දේශපාලන පුවත්දේශීය පුවත්

රාජ්‍ය ඇමැතිගේ අනිසි බලපෑම් ගැන කියමින් නිවාස අධිකාරියේ සභාපති රේණුක ඉල්ලා අස්වෙයි

දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ විගණන පරීක්ෂණයක් මඟින් වැරැදිකරුවකු වූ පුද්ගලයකු වැඩ බලන සාමාන්‍යාධිකාරි ධුරය සඳහා පත්කිරීමට රාජ්‍ය ඇමැතිවරයා විසින් කරනු ලබන බලපෑම් හමුවේ එවැනි දූෂිත නිලධාරීන් සමඟ ආයතනය තුළ කටයුතු කිරීම ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ නිරතවන පුද්ගලයකු ලෙස එකඟවීමට නොහැකි බැවින් තමා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇත.

“මතභේදාත්මක තත්ත්වය තුළ දිගින් දිගටම ආයතනය තුළ කටයුතු කිරීමෙන් අතිගරු ජනාධිපතිතුමා හා ඔබතුමාත් අපේක්ෂා කරනු ලබන ඉලක්ක කරා යෑම අපහසුවන බැවින්ද, මතභේදාත්මක තත්ත්වය තුළ ආයතනයක් නිසියාකාරව කළමනාකරණය කර ගැනීමට නොහැකිවන බැවින් මා මෙතෙක් සභාපති ධුරය දැරූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා අගමැතිවරයා වෙත යවා ඇති එම ලිපියෙහි සඳහන් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම්, බැසිල් රාජපක්ෂ හා අමාත්‍යාංශ ලේකම් වෙත පිටපත් සහිතව යවා ඇති එම ලිපියෙහි මෙසේද සඳහන් වෙයි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව මේ රටේ නිවාස නොමැති ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස මා වෙත පවරන ලද වගකීම් මා විසින් නොපිරිහෙළා ඉටු කිරීම සම්බන්ධව ඔබතුමන්ද සෑහීමකට පත්වී ඇතැයි මා විශ්වාස කරමි.

ඒ අනුව ගත වූ මාස 15 වැනි කෙටි කාලයක් තුළ ‘ඔබට ගෙයක් රටට හෙටක්’ ව්‍යාපෘතිය මඟින් නිවාස ඒකක 13,000ක් ආරම්භ කර පවුල් 10,000කට අධික පවුල් සංඛ්‍යාවකට පසුගිය සිංහල – දෙමළ අලුත් අවුරුද්ද තමන්ගේම නිවහනක ජීවත් වීමේ භාග්‍ය එම පවුල් සඳහා පැවැරීමට ඔබතුමාට හැකිවීම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් එයට දායක වීමට හැකිවීම මා ලද භාග්‍යයයකි.

තවද පසුගිය කාලය තුළ ආයතනය තුළ පැවැති අධික වියදම් කපා හැර 2019 වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියනයක වියදම් අඩු කිරීමට හැකි වීම මීට පෙරද ඔබතුමා වෙත වාර්තා කරන්නට හැකි වීම මාගේ කෙටි කාලීන සේවා කාලය තුළ ලබා ගන්නා ලද තවත් ජයග්‍රහණයකි.

එසේම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මා පත්වන විට ආදායම් තත්ත්වය ඉතා පහළ මට්ටමක පැවැති අතර කොරෝනා තත්ත්වය තුළ වුවද ආදායම් තත්ත්වය ක්‍රමානුකූලව වර්ධනය කරමින් පසුගිය මාර්තු මාසයේ ආදායම රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් ආදායම් වශයෙන් රැස් කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හැකි වීමද අප ලද තවත් ජයග්‍රහණයකි.

විවිධ අපහසුතාවන් හා දුෂ්කරතාවන් හමුවේ මෙම ඉලක්කයන් ජය ගත්තද රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද බලපෑම් හේතුවෙන් ඇතැම් කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකි වූ බව මීට පෙර මා විසින් ඔබතුමා වෙත වාර්තා කර ඇත.

තවද සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීම සඳහා ඔබතුමන්ගේ නායකත්වයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමේ වස්තු බීජයේ සිට පැවැති සියලු අභියෝගවලට හා ගැටලුවලට මුහුණ දෙමින් පළාත් පාලන මැතිවරණ, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේද විශිෂ්ට ජයග්‍රහණය ලබා දීමට පක්ෂයේ පාලක ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම පිළිබඳ නිහතමානී සතුටක් ලබන අතර දූෂිත නිලධාරියකු වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයකු ලෙස පත් කිරීමට රාජ්‍ය ඇමැතිවරයා ගන්නා ලද උත්සාහය පිළිබඳව මගේ බලවත් කනස්සල්ල පළ කරමි.

තවද අදාළ නිලධාරියා සම්බන්ධව ආයතනයේ අභ්‍යන්තර විගණන අධිකාරිය විසින් කරන ලද විගණන වාර්තාවේ පිටපතක්ද මේ සමඟ ඉදිරිපත් කරමි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button