දේශපාලන පුවත්විශේෂාංග

“මගේ සැමියා අමාත්‍යවරයෙක් නොවී පත්තරකාරයෙක් වෙලා හිටියා නම් වඩා හොඳයි කියලා මම හිතන්නේ..” – අමාත්‍ය ඩලස්ගේ ආදරණිය බිරිඳ ප්‍රදීපා කියයි

“මා ගැන කතා කරන්න පුළුවන් මටම විතරයි. අවු 55 ක් ගෙවිලා ජීවිතයේ 56 වැනි වර්ෂය ගෙවෙන මේ මොහොතේ මා ගැන හැරිලා බලද්දී මට හිතෙනවා මම හැමදාම හිතට එකඟව ජීවත් වෙන්න උත්සාහ ගත්තා කියලා. මම කවදාවත් මම නිර්මාණශීලි කෙනෙක් නේද කියලා හිතන්නෙ නෑ.

මොකද මම ඇත්ත ගැහැනියක් විදිහට ජීවත් වෙන්න කැමතියි. මගේ ජීවිතය තුළ මුහුණ දෙන්න සිදුවෙන විවිධාකාර ප්‍රශ්නවලට පිිළිතුරු සපයමින් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් විදිහට තමයි මට මාව හඳුන්වන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් ප්‍රදීපා කියන්නේ යථාර්ථයත් එක්ක ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒක තමයි මට මා ගැන තියෙන මිල කළ හැකිම ගුණාංගය යැයි දැනෙන්නේ.” ප්‍රදීපා ධර්මදාසයන් කිව්වා. ඇගේ නිවුණු බව, දැමුණු බව, ඇමැති බිරියක් යැයි පුරාජේරු නොසිතන බව අප තුළ මතු කළේ සොම්නසක්.

“පුංචි කාලේ අපි හිටියෙ රාවතා-වත්තෙ කුලී නිවසක. අම්මා ගෘහණියක්. තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. පුංචි කාලේ 1 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට. හැබැයි උසස් පෙළ කරන්නෙ සුජාතා විද්‍යාලයේ. මේ පාසල් දෙකේදීම ක්‍රීඩාවටත් යොමු වෙලා හිටියා. විශේෂයෙන්ම දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවලට තමයි මම යොමු වෙලා සිටියේ. අද මා තුළ යම් දෙයක් දකිනව නම් ඒ ක්‍රීඩාව තුළින් ලැබූ පන්නරය කියලා කියන්න පුළුවන්.” ඈ තමන්ට ක්‍රීඩාව තුළින් හිමිවුණු උත්තුංග දායාදය ගැන කතා කළේ ඒ විදිහටයි.

“මේ රටේ අධ්‍යාපනයට ක්‍රීඩාව 1 වසරේ සිට අනිවාර්ය කළ යුතුයි. විනය ගරුක, අනෙකාට ගරු කරන, සදාචාර සම්පන්න, පුරවැසියන් බිහිවන්නෙ ක්‍රීඩාව තුළිනුයි. එය සෑම දරුවකුටම ලබා දිය යුතුයි. මම අමෙරිකාවේ අවුරුදු තුනේ දරුවන් එක්ක ජීවත් වුණ කෙනෙක්. ඒ නිසා දරුවන් ක්‍රීඩාවට යොමු කරන්න සංවර්ධිත රටවල සමාජ ක්‍රමය තුළ ඇති පෙළැඹීම මම සමීපව අධ්‍යයනය කළා. කොටින්ම කියනවා නම් ක්‍රීඩාවට අකැමැති නම් ජීවිත ආරක්ෂක හැකියාවක් විධිහට පිහිනීම හරි කරලා තියෙන්න ඕනෑ. අමෙරිකානු සමාජය තුළ මම දැක්ක හොඳම ගුණාංගයක් තමයි පරිපූර්ණ මිනිහෙක් ගොඩ නඟන්න මේ ආකාරයෙන් ක්‍රීඩාව යොදාගන්නා එක. ඒ නිසා ඒ රටේ ක්‍රීඩාව අනිවාර්යයි. අපිත් ඒ හොඳ දේවල් අපේ රටට එකතු කර ගත යුතුයි.” ඈ කීවේ සමාජ විද්‍යාත්මක වශයෙන් අප රටක් ලෙස අවශෝෂණය කර ගත යුතු ප්‍රතිපත්තියක් සම්බන්ධයෙනුයි.

