ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ඇත්තටම මගේ බලාපොරොත්තුව තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්නයි

ටාෂියා කොහොම ඉතින්?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

මේ දිනවල වැඩකටයුතු සිදුවන්නේ කොයි ආකාරයටද?

Inter නැසනල් ටෙලි නාට්‍යය විකාශනය අවසන් වුණා. දාම් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ මාසේ ඉඳන් ආයේ වැඩ පටන් ගන්නවා.

මේ දවස්වල ටාෂියා කාර්යබහුල කෙනෙක්ද?

Inter නැසනල් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණු නිසා දැන් නම් එතරම් කාර්යබහුල නැහැ. ඊට අමතරව සාමාන්‍යයෙන් මම Photo shootවලට එහෙමත් සම්බන්ධ වෙනවා. නමුත් ඉතින් ඇත්තටම කාර්යබහුල වෙන්නේ නුවර ඉඳන් කොළඹ එන නිසා තමයි.

දාම්හි ශෙනායාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

ගොඩක් හොඳයි. මම කරපු චරිත දෙක එකිනෙකට වෙනස් චරිත දෙකක්නේ. දාම් හි ශෙනායා අඳින පලදින විධියත් එක්ක ශෙනායාටත් ගොඩක් මිනිස්සු කැමැතියි. ශෙනායා මේ දවස්වල හැමෝගෙම “ක්‍රෂ් එක” වෙලා කියලා කියනවා.

දාම් ටෙලිනාට්‍යය තුළ බට්ටිච්චි එක්ක ගත වෙන කාලය පිළිබදව මතක් කළොත්?

ඇත්තටම බට්ටිච්චි ගොඩක් දක්‍ෂ ළමයෙක්. එයා එක්ක රඟපාන එක හරිම ලේසියි. එයාට දෙබස් එහෙම වුණත් හොඳටම මතකයි. රඟපෑම වුණත් ඉතාම හොඳට කරනවා. එයා එක්ක වැඩ කරන කොට මට වුණත් රඟපාන්න ආසාවක් සහ ප්‍රබෝධයක් ඇති වෙනවා.

දාම්හි ශෙනායා සහ ටාෂියා අතර තිබෙන්නේ මොනවගේ සමානකම්ද?

ශෙනායා වගේ සැබෑ ජීවිතයේදී මම ප්‍රේමවන්තියක් නම් නෙවෙයි. නමුත් අඳින පලඳින විදිහ, දඟකාරම් ආදිය තුළ යම් සමානකම් තියෙනවා.

Inter නැසනල් ඔබගේ පළමු ටෙලි නාට්‍යය අත්දැකීම නේද?

ඔව්. එය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය.

එතුළින් ඔබ ලද අත්දැකීම් ගැන විස්තර කළොත්?

ඇත්තටම හැමෝම මට ගොඩක් උදවු කළා. එයාලාගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. ඉතින් මගේ අඩුපාඩු හදාගෙන රංගන කටයුතු කරගෙන යන්න දුලීකා මාරපන අක්කා, සුජීව ප්‍රියලාල් අයියා, තරින්දි ෆර්නෑන්ඩු අක්කා ඇතුළු Inter නැසනල් කාර්ය මණ්ඩලය තුළින්ම ලොකු සහයෝගයක් ලැබුණා.

Inter නැසනල්හි මීනු කියන්නේ ටිකක් වෙනස් චරිතයක් නේද?

ඔව්, ඇය ටිකක් ගැමි විධියට හැදුණු කෙනෙක්. අනික් කාරණාව එයත් නුවර ඉඳන් කොළඹ එන කෙනෙක්. ඒ වගේම මීනු කියන්නේ හරිම සාධාරණ විධියට සිතන පතන කෙනෙක්.

ටාෂියා රංගනයට අවතීර්ණ වූ ආකාරය මතක් කළොත්?

මුලින්ම මම විවිධ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණේ. ඒ වගේම කියන්න ඕනි, අපේ අම්මාගේ යාළුවකුගේ මාර්ගයෙන් තමයි Inter නැසනල් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

ටාෂියා කියන්නේ රංගනයට ඇලුම් කළ කෙනෙක්ද?

