විශේෂාංග

පිලිප් කුමරු පිටුවහලෙක්, අවුරුදු 99 ක්, රටවල් 143 ක් සහ එක ප්‍රසිද්ධ බිරිඳක්

ඔහු අධිරාජිනියකට පසෙකින් සිටීම තෝරාගත්තේය. සිය දරුවන්ට සිය වාසගම වූ මවුන්ට් බැටන් ලබාදීමට අසමත් වීම නිසා සිතින් තැවුණේය.

මේ සියල්ල සිදුවුණේ කෙසේද? ඇරඹුණේ කෙසේද? 

සැමියෙකු මිස කිසිදා රජෙකු නොවීය

ඩියුක්වරයා හෙවත් ආදිපාදවරයා ව සිටි සමයේ ඔහු පිලිප් කුමරු බවට පත් විය. නිකම්ම නිකං පිලිප් කුමරු මිස ඔහු ඔටුන්න හිමි කුමරුවෙකු ද නොවිණි. තවද කිසිදා ඔහු රජෙකු වූයේ ද නැත.

එහට හේතුව, බ්‍රිතාන්‍යයේ දී අධිරාජ්‍යෙයකු සමග විවාපත් වන ගැහැණිය ‘රැජින‘ යන උත්සවකාරී නාමයෙන් හැදින්වුවත්, අධිරාජිනියක් සමග විවාපත් වන පුරුෂයාට ‘රජු‘ යන ගරු යෙදුම නොයෙදීමයි. රජෙකු විය හැක්කේ ඔටුන්නේ හිමිකරුවෙකුට පමණි.

රැජින සහ පිලිප් කුමරු ට දරුවන් සිව් දෙනෙකි. අද 72 හැවිරිදි චාල්ස් කුමරු, 70 හැවිරිදි ඈන් කුමරිය, 61 හැවිරිදි ඇන්ඩෘ කුමරු සහ 57 හැවිරිදි එඩ්වඩ් කුමරු ය.

වරක් ඇන්ඩෘෘ කුමරු මෙසේ කීය.

‘‘සානුකම්පිත බව අපට ලැබුණේ රැජිනගෙන්. විනය සහ රාජකාරිය ගැන හැඟීම ලැබුණේ ඔහුගෙන්..‘‘

නමුත් ඇන්ඩෘ කුමරුට, තමන් නින්දට යන තෙක් පියා විසින් රඩ්යාඩ් කිප්ලිංගේ Just So Stories කියාදුන් හැටි ද මතක ය.

සිය මුණුපුරු මිණිපිරියන් 8 දෙනෙකු හැදී වැඩෙන අයුරු දැකීමට ද පිලිප් කුමරු වාසනාවන්ත විය. මේ වන විට ඔහුට මී මුණුපුරු මිණිපිරියන් ද 10 දෙනෙකු සිටියි.

ජීවිතය පටන් ගත් හැටි 

පිලිප් කුමරු බකිංහැම් මාළිගය වෙත ආ ගමන ඇරඹී තිබෙන්නේ 1922 වසරේදී ය. 1922 ජූනි 10 වැනිදා කෝර්ෆු හි ග්‍රීක් අයිලන්ඩ් හි උපන් පිලිප් කුමරු, ළාබාලතම දරුවා මෙන්ම ග්‍රීසියේ ඇන්ඩෘ කුමරුගේත්, බැටන්බර්ග් හි ඇලිස් කුමරියගේත් පුත්‍රයා ය. මෙම උරුමය නිසා ඔහු ග්‍රීසියේ මෙන්ම ඩෙන්මාර්කයේ ද කුමරු බවට පත් ව සිටියේය. නමුත් ඔහු උපන් වසරකට පසු වසරේදී එම පවුල ග්‍රීසියෙන් නික්ම ආවේ කුමන්ත්‍රණයක් නිසා ය.

කුමන්ත්‍රණයෙන් පසු පිටුවහල් කරන ලද ඔවුන් ආරක්ෂිතව ඉතාලියට ගෙන ආවේය. ළදරු පිලිප් කුමරු එසේ ගෙන ආ බව කියැවෙන්නේ දොඩම් ගෙන යන පෙට්ටියක බහා ය.

