ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 350,000 ඉක්මවයි – ප්‍රාන්ත 10 ක් අධි අවධානම්!

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඉරිදා (25 වැනිදා) වාර්තා වී තිබූ නව ආසාදිතයන් ගණන 354,531 ක් විය. එය ඒ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී තිබූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. තුන් ලක්‍ෂය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ අඛණ්ඩව පස්වැනි දිනටයි.

සෙනසුරාදාද වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. ඊට අමතරව උත්තර් ප්‍රදේශ්, කේරළ, දිල්ලි, චතිස්ගාර්, ගුජරාත්, තමිල්නාඩු, බටහිර බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ්, බිහාර් යන ප්‍රාන්තවලින්ද විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබිණි.

එදින වාර්තා වූ ආසාදිතයන්ගෙන් සියයට 74 ක්ම වාර්තා වී ඇත්තේ මෙම ප්‍රාන්ත දහයෙන් බව සඳහන් වේ. මෙම තත්ත්වය තුළ රෝහල්වල ඉඩකඩ පිළිබඳ ගැටලුව දිනෙන් දින ඉතා දරුණු අතට හැරෙමින් ඇත. එමෙන්ම ඔක්සිජන් හිඟයද රෝගීන්ගේ ජීවිත දැඩි ලෙස අනතුරෙහි හෙළමින් තිබේ. ඔක්සිජන් නොලැබීමෙන් මිය යන රෝගීන් ගණනද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත.

මේ අතර ඉන්දියාවේ පවතින බැරෑරුම් තත්ත්වය ඇමරිකාවේද දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම අලුත් කොවිඩ් රැල්ලට මුහුණ දීම සඳහා එරටට උපකාර කිරීමට සැලසුම් කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබිණි.

‘කොවිඩ් වසංගතය බියකරු ආකාරයෙන් පැතිරෙමින් ඇති මෙම අවස්ථාවේ අප ඉන්දියානු ජනතාව සමග සිටිනවා. අප මේ වනවිට ඉන්දියාවේ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටින අතර ඉන්දියානු ජනතාවට සහ සෞඛ්‍ය සේවයේ වීරයන්ට සහය දීම සඳහා ඉක්මනින් පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා’ යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.

මේ අතර පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ද මේ අවස්ථාවේ ඉන්දියාවට උදව් කරන මෙන් පාකිස්තාන රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඔහු මෙම ඉල්ලීම කර තිබුණේ ඔහුගේ යූටියුබ් නාළිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමිනි.

‘කිසිදු රජයකට මේ ඇති වී තිබෙන අර්බුදය තනිව ජයගැනීමට අසීරුයි. ඉන්දියාවට උදව් කරන්න යැයි මා මගේ රජයෙනුත්, මගේ රසිකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා. ඉන්දියාව වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරන ලෙසත්, ඔවුන්ට ඔක්සිජන් ටැංකි සැපයීමට පියවර ගන්නා ලෙසත් මා ඉල්ලා සිටිනවා’ යැයිද ඔහු පවසා ඇත. අක්තාර් අවධාරණය කරන්නේ මේ අසීරු අවස්ථාවේ ඉන්දියාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවයි. ‘මේක ගෝලීය වසංගතයක්. අපි හැමෝම ඒකෙ ගොදුරු. මෙහිදී අප එකිනෙකාට උදව් කළ යුතුයි’ යනුවෙන්ද ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button