ගොසිප් පුවත්තරු හුට පට

ඌරෙක් හොරකම් කර, අජිත්ගෙන් තනිවුණු කේ සුජීවා හොඳටම ගු’ ටි ක’යි

My pet ගැන කතා කරන්න අපි එන්න කීවේ කවුරුත් දන්න ගායන ශිලිපිනියකට. ඇය කේ සුජීවා.

ඔබ සුරතලයට සතුන් හදන්න පටන්ගත්තේ මොන කාලයක ඉඳන්ද? 

මම සත්තු හදන්න ගත්තේ මට අවුරුදු 7ක් විතර කාලයේ ඉඳන්. මම ඉස්සෙල්ලාම හැදුවේ ඌරු පැටියෙක්. එයාව මම අපේ එහා ගෙදරින් හොරකම් කරගෙන තමා ආවේ. ඒවගේම මම එයාව හොරෙන් තමයි අපේ ගෙදර තියන් හැදුවේ. අපේ පවුලේ කවුරුත් දැනන් හිටියේ නෑ මම ඌරු පැටියෙක් හදනවා කියලා. ඒ විතරක් නෙවෙයි වැටිලා හිටපු කපුටු පැටියෙකුත් මම හදලා තියෙනවා.

කොහොමද ඌරෙක් වගේ සතෙක් ගෙදරට හොරෙන් හැදුවේ? 

ටික දවසක් යනකොට ගෙදර කට්ටියට අහුවුණා. ඊටපස්සේ ගු’ ටි කාලා, බැනු’ ම් අහලා ලොකු ප්‍රශ්නයක් වුණා. අනිත් එක අනිවාර්යයෙන් අපේ ගෙදර අය දන්නවා මම මේ ඌරු පැටියව කොහෙන් හරි හොරකම් කරන් ආපු කෙනෙක් තමයි කියලා. මම එයාව හැදුවේ මගේ කාමරේ වොෂ්රෑම් එකේ දාගෙන.

ඉරිදා දවසක කට්ටියම කෑම කකා ඉද්දි වොෂ්රෑම් එකේ දොර ඇරලා ඇවිල්ලා මම අමතක වෙලා. ඊටපස්සේ ඌරු පැටියා සාලෙ මැද්දට දුවගෙන ආවා. එදා තමා අහුවුණේ. අම්මෝ.. මම හොඳටම බැනු’ ම් ඇහුවා. ඊටපස්සේ අම්මා කිව්වා එහා ගෙදරටම ගිහිල්ලා දෙන්න කියලා. මම හොඳටම ඇඬුවා. කන්නේ නැතුවත් ඉඳලා අපේ වත්තෙම පොඩි තැනක් හදාගෙන එයාව හොඳින් හැදුවා.

මේ වනවිට ඔබ ළඟ ඉන්න සුරතලුන් කවුද? 

දැන් මගේ ළඟ කුරුල්ලෙක් ඉන්නවා. එයා අප්‍රිකානු ග්‍රේ වර්ගයේ. මෙයාලගෙන් එයාව විතරයි මම සල්ලි දීලා ගත්තේ.

එයාගේ නම මොකද්ද? 

කුරුලු පුතා

දැන් ඔබ ළඟ ඉන්නේ කුරුල්ලෙක් විතරද? 

නෑ. කුරුල්ලට අමතරව පූසෝ දෙන්නෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා.

කට්ටියගේ පැටිකිරිය කොහොමද? 

එක පූසෙක්ගේ නම කිරී. එයාව මම ගෙනාවේ කිරි වෙහෙරෙන්. මම මාසෙකට වරක් කතරගම යනවා වඳින්න. එහෙම ගිය වෙලාවක එයා අසනීප වෙලා ඉන්නවා මම දැක්කා. ඊටපස්සේ මම එයාව ඉස්පිරිතාලේ ගෙනිහින් බෙහෙත් කරලා ගෙදර ගෙනාවා. අනිත් පූසා ඈෂ්ලි. එයාව ගෙනාවේ මම පාලම්පිටියේ තියෙන බෝධීන් වහන්සේ ගාව කවුදෝ දාලා ගිහින් තියෙනවා දැකලා. ගොඩක් වැස්ස දවසක මම එතනින් යනකොට එයා තෙමිතෙමී ඉන්නවා දැකලා තමා මම එයාව ගෙනාවේ.