අඳුරු ළමා විය 

ඉපදී එක් දිනකින් උපන් රටෙන් පිටුවහල් කරන ලද පිලිප් කුමරුගේ ළමා විය අන්ධකාරයකින් ද වැසී තිබිණි. එහි අහිමි වීම් බහුල විය. 1930 වසරේදී එනම් ඔහුගේ වයස අවුරුදු 8 ක් වන විටදී ඔහුගේ මව වූ ඇලිස් කුමරිය මානසික රෝගීන්ට වෙන් වූ මධ්‍යස්ථානයක් වෙත යවා තිබෙන්නේ ඇය ලක්වූ මානසික බිඳ වැටීම නිසා ය.

ඉන් පසු අවුරුදුවල පිලිප් කුමරු සිය දෙමාපියන් දුටුවේ ඉතා ඉඳ හිට ය. ඔහුගේ පියා අනියම් බිරිඳක් සමග ප්‍රංශ රිවේරියාවට පළා ගියේය. ඔහුව හදා වඩා ගත්තේ එක්සත් රාජධානියේ විසූ ඥාතීන් විසිනි. පසුකලෙක ඇන්ග්ලිකන් නිකායවාදීන් වූ එම ඥාතීන්ගේ නාමය වන ‘මවුන්ට්බැටන්‘ යන්න පිලිප් කුමරු තමන් හැඳින්වීමට යොදාගත්තේය.

ස්කොට්ලන්තයේ බෝඩිං පාසලක ඔහුගේ ළමා වියේ ඉතිරිය ගෙවුණේය. ගැටවර විය ද එහිම ගෙවිණි. එම බෝඩිං පාසල බිහිකිරීමට පුරෝගාමී ව සිටියේ යුදෙව් අධ්‍යාපනඥයෙකු වන කර්ට් හාන් ය. කර්ට්, නාසි ජර්මනියෙන් පළා ආ අයෙකි.

පිලිප් කුමරු ව මනුස්සයෙකු බවට පත් කළේ ඒ පාසල විසින් යැයි කිව හැකිය. ඔහු එහිදී ඔරොත්තු දෙන්නට උගත්තේය. එම ස්පාටන් වර්ගයේ පාසලේදී සිසුහු අළුයම අවදි වී හිම මිදෙන ශීතලේ ස්නානය කළහ. එමගින් ‘යෞවනෝදයේ විසකුරු ආසාවන්ගෙන්‘ පිරිමි සිසුන්ට මිදී ගත හැකි වේ යැයි එහි නිර්මාතෘවරයා විශ්වාස කළේය.

1937 වසරේදී පිලිප් කුමරුගේ සොයුරියන් සිව් දෙනාගෙන් අයෙකු වූ සෙසිලී, සිය ජර්මානු සැමියා ද සමග ගුවන් අනතුරකට ලක් වී සමු ගත්තේය. ඇය දරුවෙකු බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි සමයකි, ඒ. සෙසිලී එයට ආසන්න කාලයක ජර්මනියේ නාසි පක්ෂය ට බැඳී තිබිණි. ඒ වන විට ජර්මනියේ අධිකාරිමය පාලනයක් ගෙන ගියේ ද නාසීන් විසිනි. 16 හැවිරිදි පිලිප් වැළපෙමින් සිය සොයුරියගේ දෙණ අසළ කඳුළු සැලුවේය. ඔහු පසුකරගෙන යන අය ‘හිට්ලර් දිනේවා‘ “Heil Hitler” යනුවෙන් සැලියුට් ගැසූහ.

‘‘සරලවම ඒක තමයි සිද්ධ වුණේ.. ‘‘ පසු කලෙක පිලිප් කුමරු කියයි. ‘‘මුළු පවුලම කඩා ඉහිරුණා. මගෙ මව අසනීපෙන්. මගෙ සහෝදරියන් විවාපත් වෙලා. මගෙ පියා දකුණු දිග ප්‍රංශයේ. මට මේ සියල්ලත් එක්ක ජීවිතේ ඉදිරිය ගැන සිතන්න සිද්ධ වුණා..‘‘

රැජින මුණ ගැසෙයි 

පිලිප් කුමරු පාසලෙන් ඉවත් වන විට බ්‍රිතාන්‍යය ජර්මනිය සමග යුද්ධයට පැටළී තිබිණි. ඔහු ඩාත්මවුත් (එක්සත් රාජධානියේ නාවික ඇකඩමිය) බ්‍රිටේනියා රාජකීය නාවික කොලීජියට බැඳුණේය. එහිදී විශිෂ්ට කෙඩෙට් භටයෙකු ලෙස සිය පන්තියේ අංක එක බවට පත් විය.