මෙහෙමයි. චූටි කාලේ ඉඳන්ම තනියම කියවමින්, විවිධ චරිතයන් මම තනියම රඟපෑවා. නමුත් කවදාවත් මේ විධියට රංගනයට එකතු වෙන්න සහ රූපවාහිනිය තුළින් මාව දකින්න අවස්ථාව ලැබෙයි කියලානම් හිතුවේ නැහැ. අනික මේ ක්ෂේත්‍රයේ ඉන්න කිසිම කෙනෙක්ව අපි පෞද්ගලිකව අඳුරගෙන හිටියෙත් නැහැ. ඉතින් මේක අහම්බෙන් ලැබුණු චාන්ස් එකක්.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ඇත්තටම ආරාධනා නම් ගොඩක් ලැබුණා. දින වෙන් කර ගැනීමේ ගැටලුව සහ නුවර ඉ¼දන් කොළඹ එන්න අපහසු නිසා ගොඩක් අවස්ථා මඟහැරුණා. දැනට ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා.

චිත්‍රපට සඳහා සම්බන්ධ වුණේ නැද්ද?

අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කරපු හැපී බර්ත් ඩේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එහි නාටාලියා කියන ප්‍රධාන චරිතයට තමයි මම සම්බන්ධ වුණේ. එය ළඟදීම තිරගත වේවි.

යම් චරිතයක් තෝරා ගැනීමේදී ඒ සඳහා ටාෂියාට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

පිටපත ලැබුණම අනිවාර්යයෙන්ම අම්මත් එක්ක එකතු වෙලා එය හොඳින් කියවා බලනවා. “මේක ඔයාට කරන්න පුළුවන් මේක හොඳ චරිතයක් මේක තෝරගන්න කියලා”ගොඩක් වෙලාවට මට ගැළපෙන හොද චරිත තෝරා දෙන්නේ මගේ අම්මා.

නවකයෙක් වශයෙන් ප්‍රවීණයන් රාශියක් සමඟ රංගන කටයුතු කරන්න අවස්ථා ලැබුණා. ඒ අත්දැකීම පිළිබඳව මතක් කළොත්?

ගොඩක් හොඳයි. ඇත්තටම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකේදීම රංගනයෙන් සම්බන්ධ වුණු ප්‍රවීණයෝ හැමෝම වගේ මට ගොඩක් උදවු කළා. මොරින් චාරුණී අක්කා, දුලීකා මාරපන අක්කා, සුජීව ප්‍රියලාල් අයියා, ධනුෂ්ක රත්නායක අයියා මේ හැමෝම මගේ අඩුපාඩු කියලා දෙමින් රංගනයට මාව දිරිගන්වනවා. ඉතින් ඒ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය මේ අවස්ථාවේදී මතක් කළ යුතුමයි.

ටාෂි ඉදිරියේදී කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තිබෙනවාද?

ඉතාම දුෂ්කර පළාතක ඉන්න ගැමි තරුණියකගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම සිනමාව පැත්තෙන් ඉදිරියට යන්නම තමයි ගොඩක්ම ආසාව තිබෙන්නේ.

වෘත්තීමය වශයෙන් රංගනය තුළ රැඳී සිටින්න ටාෂියා තුළ අදහසක් තිබෙනවාද?

ඇත්තටම මගේ බලාපොරොත්තුව තියෙන්නේ ගුවන් සේවිකාවක් වීමට. ඒත් සමඟ රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි කැමැත්තෙන් ඉන්නේ.

ටාෂි කියන්නේ කොණ්ඩෙට ගොඩක් ආදරය කරන කෙනෙක්ලු නේද?

ඇත්තටම කොණ්ඩේ නිසා තමයි මට ගොඩක් චාන්සස් හම්බවුණේ. ඒක නිසා කොණ්ඩේ කපන්න මම කැමැති නැහැ. මොකද මගේ කොණ්ඩේ ලේසියෙන් දිගු වෙන්නෙත් නැහැනේ.

පවුලේ විස්තර මතක් කළොත්?

පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අක්කා චීනයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා.

ඉදිරි වැඩකටයුතු කොයි වගේද?

මගේ චිත්‍රපටයට හැපී බර්ත් ඩේ ඉදිරියේදී එන්න තියෙනවා.

අවසාන වශයෙන් මොනවද කියන්න තිබෙන්නේ?

මගේ ප්‍රේක්‍ෂකයන් හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම ඉදිරියටත් හැමෝගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

 

දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button