ක්‍රීඩා පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබූ අතර අදාළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසින් ඉදිරියේදී පන්දුවාර 10 ආකෘතියෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩාව ඊට ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලනයත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කර තිබිණි.

එහිදී ලොව ප්‍රමුඛතම ක්‍රිකට් පරිපාලන මණ්ඩල ලෙසින් සැලකෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලනයේ නිලධාරීන් අතර පසුගිය දිනක පැවැත්වූ සාකච්ඡා වටයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඔලිම්පික් උළෙලේදී යොදා ගැනීමට අදාළ තරග රටාව (ටෙස්ට්, එක්දින, විස්සයි-20 හෝ පන්දුවාර 10) සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුව ය ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතව ඇති බව දැක්වේ.

මේ අතර මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් පන්දුවාර 10 තරගාවලියක් සංවිධානය නොකිරීමත්, දින 10ක් වැනි කෙටි කාලයක් තුළ සියලුම තරග පවත්වා අවසන් කිරීමට අවශ්‍ය වීමත් යන කරුණු මත පදනම්ව ඔලිම්පික් උළෙල වෙනුවෙන් පන්දුවාර 10 (ටී-10) තරග ආකෘතිය හඳුන්වාදීමේ වැඩි ඉඩක් පවතින බවත් පැවසේ.

එසේ ම, මෙම සියලු කටයුතු සංවිධානය කිරීමෙන් අනතුරුව 2028 වසරේදී ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වාදීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන්ය. ඒ අනුව නියමාකාරයෙන් සංවිධානය වූ ක්‍රිකට් තරගාවලියක් ඔලිම්පික් උළෙලට එක්වීමේ වැඩි ඉඩක් පවතින්නේ 2032 වසරේ බ්‍රිස්බන් නුවරදී පැවත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා බව අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලන ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගමිත දෙහිපිටිය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button