ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

ඇත්තටම නොහිතපු විදිහට හරිම ඉක්මණට අපේ විවාහය සිද්ධ වුණා

කොරෝනා අස්සේ රටේ හැමෝම දන්න කියන ජනප්‍රිය රංගන තරු කිහිප දෙනෙක්ම නිරෝධයන නීතිරීතිවලට එකඟ වෙලා තමන්ගේ මංගල දිනය සැමරුවා. ඒ අතර ලස්සන මනාලියක් වෙලා දීග ගිය දුලානි අනුරාධාත් කොරෝනා අස්සෙම වැඩි සද්ද බද්දයක් නැතුව විවාහ දිවියට එළඹුනා. ජැක්සන් ඇන්තනී මහත්මාගේ අබා චිත්‍රපටයේ ගුම්බකබූතා චරිතයෙන් රංගන කේෂ්ත්‍රයට ආපු දුලානි සිනමාව තුළ විශිෂ්ට චරිත ගණනාවකින්ම ප්‍රේක්ෂක සිත් ආකර්ශනීය කරගත් චරිතයක් විවාහයක් ගැන අවධානයක් යොමු නොකරපු, නළු නිළියන් අතරේ ඉඳපු දුලානිත් ඔන්න දෛවයේ ලියවිලා තිබුණු කුමාරයා එක්ක එකවහලක් යටට එකලස් වුණ වෙලාවේ අලුත් වුණු ජීවිතේ ආදර කතාව වගේම කලා ජීවිතේ තොරතුරු එක්ක සඳැල්ල කතාබහකට එකතු වුණා.

ඉතින් කොහොමද අලුත් වුණු ජීවිතේ? 

බොහොම සතුටින් ජීවිතේ ගෙවෙනවා. ඇත්තටම නොහිතපු විදිහට හරිම ඉක්මණට අපේ විවාහය සිද්ධ වුණා. කලා ක්ෂේත්‍රයේ මගේ අනෙකුත් හිතවතුන් එකතු කරගෙන ලොකු විවාහ උත්සවයක් ගන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒත් රටේ පවතින තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම නිරෝධායන සෞඛ්‍ය නීතිරීති වලට අනුගත වෙලා තමයි විවාහය කරන්න වුණේ. අවසානයේ විවාහ උත්සවයට එන අමුතන් 50කට සීමා කරන්න වුණා.

හරිම දුකයි. ඉතින් අපේ ලස්සන දවසට හිතවතුන්, මිතුරන් එකතු කරගන්න බැරි වුණ එක ගැන.
ඒ වගේම මේක කරගන්න පුළුවන් වේවිද කියලා අපිට ලොකු පීඩනයකුත් තිබුණා. මගේ ජීවිතේ සමීපතම යාළුවෝ දෙන්නෙක් වන ධනු සහ මධු මටත් වඩා වගකීම කරට අරන් මගේ විවාහයේ කටයුතු කළා.

මේ කාලේ විවාහය කල් දාගත්තා නම් හොඳයි කියලා හිතුණේ නැද්ද? 

හිතුනා. ඒ වෙනකොට හැමදේම සුදානම් කරලා තිබුණේ. මංගල උත්සවයට දවස් පහකට කලින් ඇඳිරි නීතිය වැටුණා. අඩුම තරමේ පවුලේ අයවත් එකතු කරගන්න බැරිවේවි කියලා හිතුවේ හැබැයි, තත්ත්වය දරුණු වුණත් විවාහ ගිවිස ගැනීම හරි කරනවා කියලා ගෙවල් දෙකෙන්ම කතා කරගෙන හිටියේ.

දුකකුත් තියෙනවා. ලොකුවට විවාහ උත්සවය ගන්න බැරි වුන එකට. ඒත් සතුටුයි. අපි දෙන්නට එකතු වෙන්න ලැබුණ එකට. මේක තවත් කල් දැම්මානම් කවදා කොයි මොහොතේ මේක කරන්න සිද්ධ වෙයිද කියලා කියන්න බැහැනේ. ආයෙම බොහෝ කාලයක් බලාගෙන ඉන්න වුණොත් කියලා කරදර මැද්දේ. හරි කරමු කියලා දෙමාපියෝ කිව්වා අපි දෙන්නත් එකඟ වුණා.

නාවිකා හමුදාවේ කෙනෙකුට හිතයන්න විශේෂ හේතුවක් තිබුණද? 

