custom_html_banner1
දේශීය පුවත්

දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන හෙළි කරයි

custom_html_banner1
Spread the love

ලෝකයට ඉතිරි වී ඇති පැරණිතම කෲඩියා සිලනිකා ශාකය ලෙස හඳුනාගෙන ඇති ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මැදිහත් වීම පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී.

ඇතැමෙකු චෝදනා කළේ, ඇය සිය බලතල පිළිබඳව අවබෝධයකින් තොරව අනව්‍යශ ආකාරයට ‘ඉස්මතු වීම’ සඳහා උත්සහ දැරූ බවයි.

ඒ පිළිබඳව අමාත්‍ය සී.බී. රත්නායක මහතා ද පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

දේවානී ජයතිලක මහත්මිය ක්‍රියා කළේ, සිය බලතලවල සීමාව ඉක්මවා යමින් ද?

ඇයට පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති බලතල පිළිබඳව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ.

“මේ දිනවල කතාබහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය පසුගිය ඉරිදා Crudia zeylanica ගස බේරා ගැනීම පිණිස කළ මැදිහත්වීම වේ.

custom_html_banner1

එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වනු ලැබ තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පළ කරමි.

වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලු ම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ.

ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.

මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ.

මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ෂිත ශාක විශේෂයකි.

එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාළ ගස්වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබිණි. නමුත්,එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.

මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ. ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේ ම වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.

ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ, දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය. (මට මතක තරමින් 1996දී). ඒ නුවරඑළියේදී නීතිවිරෝධී ලෙස එකතු කර ගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වූ සිද්ධියෙනි.

ඉන් පසුව ගෙවී ගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියා කරමින් සාර්ථකව වනජීවීන් රැක ගැනීමට ක්‍රියාකළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක් ම සිටිති.

මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකට ම සිද්ධියත් වේ.

එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රණාමය පිරිනමන්නෙමි.”

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button