විශේෂාංග

එකම පන්සලේ මහණ වෙන්න පෙරුම්පුරපු අයියයි මල්ලියි

ඇහැළියගොඩ, නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානය පාරිසරික, ආධ්‍යාත්මික දෙඅංශයෙන්ම සුන්දර වූවකි. සසුන් බිමට පිවිසි යොවුන් සොහොයුරන් දෙදෙනකු නිසා පසුගියදා මේ පින්බිම වඩාත් සුන්දර විය.

මේ ඒ කතාවයි.

භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ ඉළුක්තැන්නේ ධම්මසිරි නාහිමියන්ගේ අපවත් වීමේ වර්ෂ පූර්ණ පුණේ‍යාත්සවය පසුගිය දිනෙක ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒ පින්කම් මාලාව වඩාත් විචිත්‍ර වූයේ කුල දරුවන් තිදෙනකු මහණ කිරීමෙනි.

කොළඹ – රත්නපුර මාර්ගයේ ඇහැළියගොඩ නගරයෙන් දකුණතට ඇති දම්මුල්ල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ පසු කළ තැන නැදුරන ගම්මානය හමුවෙයි. නැදුරන ගම්මානයට පය ගැසූ හැටියේම දකුණතට ඇති අඩි පාරේ මීටර් 100ක් පමණ ගිය තැන රමණීය වනාන්තරයක් මධ්‍යයේ නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත.

එහි වත්මන් විහාරාධිපති ගින්නලියේ රතනසාර නාහිමියෝය. උන්වහන්සේගේ මාමා ද වූ විහාරාධිපති ඉළුක්තැන්නේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ 2019 මුල් භාගයේදී අසනීප තත්ත්වයේ පසුවූ ඉළුක්තැන්නේ ධම්මසිරි නාහිමියෝ 2020 පෙබරවාරි 20 අපවත් වූහ. ඉන් පසු විහාරාධිපතිත්වය හිමි වූයේ කෑගල්ල, හෙට්ටිමුල්ල, මාකූර රජමහ විහාරාධිපති ගින්නලියේ රතනසාර හිමියන්ටය.

රතනසාර හිමියෝ පසුව ශිෂ්‍ය දෙනමක් මාකූරෙන් වැඩම කරවා ගත්හ. දිනෙන් දින විහාරස්ථානය ගොඩනඟමින් හා දායකයන්ගේ ආගමික වතාවත් නොපිරිහෙළා ඉටු කරමින් සිටින අවස්ථාවේදී අපවත් වූ ඉළුක්තැන්නේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම යෙදුණේ පෙබරවාරි 20දාටය.

මින් එක් කුල දරුවකු වූයේ කෑගල්ල, හෙට්ටිමුල්ල, මාකූර ග්‍රාමයේ 12 හැවිරිදි ආර්.එම්. විමුක්ති දිල්ෂාන් කුමාර ගුණරත්නය. ඔහු මාකූරේ විපුලසාර නමින් සසුන්ගත කෙරිණි. විමුක්තිගේ පියා මහින්ද කුමාර ගුණරත්නය. විශ්‍රාමික හමුදා කෝප්‍රල්වරයකු වන ඔහු කෑගල්ල නගරයේ වෙළෙඳ ආයතනයක ආරක්ෂක අංශයේ රැකියාවක් කරන්නෙකි.

මව නදීකා ලක්මාලි ස්වර්ණ කාන්ති සිටින්නේ කුවේටයේය. පවුලේ වැඩිමල් සහෝදරයා වූ 18 හැවිරිදි ගවිදු ගයානුත්, 11 හැවිරිදි බාල සහෝදරයා වූ ජනිත් චමුපතිත් පැවිදි කිරීමේ පින්කමට සහභාගි වූහ. සිය සොහොයුරුගේ පැවිදි පින්කමෙන් පසු ගෙදර ගිය මල්ලී ජනිත් චමුපති තම පියාට මෙසේ කීවේය.

“තාත්තේ මටත් අයියා මහණ වුණා වගේ මහණ වෙන්න ඕනෑ. අදම ලොකු හාමුදුරුවන්ට කියන්න මමත් මහණ වෙන්න කැමැතියි කියලා. මට බෑ තාත්තේ ගෙදර ඉන්න. අයියා මහණ වෙලා සිවුර පොරවාගෙන ඉන්නකොට මටත් ආසාවක් ඇති වුණා. පියා මුලදී නිහඬව සිටියත් පුතු දිගින් දිගටම සිය ඉල්ලීම කළේය.