ඒත් පොඩි බයකුත් ආවා කිරී එයාව සතුටින් බාරගනීවිද කියලා. හැබැයි කිසිම අවුලක් වුණේ නෑ. එයා අළු පාටයි. ඒකයි මම එයාට ඈෂ්ලි කියලා දැම්මේ. අනිත් කෙනා තමයි කල්ලා. ඒ බල්ලා. එයාව ගෙනාවේ මගේ ලොකු දුව අංජලී. එයා පාරේ වැටිලා අසනීප වෙලා ඉන්නවා දැකලා තමයි අන්ජලී එයාව අරගෙන ආවේ. එද්දි ගොඩක් පොඩියි. එයාව මැරිලා වගේ තමයි ගෙනාවේ. එයා දවස් 21ක් ඉස්පිරිතාලේ ඉඳලා තමයි ගෙදරට ගෙනාවේ. එයා තනිකරම කළු පාටයි. අපි එයාට කල්ලා කියලා නම දැම්මා.

ඔබ හුරතලේට හදන්නේ අනාථ වුණු සතුන් විතරද? 

එහෙම නෑ. මීට අවුරුදු 8කට කලින් මගේ ගාව හිටියා හොඳ ජාතියේ බල්ලෝ 8 දෙනෙක්. එක දවසක් මම බණක් අහන්න ගියා. බණ අහලා එනකොට මට හිතුණා මගේ ගාව ඉන්න සේරම බල්ලො කාටහරි දීලා පාරේ ඉන්න අසරණ කට්ටියව ගේන්න. එදා උන්වහන්සේ කියලා දුන්නේ හුරතලේට හදන්නේ බල්ලෙක් හෝ පූසෙක් එතකොට අපි ගන්නේ සල්ලි දීලා ගොඩක් වටින කට්ටිය, ඒත් බල්ලා, පූසා කියන්නේ ඔක්කොම එකයි. එයාලට කතා කරන්න බෑ.

හැබැයි හැඩරුවේනම් වෙනසක් තියෙනවා. තව හොඳ කට්ටිය තරම් පොෂ් නෑ. හැබැයි ඒක පිනක් නෙවෙයිනේ. අපේ නමට ලොකුකමට තමයි අපි හොඳ ජාතියේ අයව විතරක් හදන්නේ. ඒත් ඇයි කවුරුත් පාරේ ඉන්න සතුන්ට එහෙම කරන්නේ නැත්තේ? එතකොට අපි මනුස්සයො වෙලා සතුන්ට පවා සලකන්නේ වෙන වෙන විදිහට. එදා බණට කිව්වේ අන්න ඒක. ඉතින් මම එදා ගෙදර ඇවිත් මගේ ගාව හිටපු බල්ලෝ අට දෙනාවම යාළුවන්ට නිකන් දුන්නා. ඒක විශ්වාස කරන්න බැරි කතාවක්. මම එක එක්කෙනාට කෝල් එකක් විතරයි දුන්නේ. මචං මගේ බල්ලෝ උඹට ඕනෙද කියලා විතරයි ඇහුවේ. එයාලා වාහන අරන් ඇවිල්ලා අරන් ගියා. ඒත් දැන් මගේ ගාව ඉන්න මේ තුන්දෙනාව කවුරුත් කෝල් කළාට ගෙනියන්නේ නෑ. එයාලා පාරෙ හැදුණ නිකන් කට්ටියනේ.

මේ සුරතලුන් එක්ක කාලය ගෙවද්දි අමතක නොවන සිදුවීම් ඇති නේද? 

සිදුවීම්නම් ගොඩක් තියෙනවා. මම අලුතින් ගෙනාපු ඈෂ්ලි වාහනය ඇරියම එයා වෙනදට වාහනේට නැගලා අනිත් දොරෙන් බහිනවා. ඉන්නේ නෑ. එයා ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. දවසක් මම රෑ වෙලා පන්සල් යනකොට තලවතුගොඩ හන්දියේ මම වාහනේ ටිකක් හයියෙන් බ්‍රේක් කළා. එකපාරටම මොකද්දෝ වැටෙන සද්දයක් ඇහුණා. මම බලද්දි මෙයා වාහනේට නැගලා නිදාගෙන ඉඳලා තියෙන්නේ. මම දන්නෙම නැතුව මෙයා තලවතුගොඩ හන්දියට වෙනකල් මාත් එක්ක වාහනේ ඇවිල්ලා. ඊටපස්සේ මම ආයෙත් වාහනේ හරවලා මෙයාව ගෙදර දාලා ගියා. මොකද පන්සලේ බල්ලො ගොඩක් ඉන්නවා. මෙයා බල්ලන්ට ගොඩක් බයයි.

මේ සුරතලුන්ගේ උපන්දින එහෙම සමරනවද? 

