ප්‍රධාන පුවත්විශේෂාංග

ඕගොඩපොළ අසරණයන්ට මඩවතුර වෙනුවට බොන වතුර ටික දුන්නොත් අපාගත වෙයි ද?

තාක්ෂණය දියුණු යැයි පවසන අද දවසේ ද මඩ මුසු බොර වතුර බීමට තරම් අවාසනාවන්ත වූ ගම්වාසීන් පිරිසක් සොයා පසුගිය දා අපි රිදීගම, ඕගොඩපොළට ගියෙමු. මේ මඩ වතුර එන්නේ පානීය ජල ව්‍යාපෘතියකිනි.

1980 ආරම්භ කර ඇති ඕගොඩපොළ පානීය ජල ව්‍යාපෘතිය මගින් මේ දක්වා ම සැපැයී ඇත්තේ පානයට නොසුදුසු බොර වතුර බව ගම්මු කියති.

“අපේ ගම ඕගොඩපොළ. ගම්මාන හතරකට පහකට මේකෙන් වතුර ගන්නවා. මේ මඩ වතුර තමයි අපට එවන්නේ. ඇඳුමක් හෝදගන්න. මාළුවක් පිහින්න, තිබහට බොන්න මේ එවන වතුරෙන් බෑ. අපිට දුකයි. පිරිසුදු නොකර ඔයේ ගලාගෙන යන වතුර තමයි එවන්නේ. අපිට හොඳ වතුර දෙන්න කියලා තමයි අපි කියන්නේ. ඔයට වළලු දාලා ඔය මැද්දේ ළිඳ ගහලා තමයි ටැංකියට වතුර එවන්නේ. කොච්චර කිව්වත් කිසි කෙනෙක් මේ ගැන බලන්නේ නැහැ. වහින දවස්වලට නම් මේ වතුර පාවිච්චියකට ගන්න ම බෑ.” එසේ කීවේ ඕගොඩපොළ දර්ශනී රාජමුනි මහත්මියයි.

ඕගොඩපොළ බේකරියක් පවත්වාගෙන යන චන්ද්‍රසේන මහතා කීවේ මෙබඳු කතාවකි.

“මං දැන් අවුරුදු 15ක් විතර පාන් බේකරිය කරනවා. බේකරිය පටන්ගත්ත දාටත් කලින් ඉඳල ම ආවේ බොර වතුර. මේ වතුරෙන් පාන් හදන්න බෑ. මම ගෙදර ෆිල්ටරයක් හයිකරලා පිරිසුදු කරලා තමයි වතුර පාවිච්චියට ගන්නේ. සමහර වෙලාවට මඩ මිදිලා ෆිල්ටරයත් කැඩෙනවා. ආයේ ආපහු අලුත් ෆිල්ටරයක් ගේනවා. ඒ වගේ ෆිල්ටර් 50ක් විතර මේ වෙනකොට ගෙනත් තියෙනවා. මේ වතුර පිරිසුදු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ මිනිස්සු හැමදා ම අපට එවන්නේ මඩ වතුර.”

මෙම ජල ව්‍යාපෘතියට ජලය පොම්ප කරන්නේ දැදුරු ඔයෙනි. ගම්වාසීන් කියන හැටියට ජලය පොම්ප කෙරෙන්නේ පිරිසුදු කිරීමකින් තොරවය. මේ නිසා ගම්මුන්ට ආහාර පිසීමට, බීමට, රෙදි සේදීමට ආදී සියලුම දේට පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මඩ වතුරය.

අවාසනාවකට මෙන් ගම්මාන 6ක පාසල් 3ක සිසු සිසුවියන් 1500කටත් සිදුව තිබෙන්නේ බොර ජලය පාවිච්චියට ගැනීමටය. එම ජලය තමන් පානය කිරීම හේතුවෙන් තමන් නිතර රෝගී වන බව ජනතාව කියති.

ඕගොඩපොළ සරත් මහතා කියන හැටියට පිරිසුදු පානීය ජලය ගමට ලබාගැනීම හීනයකි.

“අවුරුදු 40ක් තිස්සේ මේ බොර වතුර තමයි අපි පාවිච්චි කරන්නේ. වතුර ටික බොන්න පුළුවන් විදිහට එවන්න කියලා කිහිපවතාවක් ම කිව්වා. කොච්චර කීවත් වැඩක් නෑ. දැදුරු ඔයේ ගහගෙන යන වතුර තමයි ඔය මැද තියෙන ටැංකියට අරගෙන ඕගොඩපොළට එවන්නේ.”

මේ සම්බන්ධව නදීකා ප්‍රියදර්ශනී මහත්මියද අදහස් දැක්වූවා ය.

“අවට ගම්මාන හත අටකට මේකෙන් වතුර දෙනවා. මේ වෙනකොට රටේ කොරෝනා වසංගත තත්ත්වයක් තියෙනවා. සමහර තැන්වල ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙලා. ඒ ජලය දැදුරු ඔයට එකතුවෙනවා. ඒ එකතු වන ජලය ටැංකියකට ගහලා පිරිසුදු කරන්නේ නැතිව තමයි අපට දෙන්නේ. බීමට සුදුසු පිරිසුදු ජලය දෙනවා කියලා ලොකු බිලකුත් එවනවා. මහජන සේවයට කියලා ගිය මිනිස්සු අපේ ගම්මාන ගැන හොයන්නේ බලන්නේ නෑ. හැබැයි ජනතාව ඊළඟ පාර නිවැරදි තීන්දුව ගනියි.”

මේ තත්ත්වය පිළිබඳව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ රිදීගම කාර්යාලයට, රිදීගම ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ට කිහිප වතාවක්ම ලිඛිතව සහ වාචිකව පැමිණිලි කළත් ඵලක් වී නැත. ගම්වාසීන්ගේ පැමිණිල්ලක් විමසා බැලීමට තරම්වත් එම නිලධාරීන් කාරුණික නොවීම පුදුම සහගතය.

ඕගොඩපොළ පද්මලතා මහත්මිය.

“මේ වතුර නම් පාවිච්චි කරන්න බෑ. අපට එවන්නේ මඩ වතුර. පිරිසුදු කරලා එවන්න කියලා තමයි අපි ඉල්ලන්නේ” යැයි කීවාය. ඉහළ ඕගොඩපොළ පිහිටා ඇති අදාළ ජල ටැංකිය ඉදිකිරීමෙන් පසු මේ දක්වා පිරිසුදු කර නොමැති බව ද ගම්වාසීහු කියති.

අදාළ ළිඳ තුළ ගොළුබෙල්ලන්, හැකරැල්ලන් සහ කෘමි සතුන් සිටින එහි ගිය අපට දැකගත හැකි විය.

විජේසිංහ වැලිකන්ද – කුරුණෑගල

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button