1939 වසරේදී VI වන ජෝර්ජ් රජු එංගලන්තයට නිල චාරිකාවක් සඳහා පැමිණියේය. පිලිප් කුමරුට එහිදී පැවරුණේ ඔහුගේ දියණියන් වූ එලිසබෙත් කුමරිය සහ මාග්‍රට් කුමරිය සතුටෙන් සහ විනෝදයෙන් තැබීමේ රාජකාරියයි. කුමරියන්ගේ භාරකාරිය ලෙස කටයුතු කළ මේරියන් ක්‍රව්ෆර්ඩ් පසුව සිහිපත් කරන්නේ පිලිප් කුමරු එය ‘අතිශයින්ම උනන්දුවෙන්‘ සිදුකළ බවයි. 13 හැවිරිදි එලිසබෙත් කුමරියගේ සිතේ ඔහු නොමැකෙන ලෙස රැඳෙන්නට ඒ සුළු කාලය තුළ සමත් වුණේය. ඒ බව පසුව පැහැදිලි විය.

පිලිප් දෙවන ලෝක යුද්ධයේදී ද විශිෂ්ට සේවාවක් ඉටු කළේය. ඉන්දියානු සයුරේ සිදුකළ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ විය. 1942 වසරේදී, එනම් අවුරුදු 21 දී ඔහු රාජකීය නාවික හමුදාවේ ළාබාලතම පළමු ලුතිනන්වරයා බවට පත් විය. නව යොවුන් පිලිප්, එලිසබෙත් කුමරිය සමග හසුන් හුවමාරු කර ගනිමින් සිටියේය. ඔහුගේ ඡායාරූපයක් කුමරියගේ ඩ්‍රෙසිං ටේබල් එක මත විය. එය, අධිෂ්ඨානශීලී කුමරියකගේ සිතිවිලි විදහා දැක්වීය. ඒ දෙස සැක සිතින් බැලුවෝ ද වෙත්. පිලිප් කුමරුගේ දොස්, කුමරියට දැන ගැනීමට සැලැස්වූවෝ ද වෙත්. එවැනි එක් අයෙකු කුමරියට කියා තිබුණේ පිලිප් කුමරු ඉක්මනින් තරහා යන, උගත් කමක් නැති, ඇතැම්විට ගැහැණුන්ට වංචා කරන අයෙකු විය හැකි බවයි.

නමුත් එලිසබෙත් කුමරියගේ සිත, එයින් වෙනස් වූ බවක් නොපෙනේ. පිලිප් කුමරුගේ ජීවිත කතාව ලියූ පිලිප් ඊඩේ ට අනුව, 1946 වසරේදී පිලිප් විසින් එලිසබෙත් කුමරියට යැවූ හසුන්වලින් පෙනෙන්නේ ජීවිතයට අලුත් අරමුණක් ලැබූ යොවුන් තරුණයෙකුගේ හැඩරුවයි.

තවද පිලිප්, තමන්ගේ නැන්දම්මා බවට පත් වීමට සිටින සය වැනි ජෝර්ජ් රජුගේ බිසව වෙත ද ලිපි ලියා ඇත. ‘‘මා හට සිදුවූ සියලු යහපත් දේවල්වලට මට හිමිකමක් නැති බව නිසැකයි. යුද්ධයට ගොස් ජයග්‍රහණය අත්දුටු අයෙකු ලෙස, නැවත සකස් වීමට මට ලැබී ඇති අවස්ථාව අනුව, කිසිදා ආපසු නොහැරෙන ලෙස සහ සම්පූර්ණයෙන්ම ආදරයෙන් බැඳෙන්නට, ලෝකයේ සෙසු සියලු ප්‍රශ්න ඉතා සුළු ඒවා සේ පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා..‘‘

කෙසේ හෝ ජෝර්ජ් රජු, සිය දියණිය සමග විවාපත් වීමට පිලිප් ට අවසර දුන්නේය. නමුත් මුලින් එය ලෙහෙසි තීරණයක් නොවිණි. ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ කුමරු, ඒ වන විට බ්‍රිතාන්‍යයේ උදාසීන මාතෘකාවක් බවට පත් ව තිබුණේය. එංගලන්ත කතෝලික පල්ලිය සමග එක් වී ඔහු පසුව සිය සියලු විදේශ ගරු නාම අතහැර දැමුවේය.