මගේ ගාව ඉන්න කට්ටියගේ උපන්දින මම දන්නේ නෑනේ. මම ඔක්කොමලා ගෙනාවේ පාරෙන්. මම එයාලට කෑම දෙනවා. කාටවත් කියලා කෑම දෙන්නේ නෑ. එයාලට කෑම එක අනලා මම තමා කෑම දෙන්නේ. දවසක් හාමුදුරුනමක් මට කිව්වා ඇත්තටම සතුන්ට ආදරෙන් හැමදාම ප්‍රාර්ථනා කරන්න ආයේ සත්තු වෙලා ඉපදෙන්න එපා කියලා.

මම එයාලට කෑම දෙනකොට හැමදාම එහෙම ප්‍රාර්ථනා කරනවා. එහෙම තමා කරන්නේ. මෙයාලට හැමදාම උපන්දින වගේ තමා ඉතින්. ගහන්නේ බනින්නේ නෑ. අපේ කිරීට පොඩ්ඩක් හරි හයියෙන් කෑගැහුවොත් එයා ගෙදරින් තරහා වෙලා යනවා. ගිහිල්ලා හන්දියේ ඉඳගෙන ඉන්නවා. එන්නේ නෑ. ඊටපස්සේ අපි ගිහින් එක්කන් එන්න ඕනේ.

ඔබට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මෙයාලා ගැන බලන්න වෙලාව තියෙනවද? 

මම කොච්චර කාර්යබහුල වුණත් මේ වෙනකල් මම එයාලට අඩුපාඩුවක් කරලා නෑ. මම දවස් දෙක තුනකට ගෙදර නැත්නම් එයාලව බලාගන්න පුළුවන් සතුන්ට ආදරේ කරන කෙනෙක් මට ඉන්නවා. එයත් සුජීවා කියලා මගේ යාළුවෙක්. එයා ඇවිල්ලා මෙයාලට හොඳට සලකනවා. එයා ළඟත් සත්තු ගොඩක් ඉන්නවා. ඒක නිසා මට බයක් නෑ. ගොඩක් වෙලාවට මම එක දවසකට වඩා කොහොමත් පිට ගිහින් නවතින්නේ නෑ මෙයාලා නිසා.

මෙයාලා රණ්ඩු කරන්නේ එහෙම නැද්ද? 

අප්පෝ…. කවදාවත් නෑ. ඈෂ්ලි පොඩ්ඩක් බයයි. හැබැයි කිරියි, කල්ලයි හොඳම යාළුවො වගේ ඉන්නේ. සමහර වෙලාවට කිරි ඇවිල්ලා කල්ලව සුද්ද කරනවා. ඒ දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ. සමහර දවස්වලට එක පිඟානෙන් මේ දෙන්නා කෑම කනවා.

ඔයා වගේ සත්තු හදන්න ආසාවෙන් ඉන්න අයට මොකද කියන්න තියෙන්නේ? 

මම මුලින්ම කියන්න ඕනේ සත්තු හදනවනම් ආදරෙන් හදන්න. මොකද එයාලට කතා කරන්න බෑ. එයාලට හැඟීම් දැනීම් තියෙනවා. එයාලට දුක හිතෙනවා. දවසක් මම කතරගම ගිහිල්ලා එද්දි පැය 3ක් 4ක් පරක්කු වෙලා ආවේ. එතකොට අපේ බව්වගේ ඇස්වල කඳුළු පිරිලා. කඳුළු බේරිලා මුළු මූණෙම. මට සමහර වෙලාවට පේන්නේ මම ආදරේ කරද්දි එයා හිනාවෙනවා වගේ.

ඉතින් ඒ හැඟීම එයාලට තියෙනවා. අනික සත්තුන්ට මනුස්සයන්ට වැඩිය කෙළෙහිගුණ තියෙනවා. එක වේලක් කන්න දුන්නත් එයාලට ඒක හොඳට මතකයි. ඒ නිසා කිසි දවසක එහෙම අතහැරලා දාන්න ඕනෙ කියලා හිතෙනවනම් අනේ සත්තු හදන්න එපා. පොඩි කාලේ විතරක් හුරතල් කරලා ලොකු වුණාම ඈත් කරනවනම් කිසිම දවසක සතෙක් හදන්න එපා. ඒක ලොකු පවක්. තමන්ගේ දරුවෙක් ලොකු කරලා පිට තැනක දාලා එනවා වගේ දෙයක්. මේ මට හැඟෙන විදිහ.

සටහන – චන්න කස්සප

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button