දේශීය පුවත්ප්‍රධාන පුවත්

සිද්ධිකාගේ ප්‍රකාශය ගැන CIDය හිරුගෙන් ප්‍රශ්ණ කරයි (VIDEO)

සමාජයේ දැඩි කථාබහක් ඇතිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ පැවැත්වු සම්මුඛ සාකච්ඡාව සිදුකළ හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියාගෙන් සහ එය රූගත කළ කැමරා ශිල්පියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්ණ කළා.

ඒ, ජනතාවගේ ජීවිතවලට වගකිවයුතු රාජ්‍ය ආයතනයක නිලධාරිනියක සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයගෙන් හෝ ප්‍රශ්ණ කර නොමැති පසුබිමකයි.

ආනයනික පොල් තෙල් තොගයක ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට හිරු ප්‍රවෘත්ති අංශය මුලින්ම අනාවරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 23 වනදායි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ පරීක්ෂාවක් පදනම් කරගෙනයි.

අනතුරුව ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රාජ්‍ය ආයතන ත්‍රිත්වයක්ම අවස්ථා කිහිපයකදි අදාල කරුණු යළි තහවුරු කළා.

උද්ගතව ඇති තත්ත්වයත් සමඟ අදාල වගකීමට බැදී සිටින්නන්ගෙන් අප ඒ පිළිබදව අවස්ථා කිහිපයකදීම ප්‍රශ්ණ කළේ පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීමට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළේද යන්න සම්බන්ධයෙන් විමසීමටයි.

ඒ ජනතාවට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප වගකීම ඉටුකරමින්.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී.සේනාරත්නගෙන් පිළිකා කාරක අඩංගු ආහාර ගැන අප විමසූ අතර එහිදි ඇය ලබාදුන් පිළිතුර සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළා.

මෙම ප්‍රකාශයෙන් පසු ඒ පිලිබඳව සමාජ මාධ්‍ය තුළ ද දැඩි විරෝධයක් මතුවුණා.

අනතුරුව විවිධ පාර්ශව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතම ගොස් අවස්ථා කිහිපයකදීම අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයට එරෙහිව දැඩි විරෝධයක් පළ කළා.

කෙසේ වෙතත්, සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම සම්මුඛ සාකච්ජාව පවත්වා මාසයකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපගෙන් ප්‍රශ්ණ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ජනතාවගේ ජීවිතවලට වගකිව යුතු මෙම නිලධාරිනිය සිදුකළ ප්‍රකාශය ගැන හෝ ඇයගෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සටහන් කරගෙන නොමැති පසුබිමකයි.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිටත් පාර්ශව ගණනාවක්ම පොලිස් මුලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

එවන් තත්ත්වයක් තුල අදාළ නිලධාරිනියගෙන් ප්‍රශ්න කළ හිරු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ නිලධාරිනියක ඊයේ අප ආයතනය වෙත පැමිණියා.

ඔවුන් විසින් අදාළ සම්මුඛ සාකච්ඡාව සිදුකළ අප මාධ්‍යවේදියාගෙන් සහ එය රූගත කළ කැමරා ශිල්පියාගෙන් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

එම නිලධාරින් විසින් අදාළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ද අපගෙන් ඉල්ලා සිටි අතර, වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස එම සියලු දර්ශන ද අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කළා.

courtesy to Hiru News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button