“පුංචි කාලේ මම දගකාර චරිතයක්. සමජය ගැන අවබෝධ වෙද්දී තැන්පත්-කමක් ඇතිවෙනවා. ඒ නිසා තමයි සමාජයේ ඉන්න ප්‍රදීපාත්, නිර්මාණවල ඉන්න ප්‍රදීපාත්, මගේ දරුවන්ගේ අම්මා විදිහට ඉන්න ප්‍රදීපාත්, ඩලස්ගේ බිරිය ලෙස ඉන්න ප්‍රදීපාත් එක්කෙනෙක් බවට පත්කරගෙන ජීවත් වෙන්න මම කැමති. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ නිසයි යටත් වෙලා රැකියාවක් කරන්න මම අකමැති.” ඈ තමන්ගේ ඇති අව්‍යාජ භාවය ගැන අපට සිතන්න යමක් කියනවා. ඒක ඇත්ත කියලා අපිට හිතුණේ බොහෝ අය වගේ ඇමැතිවරයකුගේ බිරියක්ය, ජනප්‍රිය කලාකාරිනියක්ය කියන අනවශ්‍ය ආරෝපණයක් ඈ තුළ නැති නිසයි.

“හැත්තෑ හතේ පෙරළියෙන් පස්සේ රට ඇතුළෙත් ක්‍රීඩාව වාණිජකරණය වුණා කියලා මට හිතෙනවා. ඉස්සර ගම්වල තිබුණේ එල්ලේ ක්‍රීඩාව. පස්සේ පස්සේ තමයි එතැන ක්‍රිකටි ස්ථාපිත වුණේ. 77 විවෘත ආර්ථිකය එක්ක කොලොම්තොටින් නැව් නැග්ග මනුස්සකම ගියා කියලා මට දැනෙන්නෙ වාණිජ අරමුණු කියන දේ ක්‍රීඩාවට ආවට පස්සෙයි.’ ඇයගේ කථා විලාසය මඳකට වෙනස් වුණා. ඒ නිසා ඊළඟ මොහොත් ප්‍රදීපා හැගීම් බර වුණා කියලා අපිට හිතුණා.

“අවුරුදු 24 ක් යනතුරු මගේ කුටුම්භයට ස්ථිර ලිපිනයක් තිබුණේ නෑ. ඒ දෝලනය වන දේශපාලනය නිසා. 2015 යහපාලන වෙනස මගේ ජීවිතය වෙනස් කළා. බැංකුවට කථා කරලා ණයක් අරගෙන ගෙයක් හදා ගත්තා. ඒක සතුටක්. අදටත් මම සතුටින් එහි ජීවත් වෙනවා.” ඈ කිව්වේ නිර්දේශපාලනික ජීවිතයේ මහා කම්කටොළු අභිමුව නැඟිට සිටි අසීරුව පිළිබඳයි.

