විශේෂාංග

ඉන්දියාවේ කොරෝනා අර්බුදය සෙසු ලෝකයට බලපාන ආකාරය

කොරෝනා වසංගතයට ගොදුරුවන ජන සංඛ්‍යාව පාලනය කරගැනීමට රටක් ලෙස ඉන්දියාව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින අතරවාරයේ එරටින් ලැබෙන අතිශය ඛේදජනක දර්ශන දැකීමත් සමඟ සමස්ත ලෝකය කම්පාවෙන් පසුවෙයි.

මෙය ඉන්දියාවට පමණක් බලපාන වසංගතයක් නොවේ. එය ලොව සියලු දෙනාගේ අර්බුදයකි.

”වෛරසයට දේශසීමා නැහැ. ජාතියක් ජන්මයක්, වයසක්, ලිංග භේදයක් හෝ ආගමික වෙනසක් බලපාන්නේ නැහැ” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.

”නමුත් අවසනාවන්ත කරුණවන්නේ ඉන්දියාවේ දැන් සිදුවෙමින් පවතින දේවල් වෙනත් සෙසු රටවලත් සිදුවෙමින් පැවතීම”

ලෝකය කොතරම් එකට සහසම්බන්ධද යන්න කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාමත් සමඟ පසක් වී ඇත. එක් රටක වෛරසය බෝවීම දරුණු තත්ත්වයක පවතින්නේනම් එය අනිත් රටවලට ද පැතිරයන තත්ත්වයක් පවතී.

සංචරණ තහංචි, බහුවිධ නිරෝධායන පරීක්ෂණ බල පැවැත්වෙන නමුත් එය මගහැර වෛරසය පැතිරයාමට තවමත් ඉඩකඩ ඇත. ඇතැම්විට සංචාරකයකු පැමිණෙන්නේ වෛරසය පැතිර පවතින භූමියක සිටනම් ඔහු ළඟා වන්නේ වෛරසයත් රැගෙන විය හැකිය. පසුගියදා නව දිල්ලියේ සිට හොංකොං බලා පියාසර කළ ගුවන් යානයක මගීන්ගෙන් පනස්දෙනකු පමණ කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගනු ලැබුණි.

නමුත් ඉන්දියාවේ වෛරසය බෝවීම මහා පරිමාණයෙන් සිදුවීම සම්බන්ධයෙන් වෙනත් මැසිවිල්ලක් ද ඇත. එනම් වෛරසයේ ප්‍රභේද රාශියක් ඉන්දියාවේ සොයාගනු ලැබීමය.

ඉන්දියාවෙන් B.1.617. යනුවෙන් නම්කරන ලද නව ප්‍රභේදයක් හමුවිය. එම නව වෛරස් ප්‍රභේදය මත ප්‍රධාන විකෘති දෙකක් පෙන්නුම් කෙරෙන හෙයින් එය ඇතැමුන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ “ද්විත්ව විකෘති වෛරසයක් ” ලෙසය. එම වෛරස් ප්‍රභේදය වැඩිවශයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට සහ ප්‍රතිජීවක මගින් එය අවහිර කරනු ලැබීම දුෂ්කර වියහැකි බවට විද්‍යාගාර සාක්‍ෂි ඇති නමුත් කොපමණ මට්ටමකින් ප්‍රතිශක්තිය අහිමි වී ඇද්දැයි විද්‍යාඥයෝ තක්සේරු කරමින් සිටිති.

යම්කිසි රටක කොරෝනා ආසාදිත ජනසංඛ්‍යාව අධික මට්ටමක පවතින්නේනම් එහි තේරුම අලුත් ප්‍රභේදයන් මතුවීමට වැඩි ඉඩකඩක් පවතින බවය. ඊට හේතුව සෑම ආසාදනයවීමක් ම වෛරසයට පරිණාමය වීමට අවස්ථාවක් සලසන හෙයිනි. එම තත්ත්වය යටතේ පැන නගින ප්‍රධාන මැසිවිල්ලක් වන්නේ වෛරසයේ විකෘතිවීමක් එන්නත්කරණය ඵලරහිත වියහැකි තත්ත්වයක් උද්ගත කරනු ලැබීමය.

