ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

එයා ගැන විස්තර මං ළඟදීම කියන්නම්

නයෝමි තක්ෂිලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් විතරක් නෙවෙයි, රංගන ශිල්පිනියක් විදිහටත් කා අතරත් ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම මියුසික් වීඩියෝ හරහාත් ඇය යම් ජනප්‍රියත්වයක් ලැබුවා. මේ ඇය ඈ ගැන සති අන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්.

කලා ජීවිතයට අත්පොත් තබන්නේ කොහොමද?

මං කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය හරහා. ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ නාට්‍ය හා රංග කලා උපාධිය ලබාගත්තා 2013දී. ඒ අතරවාරයේ වේදිකා නාට්‍යවල රඟපාලා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.

පුංචි තිරය තුළ ජනකාන්ත වෙන්න වේදිකාව තුළින් ලැබුණු පන්නරය කොහොමද?

නාට්‍ය කලාව කියන්නේ සාමූහික කලාවක්. වේදිකා නාට්‍ය තුළින් රංගනය විතරක් නෙමෙයි මිනිසුන් එක්ක වැඩ කරන හැටිත් කියා දෙනවා. එයින් ලැබුණු පන්නරය පුංචි තිරය තුළ රංගනයෙන් දායක වෙන්න වගේම සෙට් එකක සුහදව වැඩ කරන්නත් උදවු වෙනවා.

බොහෝ දෙනෙක් ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හැඳුනුම්කම්, ඥාති සබඳතා මත… තනි ගමනක් ආපු ඔබට ඒ ගමන දුෂ්කර වුණාද?

ඔව්, බොහොමයක් නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කලාවට පිවිසෙන්නේ කුමක් හෝ හිතවත්කමක් මත. අනුරාධපුරය වගේ දුෂ්කර පළාතක ඉඳන් කොළඹට ඇවිත් තනියෙන්ම කලාවට පිවිසිලා මේ තරම් දුරක් ආපු එක ඇත්තටම මට සතුටුයි වගේම ආඩම්බරයි. ඒ ගමන්මඟ බොහෝ දුෂ්කර නොවුණේ මං රංගනය ගැන හැදෑරීමක් කළ නිසා. ඒ වගේම කැපවීම වගේම වාසනාවත් ඊට හේතු වන්නට ඇති.

කොළඹ ජීවිතයට හුරු වෙන්න අමාරු වුණාද?

ඔව්, පාරවල් සොයාගන්න තියෙන අපහසුවයි ලොකුම දුෂ්කරතාව වුණේ. මුල් කාලයේදී කොළඹ ජීවිතයට හුරු වෙන්න අපහසු වුණත් පසු කාලයේදී ක්‍රමක්‍රමයෙන් හුරු වුණා.

නයෝමිව ගොඩක්ම තෝර ගත්තේ නපුරු චරිතවලටද?

බොහොමයක් ප්‍රේක්‍ෂකයන් වැලඳගත්තේ මාව නපුරු චරිතයක් විදිහට. මං අහිංසක චරිතත් බොහොමයක් රඟපාලා තියෙනවා.

ඔබ නිර්මාණයකට දායක වෙන්නේ චරිත තෝරා බේරාගෙනද?

පිටපත කියවලා ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන්ද? කියලා මං මුලින්ම කල්පනා කරනවා. ඒ චරිතයට සියයට සියයක්ම මගෙන් සාධාරණය ඉටුවෙයි කියලා විශ්වාස කරනවා නම් විතරයි මං ඒ චරිතය භාර ගන්නේ. නමුත් වේදිකා නාට්‍ය විතරක් කරනවා, කොටස් 90 නාට්‍ය විතරක් කරනවා, මෙගා නාට්‍ය විතරක් කරනවා කියලා මා වෙන්කරගෙන නැහැ. රංගන ශිල්පිනියක් වුණාම වේදිකා නාට්‍ය, මෙගා නාට්‍ය, කෙටි චිත්‍රපට, චිත්‍රපට ආදී ඕනෑම පරාසයක හැකියාව විහිදුවන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා.

ප්‍රවීණයන් සමඟ කරට කර රංගනයේ යෙදෙන රංගන ශිල්පිනියක් විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

ප්‍රවීණයන්ට අපගේ ගරුත්වය දෙනවා නම් එයාලත් අපට උදවු කරනවා. ගොඩක් දෙනෙක් ප්‍රවීණයන්ට ඇඟිල්ල දික් කරන්නේ එයාලාගේ ගොඩක් අඩුපාඩු හංගගෙන. තමන්ගේ අතේ තමයි ඒ කාරණය රැඳී තියෙන්නේ.

චිත්‍රපටවලට ආරාධනා ලැබුණද?

නිදහසේ පියා චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම “නීලම්” කියලා චිත්‍රපටයකට ප්‍රධාන චරිතයෙන් දායක වුණා. ඒක රෙහාන් සඳරුවන්ගේ නිර්මාණයක්.

ජනප්‍රියත්වයත් එක්ක ප්‍රේමාරාධනා ලැබුණද?

එහෙම විශේෂත්වයක් නැහැ. අයුතු ප්‍රේමාරාධනා ලැබිලත් නැහැ.

ඔබ පෙම්වතියක්ද?

ඔව් පෙම්වතියක්.

එහෙනම් ළඟදීම නයෝමිව මනමාලියක් විදිහටත් දකින්න ලැබෙයි නේද?

විවාහ වෙනවා. නමුත් ළඟදි විවාහ වෙන්න සූදානමක් නැහැ.

පෙම්වතා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

එයා ගැන විස්තර මං ළඟදීම කියන්නම්.

පවුලේ විස්තර කොහොමද?

තාත්තයි, අම්මයි, අක්කලා දෙන්නයි, අයියයි මට ඉන්නවා. පවුලේ බඩපිස්සි මං.

කලා ජීවිතයට පවුලෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

මගේ පවුලේ අය තමයි මගේ පළමු රසිකයෝ. එයාලාගෙන් ලැබෙන නිවැරදි කිරීම්, ප්‍රශංසා, මඟපෙන්වීම් මගේ කලා ජීවිතයට ලොකු හයියක්.

මව්බිම පුවත්පතේ “හදගැස්ම” අතිරේකයෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button