ප්‍රධාන පුවත්විදෙස් පුවත්විශේෂාංග

පාදයක් අහිමිව එවරස්ට් කන්ද තරණය කළ අරුණිමා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හිදී 1988 ජූලි 20 වැනි දින ජන්මය ලද අරුණිමා සිංහා ගේ වඩාත්ම ඇලුම් කළේ වොලිබෝල් ක්‍රීඩාවට ය. ඇය නිරතුරුවම සිහින මැවුවේ ඉන්දියාව තුළ ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩිකාවක වන්නටය.

2011 අප්‍රේල් 12 වැනි දින අරුණිමා දුම්රියකින් දිගු ගමනක් යමින් සිටියාය. මේ ගමන ඇයගේ ජීවිතයේ අනාගත ගමන් මඟ සහමුලින්ම වෙනස් කරන ගමනක් බව ඇය කිසිසේත්ම නොසිතුවාය. තරමක පාළු ස්වරූපයක් ඉසිලූ මේ දුම්රිය මැදිරියට දරුණු මංකොල්ලකරුවන් පිරිසක් කඩා වැදිණි. ඔවුහු අසරණ අරුණිමා වට කරගෙන ඇයට දරුණු ලෙස පහර දී ඇය සතුව තිබූ ආභරණ, මුදල් ඇතුළු වටිනා දෑ සියල්ල උදුරා ගත්හ. ඉන් නතර නොවූ මේ ම්ලේච්ඡයෝ ඇය දුම්රියෙන් පිටතට ඇද දැමූහ.

ඇය ඇද වැටුණේ දුම්රිය මාර්ගය අසලට ය. දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ඇයට එතැනින් නැඟිට ඉවත්ව යෑමට පවා ශක්තියක් නොවීය. ඒ අතරතුර පැමිණි ශීඝ්‍රගාමී දුම්රියක් ඇයගේ වම් පාදය මතින් ගමන් ගත්තේය. මේ දුර්භාග්‍යය දුටු හදවත් ඇත්තෝ පිරිසක් වහා ඇය රෝහල්ගත කළහ.

“කනගාටුයි, ඔබේ පාදය සුවපත් කරන්නම බැහැ. එය ඉවත් කරන්න වෙනවා.” සිහියත් අසිහියත් අතර සිටි ඇයට වෛද්‍යවරුන් එසේ කියනු ඇසිණි. ඒ අනුව ඇයගේ වම් පාදයේ දණහිසින් පහළ කොටස ඉවත් කෙරිණි. මේ අතර මාධ්‍ය හරහා පැතිර ගිය තවත් පුවතකින් කියවුණේ අරුණිමා සිය දිවි නසාගැනීමේ අරමුණෙන් දුම්රියට පැන ඇති බව ය. මේ පුවතින් ඇයට දැනුණේ පාදයක් අහිමි වූවාටත් වැඩි සිත් වේදනාවකි. ඒ කිසිදා ඇය ජීවිත අභියෝගවලින් පලාගොස් ඇති තැනැත්තියක නොවූ නිසා ය.

“මොන දේ නැති වුණත් මට මගේ ජීවිතය තියෙනවනෙ. කිසි දෙයකට කිසි කෙනෙකුට බැහැ මාව වට්ටන්න. මගේ වොලිබෝල් හීනය ඉවරයි. ඒ ගැන හිතන එකත් තේරුමක් නැති දෙයක්. මම අලුත් දෙයකින් නැඟිටිනවා.” ඒ අරුණිමා සතු ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය හා ආත්ම විශ්වාසයයි.

අරුණිමා නව බලාපොරොත්තුවක් ගොඩනං-වා ගත්තාය. එය සිය ජීවිතයට නව වටිනාකමක් උරුම කරවන්නකි. ඇයට වුවමනා වූයේ ලොවේම කතාබහට ලක්වන චරිතයක් වන්නට ය.

“මම කොහොම හරි එවරස්ට් තරණය කරනවා.” ඒ අරුණිමාගේ අලුත්ම බලාපොරොත්තුව ය. එය එසේ මෙසේ බලාපොරොත්තුවක් නොව ලොව ඉහළම තැනට යන බලාපොරොත්තුවකි.

“එවරස්ට් නැඟිල්ල අත පය හතරම තියෙන අයටත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒත් කකුලක් නැතුව මෙයා කොහොමද එතනට යන්නෙ. විකාර.” ඇතමෙක් අරුණිමාගේ අරමුණ සමච්චලයට ලක්කළහ.

මේ කිසිවකින් තම අරමුණ දශමයකින් හෝ වෙනස් කළේ ඇය නොවේ. මේ කියුම් කෙරුම් සැ‍ෙමකකින්ම ඇය තම අරමුණ ඉටුකර ගැනීමෙහිලා තව තවත් දිරිය, සවිය, ජවය ලැබුවාය.

කෘත්‍රිම පාදයක් පැලඳි අරුණිමා එවරස්ට් තරණය කිරීම වෙනුවෙන් ඉතාමත් දුෂ්කර පුහුණුවක් තුන් වසරක් තිස්සේ ලැබුවාය. ඒ අත්දැකීමෙන් උපරිම ඵල ලබමින් දින 52 ක අතිවෙහෙසකර, අතිභයංකර ගමනක් නිමවා 2013 මැයි 21 වැනි දින එවරස්ට් ගිරි මුදුනට ද ඇය ළඟාවූවාය. ඒ, පාදයක් අහිමි කාන්තාවක එවරස්ට් තරණය කළ මුල්ම සාර්ථක අවස්ථාව ලෙසින් ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.

ඉන්දීය රජය ‘පද්ම ශ්‍රී’ සම්මානය පුදමින් ඇය වෙනුවෙන් ඉහළම රාජ්‍ය ගෞරවය දැක්වීය. ඒ හැරුණුවිට උස් කඳු මුදුන් තරණය කරන්නන් උදෙසා වන ‘ටෙන්සින් නෝර්ගේ’ සම්මානය ද ඇයට හිමි විය.

අරුණිමා, තම ජීවිත අත්දැකීම් ලොවට තිළිණ කිරීමට ද අමතක නොකළාය. ඒ, ‘කඳු මුදුනේදී නැවත උපන්නෙමි’ කෘතිය රචනයෙනි. එහි මුල් පිටපත ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පිළිගැන්වූවාය.

අරුණිමා දිරිය දියණියක් ලෙස පමණක් නොව සමාජ සේවිකාවක් ලෙස ද ඇගයිය යුතුය. ඒ, තමාට උරුම වූ සම්මානවලින් ලද මුදල් යොදවා දිළිඳු හා ආබාධිත වූවන් උදෙසා සුබසාධන අරමුදලක් පිහිටුවීම හේතුවෙනි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි
සිළුමිණ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button