දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්දියානුවන් ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය කෙරෙන ව්‍යාපාරයක් ගැන ඇත්ත හෙළිවෙයි

ඉන්දීය ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනය වීමට අවස්ථාව දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ඒකට නම් කියන්න තියෙන්නේ, පට්ට පල් බොරුවක්. දේශපාලන කතාවක් වෙන්නට ඕන. එහෙ ම දේශපාලන කතා මේ දවස්වල ගොඩක් යනවා. එහෙ ම කිසි ම ක්‍රියාවලියක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කරන්න ඕනේ.”

කෙසේ වෙතත් ඊයේ (අප්‍රෙල් 26) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනය වීමට අවස්ථාව ලබා දී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවය.

“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනාගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”

එහිදී අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකතන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේ ය.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ වෙබ් අඩවිය සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, සිවිල් ගුවන් සේවා අධිකාරිය එවැනි කටයුත්තක් සිදු නොකරන බවය.

තම අධිකාරිය සිදු කරන්නේ, නෛතිකව පැවරී ඇති බලතල අනුව ගුවන් යානා සඳහා මෙරට ගුවන් සීමාවට ඇතුළුවීමට අනුමැතිය ලබා දීම පමණක් බව ඒ මහතා සඳහන් කළේ ය.

එමෙන් ම, එලෙස අනුමැතිය ලබා දීමක් සිදු කළහොත් ඒ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන බවත් තම අධිකාරියේ කටයුතු විනිවිධභාවයකින් යුතුව සිදු වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

“සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කිසි ම බිස්නස් එකක් වෙන්නේ නැහැ. අපි කරන්නේ ලීගල් අපිට දීල තියෙන බලතල අනුව approval එක දෙන එක. ඒක හරි ට්‍රාන්ස්පේරන්ට්. ඒක අපි approval එක දුන්න ම හැමතැනට ම දෙනවා. අනික කොවිඩ් සෙන්ටර් එකට, ලංකාවේ දාල තියෙන ටාස්ක් ෆොස් එකටත් අපි කොපි කරනවා මෙන්න මෙයාට approval එක දුන්නා, මෙන්න මේ කට්ටිය එන්නේ, මේවටයි එන්නේ කියලා. කිසි ම කෙනෙකුට එන්න බෑ අපේ approval එක නැතුව, ලංකාවේ කිස් ම එයාර්පෝර්ට් එකකට එන්න බෑ, කිසි ම එයාර්ක්‍රාෆ්ට් එකකට අපේ එයාර් ස්පේස් එකට.”

මේ වන විට නිරෝධායනය කටයුතු සඳහා එලෙස කිසිවෙකුට පැමිණ නොමැති බව ද ජයකාන්ත මහතා සඳහන් කළේ ය.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නොසිතූ විරූ ලෙස ඉන්දියාවේ කොරෝනාවෛරසය දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බවය.

ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වේ.

ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරනුයේ, යුරෝපීය රටවල්, මැද පෙරදිග රටවල් ආදී ස්ථාන වෙතය.

ඊට අමතරව තවත් පිරිසක් ඉන්දියන් සාගරයේ ආරක්ෂිත රටවල් වෙත ද යමින් සිටින බව වාර්තා වී තිබේ.

මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button