බැරිම තැන පියා ගින්නලියේ රතනසාර නාහිමියන්ව ඒ ගැන දුරකථනයෙන් දැනුවත් කළේය. “ආ කමක් නෑ. බොහොම වටිනවා. අදම පුළුවන්කමක් තියෙනවා නම් ළමයා පන්සලට ගෙනත් ඇරලවන්න. ලබන මාසේ අපවත් වුණු ලොකු හාමුදුරුවන්ගේ අවුරුද්දේ පින්කම තියෙනවා. පුළුවන්කමක් තිබුණොත් පැවිදි කරමු” රතනසාර හිමියෝ කීහ.

පසුව මහින්ද ගුණරත්න මහතා 11 හැවිරිදි ජනිත් චමුපති නමැති තම දරුවා නැදුරන, චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානයට රැගෙන ගොස් විහාරාධිපති ගින්නලියේ රතනසාර ස්වාමීන් වහන්සේට භාර කළේය. දින කිහිපයකට පසුව රතනසාර හිමියෝ මහින්ද ගුණරත්න මහතාට කතා කොට දැන්වූයේ, අපවත් වූ ලොකු හාමුදුරුවන්ගේ වර්ෂ පූර්ණ පින්කමට අදාළ පින්කම් මාලාවක් සංවිධානය කර ඇති බවත් එදින ජනිත් චමුපතිත් පැවිදි කරන බවත් කීය.

පසුව ඉකුත් 3දා මහින්ද කුමාර ගුණරත්න මහතා වැඩිමල් පිරිමි දරුවා වන ගවිදු ගයාන් කුමාර ගුණරත්න සමඟ ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානයට ගියේය. පසුදා 4දා අලුයම මහින්දගේ මවුපියෝද පැවිදි කිරීමේ උත්සවයට පැමිණියහ. පෙරවරු 7.45ට පැවැති සුබ මොහොතින් ජනිත් චමුපති කුමාර ගුණරත්න කුල දරුවා ගින්නලියේ රතනසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මාකූරේ ජිනසිරි නමින් පැවිදි කෙරිණි. පසුව පැවිදි කිරීමේ උත්සවයට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා, පියා, සීයා, කිරි අම්මා ඇතුළු නෑ පිරිස පිරිකරද ජිනසිරි සාමණේර ස්වාමීන් වහන්සේට පූජා කළහ.

අයියා – මලෝ දෙදෙනා පැවිදි කිරීමෙන් පසු විහාරස්ථානය කලඑළි විය.

දෙදෙනාම ශරීරයෙන්, හැඩ රුවින්, උසින් එක හා සමානය. බැලූ බැල්මට නිවුන් ස්වාමීන් වහන්සේලාසේය.

පැවිදි කිරීමෙන් අනතුරව මාකූරේ ජිනසිරි සාමණේර ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ. “අයියා පැවිදි වෙලා ඉන්න කොට මටත් පැවිදි වෙන්න ලොකු ආසාවක් ඇති වුණා. පස්සේ මම නිතරම තාත්තාට කරදර කෙරුවා මාව මහණ කරන්න කියලා. පසුගිය 4දා පැවිදි කෙරුවා. බණ දහම් ඉගෙනගෙන අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ශාසනයට වැඩදායි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.”

මාකූරේ විපුලසාර ස්වාමීන් වහන්සේගේ හා මාකූරේ ජිනසිරි ස්වාමීන් වහන්සේගේ පියා වූ විශ්‍රාමික කෝප්‍රල් මහින්ද කුමාර ගුණරත්න මහතා පොඩි දෙනම ගැන කීවේ මෙබඳු කතාවකි.

“මට දරුවෝ හතර දෙනයි. ලොකු පුතා ගවිදු ගයාන් කුමාර ගුණරත්න කෑගල්ල නගරයේ පාඨමාලාවක් හදාරනවා. දෙවැනි දියණිය වන කසුනි නිම්නාදී ගුණරත්න බිරියගේ මවුපියන්ගේ අත්තනගොඩ මහ ගෙදර ඉඳලා පාසල් යනවා. මගේ බිරිය නදීකා ලක්මාලි ස්වර්ණ කාන්ති කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරනවා. දැන් අවුරුදු තුනක් පමණ වෙනවා ගිහිල්ලා. කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවට එන්න බැරි වුණා. ලබන මැයි මාසේ එනවා කියලා තියෙනවා.