1947 නොවැම්බර් 20 වැනිදා සිය මංගල දිනයේදී ඔහු එඩින්බර්ග් හි ආදිපාදවරයා බවට පත් විය. ඒ, ඉතිරි මුළු ජීවිත කාලය පුරාම ඔහුව හැඳින්වුණු, බොහෝ දෙනෙක් ඔහුව දැන සිටි නමයි. ඒ වන විට ඔහු 26 හැවිරිදි වූ අතර, ඔහුගේ බිරිඳ 21 හැවිරිදි විය.

මෙම රජ යුවළ, දරු දෙදෙනෙක් සමග නිස්කලංක වසර 4 ක් ගත කළහ. අනතුරුව කිරීටයේ රාජකාරි පවුල් ජීවිතය තුළට කඩා වැදුණේය.

සයවැනි ජෝර්ජ් රජු නොහොත් එලිසබෙත්ගේ පියා, වයස අවුරුදු 56 දී මියගිය බවට වූ ආරංචිය ඔවුන්ට ලැබෙන විට ඔවුන් සිටියේ කෙන්යාවේ ය. 1952 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සංචාරයට සහභාගි වෙමිනි. එඩින්බර්ග් හි ආදිපාදවරයාගේ මිතුරෙකු සහ පුද්ගලික ලේකම්වරයා වූ කොමදෝරු මයිකල් පාකර්, සිය බිරිඳ බ්‍රිතාන්‍ය අධිරාජිනිය බවට පත් වූ බව වටහාගත් ඔහුගේ එම මොහොත මෙසේ විස්තර කරයි.

‘‘ලෝකයෙන් බාගයක් ඔහුගේ ඇඟ උඩට කඩා වැටුණා වගේ බැල්මකින් ඔහු බලා සිටියා. මගෙ ජීවිතයේ කිසිම කෙනෙක් ගැන ඒ තරම් කණගාටුවක් මට ඇති වෙලා නැහැ. ඔහු දැඩි ලෙස හුස්ම ගත්තා. ඔහු හිටියේ කම්පනයකට පත් වෙලා වගේ. එක්ව ගත කළ ජීවිතය මංසන්ධියකට පැමිණ ඇති බව ඔහු තේරුම් ගත්තා..‘‘

පිලිප් කුමරුගේ නාවික හමුදා ජීවිතයේ සියලු ඉදිරි ගමන් එතැනින් ඇණ හිටියේය. ඔහු රැජිනගේ පසෙකින් එතැන් පටන් සිටිය යුතු විය.

එඩින්බර්ග් හි ආදිපාදවරයා, රැජිනගේ වල්ලභයා ලෙස නිල වශයෙන් නම් කෙරුණේය. ඔහුගේ මූලික රාජකාරිය වූයේ සිය බිරිඳගේ ජීවිතයට සහාය ලබාදීමයි.

1950 දශකයේ මුල් අවධියේදී පිලිප් කුමරුට, සිය රාජකීය නාමය වූ මවුන්ට් බැට්න් යන්න වාසගම ලෙස යොදාගැනීමට අවශ්‍ය විය. එය, ඔවුන් දෙදෙනා අතර දළු ලා වැඩෙන විරසකයක් ගැන ද ඉඟි කළේය.

‘‘මම තමයි රටේ ඉන්න එකම මිනිහා, තමන්ගෙ දරුවන්ට වාසගම දෙන්න බැරි..‘‘ රැජින ඔහුට වින්ඩ්සර් පෙළපත් නාමය ලබාගන්නා ලෙස කී විට ඔහු එයට විරෝධය පෑවේය. ‘‘මම පුංචි ඇමීබාවෙක් ඇර කිසි කෙනෙක් නෙවෙයි..‘‘

“I am the only man in the country not allowed to give his name to his children!” I’m nothing but a bloody amoeba!”

