ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දුවෙක් හිටියනං කොන්ඩ’ම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ

”කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් ක’න්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.”

ඒ, 2021 පෙබරවාරි 03දා ‘ධරනී’ පුවත්පතේ පල වුණු 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල දිනූ චන්දි අලුවිහාරේ සමග කල කතාබහකින් කොටසක්. ලංකාවෙ කාන්තාවක් හැටියට බය නැතිව හදවතට එකඟ දේ විවෘතව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙනුයි මේ උපුටාගැනීම පල කරන්නෙ. සම්පූර්ණ ලිපිය පත්තරෙන් කියවන්න. සාකච්ඡාව කරලා තිබුනෙ සෙව්වන්දි හෙට්ටිආරච්චි.

ඔබ පෙනී ඉන්නෙ තනිවුනු මව්වරුන් වෙනුවෙන්. ලෝකයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුනට මේ සින්ගල් මදර් කියන සංකල්පය ලංකාවට තවමත් ආගන්තුකයි නේද?

ඔව්. ඒක එහෙම වෙලා තියෙන්නෙ ආකල්පමය වශයෙන් තවමත් අපි ඉන්නෙ ඉතාම නොදියුණු මානසිකත්වයක නිසා ගොඩනැගිලි හදලා විතරක් රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක මේ වගේ සංකල්පයක් ප්‍රතික්‍ෂේප වීම එක අතකට පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි.

නමුත් දියුණු රටවල මේ තත්වය වෙනස්. ඔවුන් භෞතිකව වගේම ආකල්පමය වශයෙනුත් ඉතාම දියුණුයි. දරුවෙක් එක්ක තනිවෙන මවකට ඒ දරුවාව උස්මහත් කරගෙන සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඒ රටවල නීති පද්ධතියෙන්ම සකස් කරලා දීලා තියෙනවා.

ඇයි මවක් මේ විදිහට තනිවෙන්නෙ?

මෙතනදි කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. විවාහක කාන්තාවන් දරුවන් සමග තනිවෙන්නෙ ඇයි කියල මුලින් කතා කරමු. උපන්දා ඉඳලා දැනසිටිය දෙන්නෙක් වුනත් එකට ජීවත් වෙන කොට එකිනෙකාගෙ වැරදි අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. ඒ අඩුපාඩු ගලපාගෙන එකට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ බැඳීම සාර්තකයි.

ඒත් ගලපගන්න අපහසු තැන් දිගින් දිගටම ගලපා ගැනීමට යාමෙන් සිද්ද වෙන්නෙ ඒ කාන්තාව කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීම විතරයි. මම කියන්නෙ කිසිම කාන්තාවක් ඒ වගේ බැඳීමක සිරකාරියක් විය යුතු නෑ. එවැනි බැඳීමකින් ඉවත් වෙන්න තීරණය කරන කාන්තාවකට සිද්ද වෙනවා තනිවුනු මවක් විදිහට සමාජයට මුහුණ දෙන්න.

ඒ වගේම නීත්‍යානුකූලව විවාහ නොවී මව්වරුන් වෙන කාන්තාවනුත් ඉන්නවා. මම නම් කියන්නෙ ඒ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මේ සමාජය සහ අපේ අධ්‍යාපන ක්‍රමය. තවමත් අපේ රටේ දරුවන්ට නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසාම අපේ රටේ මව්වරුන්ගේ අනුපාතය දවසින් දවස ඉහල යමින් තියෙනවා.

මෙතනදි මම තව දෙයක් කියන්න කැමතියි. මව විවාහකද අවිවාහකද කියන කාරණය මාතෘත්වයට අදාල කාරණාවක් නොවෙයි.

සෙ’ක්ස් කියන වචනය ගැන වැඩිපුර හොයපු රට විදිහට ලංකාව වාර්තා තියන්නෙ ඔය කියපු අධ්‍යාපන දුර්වලතා නිසාද?

කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත. යම් වයස් සීමාවකදි හැමකෙනෙකුටම ලිංගිකත්වය කියන කාරණාව ගැන වැඩිපුර දැනෙන්න ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්.

නමුත් ගොඩක් දෙමව්පියන් ඒ වගේ අවස්ථාවල දරුවො දිහා බලන්නෙ ලෝකෙ තියෙන ලොකුම අපරාධය කරපු අපරාධකාරයො දිහා බලනවා වගේ. ඒ වගේ වෙලාවක හිතට එකඟව ඔබට තරුණ කාලය මතක් කරගන්න පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්නයක් දිහා ඊට වඩා මානුෂික විදිහට බලන්න පුළුවන් වෙයි. ඒ නිසා අඩු වයසකදි අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුනොත් ඒකෙන් අත්වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබේ දියණියට වගේම පුතාටත් ආදරෙන් කියාදෙන්න.

මට දියණියක් හිටියා නම් අම්මා කෙනෙක් විදිහට නිසි වයස ආවට පස්සෙ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්න මම පැකිලෙන්නෙ නෑ. මගේ අවුරුදු 12ක් වෙන පුතාටත් මං මේ වෙනකොට මේ කාරණා කියල දීලයි තියෙන්නෙ.

අදටත් අපේ මිනිස්සු විවාහයේදී ක’න්‍යාභාවය සෙවීම ගැන ඔබේ අදහස මොකක්ද?

කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් ක’න්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button