ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

රිද්මාගෙයි, මගෙයි ආදරය තව තවත් ශක්තිමත් වෙන්නත් රාහුල් පුතා ලොකු හේතුවක්

කාලයේ ඇවෑමෙන් බොහෝ දේ වෙනස් වුණත් ඇතැම් දේ කාලයාටත් වෙනස් කිරීමට පුළුවන්කමක් නැත. ඔහු කලෙක උන්මාදනීය ප්‍රේමවන්තයෙකි. තවත් කලෙක මහා තේජසින් යුත් රාජ පුරුෂයෙකි. තවත් අවස්ථාවක දාරක ප්‍රේමයට මුවාවී තම දියණියගේ වැරදි සඟවා හෝ ඇයව ප්‍රවේශම් කරනා සෙනෙහෙබර පියෙකි. ඒ කෙබඳු චරිතයකට පණ පෙව්වත් ඔහුගේ වළ ගැහෙන කම්මුල් පුරා ඇදෙන සොඳුරු සිනහවනම් එලෙසමය. රොෂාන් පිලපිටිය නම් ඒ සොඳුරු කලාකරුවාගේ හදගැස්මට සවන්දෙන්නැයි “හදගැස්ම” අපගේ වෑයම.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. අපි අලුතින් ෆ්‍රෙෂ් ෆන් (Fresh Fun) කියලා රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා. ඒකේ වැඩයි, කලා කටයුතුයි එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

කලා කටයුතුවල වතගොත කොහොමද?

“රණවිරු පණ්ඩු”, “අහස්මාලිගා”, “නීල පබළු”, “නෑනලා” මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම ශි්‍රයාණි අමරසේන නිෂ්පාදනය කරන “කුංච නාද” කියලා අලුත් වැඩකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

ඔබගේ රංගන පරාසය විවිධ වයස් සීමාවන්ට පැතිරෙනවා. වැඩිහිටි චරිත, තුරුණු පෙම්වතුන්ගේ චරිත ආදී වශයෙන්. කොහොමද ඒ අභියෝගය ජයගන්නේ…?

මීට අවුරුදු විස්සකට එපිටදී ධර්මසේන පතිරාජ මහත්තයාගේ ‘කන්පෙතිවල’ නාට්‍යයේ අවුරුදු 80ක පුද්ගලයෙක්ගේ චරිතයකටයි මා පණ පොවන්නේ. එහිදී හොඳම නළුවාගේ සම්මානයටත් මා නිර්දේශ වුණා. ඇත්තටම මට ලැබෙන්නෙ කුමන වයසක, කුමන තරාතිරමක චරිතයක්ද කියන එක මට අදාළ නැහැ. මට වැදගත් වෙන්නේ ඒ චරිතයට මට කොපමණ දුරට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියන එක විතරයි.

ඔබ මේ දිනවල නවක නළු නිළියක් සමඟ කරටකර වැඩකටයුතු කරනවා. ඔවුන්ගේ සම්බන්ධතාව ඔබ දරන්නේ කෙබඳු ආකල්පයක්ද?

හැම ක්ෂේත්‍රයකම පැවැත්ම, අනාගතය රදාපවතින්නේ නවකයන්ගේ අතේ. අපේ ක්ෂේත්‍රයෙත් නවක දක්ෂයන් පිරිසක් බිහිවෙලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් ගොඩක් සුබවාදීවයි බලන්නේ.

රංගනයට පිවිසෙන්න හැදෑරීමක් අවශ්‍යයි කියලා ඔබ හිතනවාද?

රංගනය ගැන එක්කො පෙර හැදෑරීමක් තියෙන්න ඕන. නැත්නම් රංගනය කරන අතරවාරයේ හැදෑරීමක් කරන්න ඕනෑ. නැත්නම් ආවෝ ගියෝ නළු නිළි පිරිසක් තමයි බිහිවෙන්නේ.

පුංචි තිරයේ ඔබ නැතුවම බැරි නළුවෙක්. හැබැයි ඊට සාපේක්ෂ්ව පුළුල් තිරයේ ඔබට ලැබුණු අවස්ථාව ප්‍රමාණවත් නැහැ වගේ නේද?

මේ දවස්වල සිනමාව තියෙන්නේ ලොකු අර්බුදකාරී තත්ත්වයක. ඒ නිසා පටිගත කරපු චිත්‍රපට කවදා විකාශය වෙයිද කියලා කියන්න අමාරුයි. මං සිනමා නිර්මාණවලටත් යම් මට්ටමින් පෙනී සිටිලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් පුළුල් තිරයෙන් නිර්මාණ කිහිපයකින්ම දැකගන්න පුළුවන්.

රිද්මා සහ රාහුල් පුතයි එකතුවුණු ආදරණීය පුංචි පවුල ගැනත් මතක් කරමු නේද?

රිද්මා මගේ කලා ජීවිතයටත් ගොඩාක් උදවු වෙනවා. ඒ වගේම ඇය හරිම අපූරුවට කාලය කළමනාකරණය කරගන්නවා. මං ගැන හැම තිස්සෙම හොයලා බලන්නත් චූටි පුතාගේ වැඩකටයුතු අකුරටම කරන්නත්, රෙස්ටුරන්ට් එකේ කෑම හදන්නත්, වස විසෙන් තොර එළවළු ගෙදරම වවන්නත් ඇය දවස හරි ලස්සනට බෙදාගන්නවා.

දඟකාර කොලු පැටියෙක්ගේ තාත්තෙක් වෙන එකත් හරිම අපූරු අත්දැකීමක් නේද?

මගෙයි රිද්මගෙයි සිතුම්, පැතුම්, ආශාවන් බලාපොරොත්තු මේ හැමදේම පුංචි පුතා නිසා වෙනස් වුණා. මොකද ඒ සෑම දෙයක්ම පුංචි පුතා වටා කේන්ද්‍ර වෙලා. ඒ වගේම රිද්මාගෙයි, මගෙයි ආදරය තව තවත් ශක්තිමත් වෙන්නත් රාහුල් පුතා ලොකු හේතුවක් වුණා.

රිද්මා – රොෂාන් කියන්නේ ට්‍රැවලින්වලට ප්‍රසිද්ධ කපල් එකක් කියලා කිව්වොත් මා හරි නේද?

ඔව්. අපි දෙන්නා හරි ආසයි ජීවිතේ විඳින්න. ඒ නිසා ඉඩක් ලැබුණු සැණින් කොහේ හරි ඇවිදිනවා. අලුත් දේවල් දකිනවා. අලුත් අත්දැකීම් විඳිනවා. මේ වසංගත කාලේ නම් ටිකක් ඒ වැඩවලින් අෑත් වුණා.

විශ්මි ජයනිකා
මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button