ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

දිගු කලකට පසුව ෂාරුක් – දීපිකා නැවතත් රිදී තිරයට

වසර දෙකක නිහැඩියාවකට පසු සුපිරි නළු ෂාරුක් ඛාන් රඟපාන අලුත්ම චිත්‍රපටය ‘පතාන්’ ගැන මේ වන විට විශාල අවධානයක් යොමු වෙමින් තිබේ.

ෂාරුක් මේ ආකාරයෙන් නැවත රංගනයට අවතීර්ණ වීම ගැන ඔහුගේ රසික රසිකාවියන් දැඩි උද්දාමයෙන් සිටින බව පෙනුණත් මෙම සිනමාපටය වර්ජනය කළ යුතු බවට වන මතයක්ද ඇතැමුන් පතුරුවමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. ඒ ගැන සඳහන් කිරීමට පෙර මෙම සිනමාපටය ගැන යම් හැඳින්වීමක් කිරීම වැදගත් වනු ඇත.

‘පතාන්’ සිනමා පටය හැඳින්වෙන්නේ ඉතා වේගවත් ක්‍රියාදාම (Action) සිනමාපටයක් වශයෙනි. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එය පළිගැනීමක් පිළිබඳ කතා පුවතක් රැගත් නිර්මාණයකි. ෂාරුක් මෙහි රඟපාන්නේ රහස් ඔත්තු නිලධාරියකුගේ චරිතයක් බවද සඳහන්ය.

වසර ගණනාවකට පසු දීපිකා පාදුකෝන් සහ ෂාරුක් එකට රඟපෑමද ‘පතාන්’ සම්බන්ධ තවත් විශේෂත්වයකි. දීපිකාද රහස් ඔත්තු නිලධාරිනියකගේ චරිතයකට පණ පොවන බව වාර්තා වේ. මෙයට පෙර ඔවුන් ‘ඕම් ශාන්ති ඕම්’ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’, ‘හැපි නිව් ඉයර්’ වැනි චිත්‍රපටවල රඟපෑ අතර ඒ අතරින් අවසන් චිත්‍රපටය වූ ‘හැපි නිව් ඉයර්’ තිරගත වූයේ මෙයට වසර 6කට පෙර එනම් 2014 වසරේය.

‘පතාන්’ හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ජෝන් ඒබ්‍රහම් සහ ෂාරුක් පළමු වතාවට එක චිත්‍රපටයක රඟපෑමයි. ඒබ්‍රහම් මෙහි දුෂ්ට චරිතයක් රඟපානු ඇති බවටද ආරංචි පළවී තිබේ. ෂාරුක් සහ ජෝන් ඒබ්‍රහම් පෙනී සිටින ඉතා උද්වේගකර දර්ශන රැසක් ඇති මෙහි ඇතුළත් කිරීමට චිත්‍රපටයේ නිර්මාණකරුවන් කටයුතු කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි.

ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය දරුණු ආකාරයෙන් පැතිරෙමින් තිබියදී දැඩි සෞඛ්‍යාරක්ෂක සීමාවන් මධ්‍යයේ එහි රූපගත කිරීම් ආරම්භ වූයේ නොවැම්බරයේ මැද භාගයේයි. මුලින්ම රූපගත කෙරුණේ ෂාරුක් ඛාන් පෙනී සිටින දර්ශනයි. මුම්බායිහි යෂ්රාජ් චිත්‍රපට සමාගමේ චිත්‍රාගාරවල මෙම දර්ශන රූපගත කෙරිණි.

පසුව දීපිකාද රූපගත කිරීම් සඳහා සහභාගි වී තිබූ අතර පසුගිය දෙසැම්බර් 24 වැනි දින දක්වා මාසයකට ආසන්න කාලයක් මෙම රූපගත කිරීම් ඉදිරියට ගොස් තිබිණි. කෙටි විරාමයකින් පසු නැවතත් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. රූපගත කිරීම්වල එම අදියර ඉන්දියාවේ නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිදුකෙරෙනු ඇති බවද වාර්තා වේ.

ජෝන් ඒබ්‍රහම්ද එහිදී රූපගත කිරීම්වලට එක්වීමට නියමිතය. මෙයට අමතරව සල්මාන් ඛාන් සහ රිතික් රොෂාන්ද කෙටි දර්ශන කිහිපයක පෙනී සිටිනු ඇති බව සඳහන් වේ. සල්මාන් දින 12-15 අතර කාලයක් රූපගත කිරීම්වලට සහභාගි වනු ඇත. චිත්‍රපටයේ උද්වේගකර ජවනිකා බොහොමයක් රූපගත කරනු ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.

සනත් වික්‍රමගේ

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button