විශේෂාංග

තොප්පිගල මහ කැලෙත් මහා පූජා නගරයක්

ශ්‍රී ලංකා භූමිය තුළ අප ඇසූ දුටු තැන්වලට වඩා නොඇසූ නොදුටු තැන් ඇති බව රහසක් නොවේ. මන්ද ශ්‍රී ලංකා භූමිය යනු තෙවරක් බුදු රජුන් වැඩි බිමක් මෙන්ම එක පෙළට රජ දරුවන් තැනූ බිමකි. එම නිසාම මෙම බිමෙහි සැඟවුණු කතාවලට සීමාවක් හෝ යම්කිසි කෙළවරක් නැත. සැබෑවටම ඒ සියල්ල අසීමාන්තිකය.

ඉතින් අප අද මෙසේ වටපිටාව සකසා ගන්නේද එවැනි කතාවක් වෙනුවෙන්ය. මේ කතාව අයිති ශ්‍රී ලංකාවේ ඉහළ කෙළවරටය. ශ්‍රී ලංකාවේ ඉහළ කෙළවර යැයි කියූ පමණින්ම ඔබට මට කුරිරු යුද්ධයක මතක සිහිවුණද මෙම කතාව අයිති ඓතිහාසික පසුබිමකටය. ඔව් මේ තොප්පිගල වනයෙන් මතු වූ පූජනීය බිමේ කතාවය.

සැබෑවටම මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පත්තුවට අයත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම තොප්පිගල ආශ්‍රිතව අදටත් දැකගත හැකිය.මේ අතර තොප්පිගල මෙන්ම නෙලුගල වැනි ප්‍රසිද්ධ විහාරාරාමයන්ට අමතරව නරකමුල්ල ප්‍රදේශයේ විශාල ගල්කුලුවලින් සමන්විත භූමියක දැකිය හැක්කේ පැතිරුණු දැවැන්ත සංඝාරාම සංකීර්ණයක නටබුන්ය. එය නමින් තොප්පිගල වනයේ සැඟවුණු නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමියයි. ඓතිහාසික අතින් මෙම භූමිය කොතරම් ඉහළ තැනක තිබුණද අදටත් මෙම ඓතිහාසික භූමිය ගැන දන්නේ අතළොස්සක් පමණි. එය නම් කනගාටුවට කරුණකි.

ඓතිහාසික අතින් වැදගත් ඉපැරණි නරකමුල්ල සංඝාරාම සංකීර්ණය පුරාවිද්‍යා භූමියට යා හැකි මාර්ගය ගැන පැවසීම මෙහිදී වැදගත්ය. ඊට හේතුව අප එය කියවන ඔබට කියවන්නට ලියනවා මෙන් නොව එය ඇසින් දැක සිත පහදවා ගත හැකි ස්ථානයක් වීමයි. ඒ අනුව නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමියට යා හැකි මාර්ගය මෙසේය.

මුලින්ම වාලච්චේන සිට මඩකලපුව දක්වා මාර්ගයේ කිරාන් මංසන්ධියෙන් දකුණු දෙසට හැරී කිරාන් පසුකර තොප්පිගල දෙසට මඳ දුරක් යා යුතුය. එසේ යන විට තාරාවිකුලම් යුද හමුදා කඳවුරු හමුවෙයි. එම තාරාවිකුලම් යුද හමුදා කඳවුරු අසලින් මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගිය පසු අලි ඇතුන් ගහන නරකමුල්ල වනයේ සැඟවුණු මෙම ඓතිහාසික ආරාම සංකීර්ණය වෙත ළඟාවිය හැකිය. දැනට මෙම ස්ථානයට යා හැකි පහසුම මග මෙයයි.

පසුගිය ඛඔඔෑ යුද සමයේ හුදෙකලා ප්‍රදේශයක් වූ නරකමුල්ල එවකට කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් අතින් බහුල ප්‍රදේශයකි. කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් රැසකින් සමන්විත මෙම සංඝාරාම සංකීර්ණයේ ප්‍රතිමා ගෘහය, බෝධි ගෘහය ඇතුළු විහාරාරාම රැසකම නටබුන් අදටත් එහි පහළ ගල් තලාව පුරාවට දැකගත හැකිය.

දැනට මෙම ස්ථානයෙන් සෙල්ලිපි කීපයක්ද හමුවී ඇත. තවද මෙම භූමියෙන් හමුවූ බව කියන ශෛලමය විහාරාරාම අංගයන්හි නටබුන් කොටස් චාම් කැටයමින් සරසා තිබීමෙන් සහ බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් මඟින් මෙම ආරාම සංකිර්ණය අනුරාධපුරයේ මුල් යුගයට අයත් බව අනුමාන කළ හැකිය.

මේ අතර නරකමුල්ල සංඝාරාම සංකීර්ණ පුරාවිද්‍යා භූමිය තුළ අතීතයේ දැවයෙන් කළ කුඩා පාලමක්ද ඉදිකර තිබූ බවට සාධක හමුවී ඇත. එසේම මහා වනය හරහා මඳක් ඉහළට ගමන් කිරීමේදී කටාරම් සහිත ගල් ලෙන් රැසක්ම හමුවෙයි. ඒ අතර එම ගල් ලෙන් කීපයක ආදි මානව සිතුවම් ලෙස අනුමාන කළ හැකි සුවිශේෂී සිතුවම්ද දැකගත හැකිවීම විශේෂත්වයකි.

මෙහි ඇති දැවැන්තම ගල් ලෙන එදා ප්‍රධාන විහාර ගෙය වූ බව බැලූ බැල්මට පෙනෙයි. වසර කීපයකට පෙර විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් පවා මෙහි තිබූ බවට සඳහන් වුවත් අද එය ගඩොල් ගොඩකට පමණක් සීමාවී තිබේ. මෙම ගල් ලෙනේ වියන් තලය අලංකාර සිතුවමින් අලංකාර කර තිබූ බවද පෙනෙයි. එසේම මෙම ලෙනේ දීර්ඝ ලෙන් ලිපියක්ද වෙයි. එයින් මෙම ලෙන පූජා කළ පුද්ගලයා හා ඔහුගේ පරපුර ගැන සඳහන් වෙයි.

මෙම ලෙන් සංකීර්ණයේ ඉහළ කඳුගැටය මත කළුගලින් කළ ස්ථූපයක නටබුන් දක්නට ලැබුණද ඒවා දැනටත් නිධන් සොරුන් විසින් විනාශ කර තිබෙන බව දැකගත හැකිය. එම නිසා සියලුම විහාරාරාංග තුළින් සමන්විත නැගෙනහිර පළාතේ ඇති මෙම ඉපැරණි බෞද්ධ විහාර සංකීර්ණය සංරක්ෂණය කළ යුතුය. එසේ නොවන්නට ඉදිරි පරම්පරාවට මෙය දැකබලා ගැනීමට කිසිවිටෙක හැකියාවක් නොමැත.

රුවන් එස්. සෙනවිරත්න

Courtesy – Mawratanews

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button