“නව වෛරස් ප්‍රභේදයන් අතිවීම සීමාකර ගැනීමට ඇති මාවත වන්නේ වෛරසය අප සිරුරේ තැන්පත්වීම වළක්වා ගැනීමයි. එම නිසා ප්‍රභේදයන් පාලනයට ඇති හොඳම උපක්‍රමය මේ මොහොතේ වසංගතය ලෝක මට්ටමින් පැතිර පවතින මට්ටම පාලනය කරනු ලැබීමයි”එක්සත් රාජධානියේ, කොවිඩ්-19 ක්‍ෂුද්‍ර ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ෂැරෝන් පීකොක් (Prof Sharon Peacock) පවසයි.

එය සිදුකරගත හැකිවන්නේ රටවල් සහ ප්‍රදේශ අගුළු දැමීම (ලොක්ඩවුන්) සහ සමාජ දුරස්ථභාවය රැකගැනීම මගිනි. එන්නත්කරනු ලැබීම් ද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි.

එය ඉන්දියාවේ සිදුවන්නේ මන්දගාමීවය. මෙතෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ ඉන්දියානු ජනගහනයෙන් 10% ත් අඩු පිරිසකටය. මාත්‍රා දෙකම එන්නත්කරනු ලැබ ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් 2%ටත් අඩුය.

එවැනි තත්ත්වයක් පවතින්නේ ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය වන ‘සීරම් විද්‍යායතනය'(Serum Institute) ඉන්දියානු භූමියේ ම පිහිටා තිබියදීය. අනිත් අතින් ඉන්දියාවේ ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළයාම ලෝකයේ සෙසු රටවලට බලපෑමේ අනිත් හේතුව වන්නේත් එහි පවතින එකී තත්ත්වය ය.

ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගැනීමත් සමඟ එරට බලධාරීහු ඔක්ස්ෆර්ඩ්-සෙනිකා එන්නත වෙනත් රටවලට අපනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ පටන් නතර කිරීමට පියවර ගත්හ.

ලෝකයේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට සපයනු ලබන එක්සත් ජාතීන්ගේ සහයෝගය සහිත කොවැක්ස්(Covax) ව්‍යාපෘතියත් එකී තහනමට ඇතුළත් කරනු ලැබුණි. එම එන්නත යළි සැපයීම ආරම්භ කරන්නේ කවදාදැයි දැන ගැනීම සඳහා බලාසිටින බව ජගත් එන්නත් සන්ධානය (Gavi) පසුගිය සඳුදා කියා සිටියේය.

එන්නත් අපනයනය නතර කිරීම බොහෝ රටවල ජනයා එන්නත්කරනු ලැබීම කෙරෙහි නියත බලපෑමක් ඇතිකරයි. එහි තේරුම වන්නේ නිෂ්පාදනය වැඩිකරනු ලැබීමට උත්සාහ දරන අතරවාරයේ ඉන්දියාව එම නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණය දේශීය භාවිතයට උපයෝගී කරගන්නා බවය.

දැනට ඉන්දියාවේ පවතින නරක තත්ත්වය යටතේ එවැනි ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව විද්‍යාඥයෝ පවසති.

”ජනතාව එන්නත් කිරීම හැකිතරම් ඉක්මනින් දෙගුණ කිරීම අපේ සැබෑ උවමනාව වී තිබෙනවා.එහෙමත් නැත්නම් වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම පාලනය කිරීමට හැකි සියල්ල කිරීමට උත්සාහ කරනවා” වෛද්‍ය ස්වාමිනාදන් පවසයි.

වෛරසය රටින් රටට විනාශකාරී ලෙස පැතිරයමින් පවතින ආකාරය අනුව එය මැඩලීම පහසු නොවන අසීරු අභියෝගයක් වන බව ලෝක මට්ටමින් පෙන්නුම් කෙරෙයි.

මේ අතර ඉන්දියාවේ පවතින අනාරක්‍ෂිත තත්ත්වය මගින් අපට සිහිගන්වන්නේ ”සියලු දෙනා ආරක්‍ෂා වෙනතෙක් කිසිවකුට ගැලවීමක් නොමැති” බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button