දේශීය පුවත්ප්‍රධාන පුවත්

පමුණුවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමු වෙයි – කඩ දෙකක් වැසේ – කොරෝනා තෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා අසාධනය වූ රෝගීන් විස්සක් පමණ හමුවීම හේතුවෙන් මහරගම පමුණුව රෙදි කඩ දෙකක් වසා දමා තිබෙනවා.

එමෙන්ම වයඹ, උතුර, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවල කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් කොරෝනා තෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහයෝගය ලබාදිය යුතු බවටයි එම සංගමය ඉල්ලා සිටින්නේ.

මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 309ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 97,105 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ඊයේ දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා.

ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 620 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සහය දක්වන ලෙසටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button