මමයි පිරිමි දරුවෝ තුන් දෙනයි මාකූරේ ගෙදර හිටියේ. පෙබරවාරි 20දා පැවිදි වූ විපුලසාර පොඩි හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් හෙට්ටිමුල්ල විද්‍යාලයට ගිහින් ගෙදර ඇවිල්ලා අසල තියෙන මාකූර පිරිවෙනට ඉගෙන ගන්න ගියා. ඒ ගමන්ම පන්සලේ නතර වුණා. නතර වෙලා ඉන්න කොට පසු ගිය මාර්තු 20දා පැවිදි දිවියට ඇතුළත් කෙරුණා. ඒ පැවිදි කිරීම දැකලා පොඩි පුතා වන ජනිත් චමුපතිත් මහණ කරන්න කියලා මට බල කරන්න පටන් ගත්තා. පස්සේ තමයි ලොකු හාමුදුරුවන්ට කියලා පසුගිය 4දා පැවිදි කළේ.”

විහාරාධිපති ගින්නලියේ රතනසාර ස්වාමීන් වහන්සේ මේ දෙනම පිළිබඳ කියා සිටියේ මේ වැනි අදහසක්ය.

“මම 1997 මහියංගණය රජමහ විහාරයේ තේවාව භාරව කටයුතු කරමින් සිටින අවස්ථාවේදී මාකූර රජමහ විහාරස්ථානයට එන්න අවස්ථාව උදා වුණා. මම විහාරස්ථානයට එනකොට මාකූර පන්සලේ කවුරුත් හිටියේ නෑ. පාළුවට ගිහිල්ලයි තිබුණේ. පස්සේ මම විහාරස්ථානයේ නතර වෙලා දායකයන් සමඟ ටිකෙන් ටික විහාරස්ථානය ගොඩනඟන්න පටන් ගත්තා. අභියෝගත් ආවා.

අබලන්ව තිබුණු ධර්ම ශාලාව ඉවත් කරලා තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කෙරුවා. පහළ මාලයේ ධර්ම ශාලාව, දෙවැනි මාලයේ පුස්තකාලය, තෙවැනි මාලයේ ධාතු මන්දිරය හැදුවා. කුල දරුවන් පැවිදි කරන්න පටන් ගත්තා. ඒ පැවිදි කරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඉගෙන ගන්න කියලා 2009 ධර්මායතන මූලික පිරිවෙන ආරම්භ කළා. පස්සේ 2015දී මහ පිරිවෙනක් බවට උසස් කෙරුණා. ඔය කාලය තුළදී කුල දරුවන් 90ක් පමණ පැවිදි කෙරුවා. ඉන් 25කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාලයට ගියා. ගිය පිරිසෙන් කොටසක් අද පිරිවෙන්වල පරිවේණාධිපති තනතුර දරනවා.

මාකූර විහාරස්ථානයට යාබද ගමක් වන ගගුල්දෙණිය පුරාණ විහාරස්ථානය අභාවයට ගොස් තිබුණා. නොයෙක් ස්වාමීන් වහන්සේලා වරින්වර වැඩ හිටියත් විහාරස්ථානය දියුණු කරලා තිබුණේ නෑ.

අන්තිමට අතහැරලා දාලා ගිහිල්ලා තිබුණා. ඒ ස්ථානයට ස්වාමීන් වහන්සේ නමකට යන්න පුළුන්කමක් තිබුණේ නෑ. මම තනියම ගිහිල්ලා ටිකක් සංවර්ධනය කරලා මගේ ශිෂ්‍ය මාකූරේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට පැවැරුවා. චෛත්‍යයක් තිබුණේ නෑ. දැන් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ගොඩනඟනවා. මගේ මාමා වන නැදුරන චිත්‍රා ඇල්ල ශ්‍රී පාද භාවනා මධ්‍යස්ථානාධිපති ඉළුක්තැන්නේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වයට පත්වුණාට පස්සේ මම එතැනට පැමිණියා. උන්වහන්සේ ගිය අවුරුද්දේ මාර්තු 4 අපවත් වුණා.

දැන් විහාරස්ථානය දායකයන් සමඟ සංවර්ධනය කරමින් සිටිනවා. වර්තමානයේ විහාස්ථාන පමණක් සංවර්ධනය කළ පමණින් ශාසනයේ පැවැත්මක් නෑ. විශාල විහාර මන්දිර, චෛත්‍යරාජයාණන් වහන්සේලා, රන් වැටවල්, ධර්ම ශාලා විශාල මුදල් වැය කරමින් ගිහි – පැවිදි දෙපක්ෂම ගොඩනඟනවා. ඒ එකක්වත් වැඩක් නෑ ශාසනයේ පැවැත්ම සඳහා කුල දරුවන් පැවිදි නොකළොත්. ශාසනයේ උන්නතිය උදෙසා කුල දරුවන් ද පැවිදි කරමින් උන්වහන්සේලා රැකබලා ගනිමින් තවදුරටත් සේවාවක් කිරීමට කටයුතු කරනවා.

ඡායාරූප සහ විස්තර –

දමුණුපොළ – චමින්ද ජයලත්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button