මෙය හොඳම වේලාව ලෙස දැනුණ නිසා මම ඇයගෙන් කලාවද, ක්‍රීඩාවද වඩාත් ආකර්ෂණීය කියා විමසුවා. එවිට ඈ වැඩි ලකුණු දුන්නේ කලාවට. “ක්‍රීඩාවේ දී හෘද ස්පන්ධනය වේවත් කරනවා. ඒත් කලාවෙදි හදවත නිවා සනසනවා. ඒත් වේගයෙන් ගැහෙන හදවතක් වුණත් සුසන්තිකා ජයසිංහ රන් පදක්කමක් ගෙනාවා. 96 ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ අර්ජුන රණතුංග ඇතුළු පිරිස රැගෙන ආවා. මේ සිදුවීම්වලින් ශ්‍රී ලංකාවට ලෝකය අභිමුව විශාල අභිමානයක් හිමිවුණා. ඒ නිසා ක්‍රීඩාවට අඩු ලංසුවක් තියන්නත් මම කැමති නෑ. ඒත් සමාජය වඩා හොඳින් සනසන්නේ, වයස් භේදයකින් තොරව තුටු පහටු කරන්නේ කලාව කියායි මම හිතන්නේ.” ඈ කිව්වා.

“මගේ සැමියා වූ ප්‍රේමවන්තයා අමාත්‍යවරයෙක් නොවී පත්තරකාරයෙක් වෙලා හිටියා නම් වඩා හොඳයි කියලා මම හිතන්නේ. මම ගොඩාක් ආදරේ කරන්නේ ඩලස් කියන පත්තරකාරයාට. මට දුකයි ඩලස් අලහප්පෙරුම කියන ආදරණීය මාධ්‍යවේදියා නැතිවීම ගැන.” ඈ මොහොතක් නිහඬ වුණා. ඔහු ඇමැතිවරයෙක් වශයෙනුත් මානවවාදී නේද කියලා හිතුණු නිසා මම ඇය දිහා බැලුවා.

“ඇත්ත. ඔහු අමාත්‍යවරයෙක් හැටියට හඳුන්වා දුන් සංකල්ප අදටත් මතකයෙන් ඈත්වී නෑ. ප්‍රවාහනය තුළින් ගෙන ආ උතුරු මිතුරු සංකල්පය කියන්නේ අවුරුදු 30 ක යුද්ධයට ගෙන ආ පිළිතුරක්. ප්‍රවාහනය තුළින් සංස්කෘතික පාලමක් හදන්න ඔහුට හැකිවුණා. ඒ ප්‍රායෝගික සංහිඳියාව. අධ්‍යාපන ඇමැති වෙලා හිටියේ ටික කාලයයි. ‘දුවේ, පුතේ නොනගතය වෙලාවේ පෑනක් පැන්සලක් අරගෙන රටක් වටින පොතක් කරමු.’ වගේ සංකල්ප ඔහු හඳුන්වා දුන්නා.

කොරෝනා කාලෙ දරුවන්ට ලැබුණු අශීර්වාදයක් තමයි ඒක. ඇත්තටම කියනවා නම් පාලකයෝ දැන ගන්න ඕනෑ දරුවන් තුළ කැකෑරෙන දේ උකහා ගන්න. ක්‍රීඩාවෙන් කරන්න නොලැබුණු දේ දේශපාලනය තුළින් ඔහුට සීමිතව කරන්න ලැබුණා.” ඈ තම සැමියාගේ නිර්මාණශීලිභාවය ගැන සතුටින් ප්‍රකාශ කළා.

“මගේ දරුවන් දෙදෙනාම හොඳ ක්‍රීඩකයෝ. පුංචි කාලේ ඉදලම ක්‍රීඩාවට යොමු කළ නිසා විනය, අනෙකාට ගරු කිරීම, ඉවසීම කියන දේවල් හොඳින් ප්‍රගුණ කළා කියලා මම හොඳින් දන්නවා. ක්‍රීඩාව ගැන හිතද්දී නිර්දේශපාලනික විය යුත්තේ ක්‍රිකටි ක්‍රීඩාව පමණක් නොවෙයි. මම දකින්නේ සමස්ත ක්‍රීඩාවම ස්වාධීන විය යුතුයි. ඒ ස්වාධීන භාවයට තියෙන ප්‍රබලම බාධාව තමයි දේශපාලනය කියලා මට හිතෙන්නේ.” ඈ අවසානයේ අපට කිව්වා.

සුදම් ගුණසිංහ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button