරනවා වගේම ගෞරවයට ගෞරවය කරනවා.

ඔය අතරේ ඔබේ විලාසිතා ගැනත් අපිට කියමුද? 

ඇත්තටම තරුණියක් වශයෙන් මම විලාසිතාවලට ගොඩක් නැඹුරුයි. අලූත් විලාසිතා ගැන හොයල බලලා මට ගැලපෙන ඒවා අනිවාර්යයෙන්ම අරගන්න කි‍්‍රයා කරනවා.

ධම්මික හේවාවසම්

Courtesy – Divaina

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button