අනේ නැහැ. ගොඩක් කල් ඉඳන් මම අශෝකව හඳුනනවා යාළුකමට එහා ගිය බැඳීමක් අපි අතර කවදාවත් තිබිලා නැහැ. පසුගිය ටිකේම මට ගෙදර අය විවාහ යෝජනා ගෙනාවා. ඔය අතරේ තමා මගේ විශ්වවිද්‍යාලයේ යාළුවෙක් අසෝක ගැන කියලා විවාහ යෝජනාවක් විදියට ගෙනාවේ. පස්සේ මම හිතුවා ගෙදරින් කතා කරන කෙනෙකුට වඩා දන්න කෙනෙක් එක්ක ජීවත් වෙන්න පහසු නිසා අශෝක ගැන හිතලා බලන්න ඕන කියලා. අපේ ආදර කතාවට මහා කාලයක් ගියේ නැහැ. පසුගිය කොරෝනා කාලේ තමයි විවාහ වෙමු කියලා තීරණය කළේ. ඔහු අශෝක් සේනාධීර, එයා නාවික හමුදාවේ සේවය කරන්නේ.

විවාහයෙන් පස්සේ දුලානිගේ කලා ජීවිතේට වාරණ වැටේවිද? 

අනේ නැහැ. ඔහුත් කලාවට ආදරය කෙනෙක්. ඔහු මට කවදාවත් බලපෑමක් කරල නැහැ. මම මෙච්චර කල් වැඩ කළෙත් තෝරා බේරා ගෙන ඒ නිදහස මට ඉදිරියටත් තියෙනවා. සම්පුර්ණ නිදහසට මගේ වැඩ කරගන්න අසෝක මට ඉඩදිලා තියෙනවා. තනිකඩ කාලේ ගෙවපු ජීවිතේ වගේ දැන් ජීවත් වෙන්න බැහැ. විවාහයෙන් පස්සේ මම ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ සැමියට සහ පවුලට. විවාහ වුණා කියලා ගුරු වෘත්තියෙන්වත් රඟපෑමෙන්වත් මම ඉවත් වෙන්නේ නැහැ. අශෝක කියන්නේ මගේ කේෂ්ත්‍ර දෙක ගැනම හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. කොහොම වුණත් විවාහය කියන්නේ වගකීමක්.

ගොඩක් කාලයක් මම තනියම හිටපු කෙනෙක්. අසෝකත් තනියම හිටපු කෙනෙක්. අපි ආදරය කරන්න අරගෙනත් ලොකු කාලයක් නැහැ. හැබැයි අපි කාලයක්ම යාළුවෝ වගේ ඇසුරු කරපු නිසා අපිට අපේ විදිහ ගන්න අවබෝධයක් තියෙනවා. විවාහය ප්‍රමාද වුණා කියලා මම කවදාවත් විවාහය කියන දේ අතැරලා දාලා හිටපු කෙනෙක් නෙමෙයි. විවාහයට හොඳම වෙලාව මේක කියලා හිතුවා.

මෑතක දී දුලානිව කලා නිර්මාණ වලින් දකින්න ලැබුණේ නැති තරම් ඇයි ඒ? 

චිත්‍රපටි කිහිපයකට දායක වුණා. ඒත් මේ වසරේ බලපාපු අවාසනාවන්ත තත්ත්වයන් එක්ක චිත්‍රපටි තිරගත වෙන එක ප්‍රමාද වෙනවා. අන්තිමට කළේ ළමා චිත්‍රපටි දෙකක්. ආයේ ඉතින් කවදා කලා කටයුතු පටන් ගනිවිදි කියලා කියන්න අමාරුයි. ටෙලිනාට්‍යවලටත් ආරාධනා ලැබෙනවා. ඒත් මම මෙගා රැල්ලේ නිර්මාණවලට අකමැතියි. ගොඩක් වෙලාවට මට සුදුසු කළහැකි මම කැමති සහ මගේ ගුරුවෘත්තියට හානියක් නොවන චරිත පමණයි මම භාරගන්නේ.

ඒක ඔබේ රංගන ජීවිතේම අවාසියක් නෙමෙයිද? 

මම එහෙම හිතන්නේ නැහැ. ඇත්තටම මගේ අරමුණ ජනප්‍රිය වීම නොමෙයි. ප්‍රේක්ෂක ආදරය ලබන්න මම කැමතියි. ඒත් ලැබෙන ඕනම නිර්මාණයක් කරන්න මම සුදානම් නැහැ.

දැන් සේවය කරන්නේ කොයි පළාතේ පාසලකද? 

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ මම දැන් නර්තන ගුරුවරියක් විදිහට සේවය කරනවා. ගුරු වෘත්තියට ඇවිත් මම දැන් වසර 10ක් වෙනවා. ඒ අතරතුර තමයි ලැබෙන නිවාඩුවකට තමයි කලා කටයුත්තකට දායක වෙන්නේ.

නදීශා අතුකෝරළ
Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button