සිය ජීවිතය, රැජිනගේ පසෙකින් සිටීම යන්නෙන් ඔබ්බට විහිදුවා ගැනීමට ඔහු අරගල කළේය. නමුත් අවසානයේ ඔහු ඉටාගත්තේ තදබදය ඇවිරුණු බකිංහැම් මාළිගයේ සිට අලුත් හුස්මක් ගන්නට ය.

රජ පෙළපතේ සිරිත් වෙනස් කරයි 

තමන් ග්‍රීසියේ සිට පිටුවහල් කළ අයෙකු බව ආදිපාදවරයා කිසි විටෙක අමතක නොකළේය. අධිරාජයන්, නොනැසී පැවතීමට නම් ඒවා කාලය සමග වෙනස් විය යුතු බව ඔහු විශ්වාස කළේය.

ඔහු, රැජිනට විවිධ පසුබිම්වල මනුෂ්‍යයන් හමුවන සේ කටයුතු ලැහැස්ති කළේය. රජ මාළිගයේ සේවකයන්ට පහසුකම් ලබාදීමට උත්සුක විය. මාළිගයේ මුළුතැන්ගෙවල් දෙකක් ඇති බව දැනගෙන එයින් එකක් වසා දැමුවේය.

එසේ සිදුකළ වෙනස්කම් අතරින් සමහරක්, ඔහුගේ ළමා කාලයේ ආශාවන් පිළිබිඹු වන පුද්ගලික ඒවා ද විය. එලිසබෙත් රැජින බවට පත් වීමට පෙර සිට ද ඔහු එසේ විය. 1949 වසරේදී ක්ලැරන්ස් හවුස් හි වාසයට පැමිණි විට, ඔහු සිය කබායට බොත්තම දැමීමටත් සේවකයෙකු සිටින බව දැන, ස්වයංක්‍රීයව බොත්තම දමන යන්ත්‍රයක් සිය අල්මාරියට සවි කර ගත්තේය. 1969 වසරේදී BBC සේවය විසින් නිෂ්පාදනය කළ රාජකීය පවුල ගැන වාර්තා චිත්‍රපටයකට මහත් අභිරුචියෙන් සහභාගි විය.

බකිංහැම් මාළිගයේ සේවකයන් තමන් වෙනුවෙන් ශ්‍රමය යොදවන ආකාරය ගැන පිලිප් කුමරු සතුටෙන් සිටියේ නැත. සාමාන්‍ය යෙන් එතෙක් පැවති පිළිවෙත වූයේ, රැජින වෙත පණිවුඩ ලියා ඒවා සේවකයන් අත යැවීමයි. නමුත් ඒ වෙනුවට පිලිප් කුමරු මාළිගයේ ඉන්ටකොම් දුරකථන පද්ධතියක් සවි කළේය. එයින් නොනැවතී, තමන්ගේ බඩු බාහිරාදිය තමන්ම උස්සාගෙන ගියේය. තමන්ගේ උදේ ආහාරය ද තමන්ම පිළියෙළ කර ගත්තේය. කාමරයේ සිට ඔහු එය කරගත්තේ විදුලි සාස්පානකිනි. නමුත් එහි ආහාර සුවඳට රැජින ප්‍රිය නොවූ නිසා ඔහුට එය ඉවත් කිරීමට සිදුවිය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ළාබාලතම අධිරාජිනිය ගේ වල්ලභයා ලෙස ඔහු රාජකීය කටයුතු 22,191 ක් සමග සම්බන්ධ වී තිබේ. 2017 වසරේදී රාජකීය නිල කටයුතුවලින් සමුගත් පසුව ද සංවිධාන 780කට වඩා වැඩි සංඛ්‍යාවක මහජන කටයුතුවලට දායක විය.

ලොව පුරා යන රැජින සමග ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය ඇතුළු සෙසු සංචාරයන් සඳහා එක් විය. ඔහු රටවල් 143 ක සංචාරය කර තිබේ. චතුර ලෙස ප්‍රංශ සහ ජර්මානු බස කතා කිරීමට ඇති හැකියාව එහිදී ඔහු ප්‍රයෝජනයට ගත්තේය.

දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති වනුආටු දිවයිනට පැමිණි විට වැසි වනාන්තරයක වෙසෙන ප්‍රජාවක් විසින් ඔහුව සලකා තිබෙන්නේ සිය පුරාණ යුධ විරුවෙකුගේ පුනරුප්පත්තිය ලෙස ය.

1956 වසරේදී පිහිටවූ Duke of Edinburgh’s Award හෙවත් එඩින්බරෝ ආදිපාද ත්‍යාගය මගින් ඔහු ස්වෙච්ඡා සේවය ප්‍රවර්ධනය කළේය. වයස අවුරුදු 14-25 අතර අයට ස්වෙච්ඡාවෙන් වැඩ කිරීම, කායික ක්‍රියාකාරකම් සහ කුසලතා වර්ධනය කර ගැනීම සහ කඳු නැගීම, ජලචර සංචාර වෙනුවෙන් මෙය පිරිනැමේ. එම ත්‍යාගය ඔහු බිහි කළේ සිය නේවාසික පාසලේ නිර්මාතෘ කර්ට් හාන් ට උපහාරයක් ලෙස ය. 2016 වසරේදී රටවල් 130ක මිලියන 1.3 ක් යොවුන් සහ තරුණ දරුවෝ මේ සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

සිය විවේකී සමයේදී ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු බවට පත් විය. ගිම්හානයේ පවත්වන රුවල් ඔරු තරගවලට ඔහු අනිවාර්යයෙන් සහභාගි විය. තුරග තරග, කරත්ත තරග ඔහු ඉතා ප්‍රිය කළ ක්‍රීඩා ඉසව් ය. තවද 1960 දශකයේදී ඔහු එක්සත් රාජධානියේ සිටි හොඳම පෝලෝ ක්‍රීඩකයන් අතර ද සිටියේය.

පරිසරයට පෙම් බැඳි මිනිසෙක් 

පරිසරය සුරැකීම ප්‍රවර්ධනය කිරීමට පිලිප් කුමරු සැමදා කැප වී වැඩ කළෙය්. ලෝක වනජීවී අරමුදලේ 1961 වසරේ සභාපතිවරයා ද ඔහු විය. කෙසේ වෙතත්, එම වසරේදීම රැජින සමග ඉන්දියාවට ගිය අවස්ථාවකදී ව්‍යාඝ්‍රෙයකුට වෙඩි තැබීම නිසා ඔහුට දැඩි විවේචනවලට ද ලක්වීමට සිදු විය.

මතභේදාත්මක ප්‍රකාශ සහ රැජින ගැන කී දේ 

නොබියව කතා කිරීම සහ ඇතැම්විට ජාතිවාදී ප්‍රකාශ සිදුකිරීම නිසා පිලිප් කුමරු මතභේදයන්ට ද ලක්විය. 1986 වසරේදී ඔහු චීනයේ සිටි බ්‍රිතාන්‍ය සිසු පිරිසක් අමතා මෙසේ කීය. ‘‘ඕනවට වඩා කාලයක් මෙහෙ හිටියොත් ඇස් පුංචි වෙයි..‘‘නමුත් පිලිප් කුමරු, කිසිදු ජාතියකගේ හැඟීම්වලට තුවාළ කිරීමට අදහස් නොකළ බවත්, ඔහු කළේ විහිළුවක් කිරීම පමණක් බවත් ඒ සමගම පැවසිණි.

පිලිප් කුමරු සහ එලිසබෙත් රැජින ගේ සම්බන්ධය එසේත් නැතිනම් යුගදිවිය අළවා තැබූ මැලියම වූයේ ද කුමරුගේ මේ හාස්‍යයට ප්‍රිය බව ම බව මාළිගයේ අභ්‍යන්තර මූලාශ්‍ර පැවසුවේය. සිය දිගුකල් විවාහයේ රහස රැජිනගේ ‘ඔරොත්තු දීම‘ බව ද ඔහුම කියා තිබේ.

1960 දශකයේදී හාස්‍යයට ලක් වූ රැජිනගේ කතාවක් ඇය පටන් ගන්නේ ‘මගේ සැමියා සහ මම..‘‘ යනුවෙනි. එම වාක්‍යය ඇය විසින් සම්පූර්ණ කළේ නැත. ඇය එම වාක්‍යය සම්පූර්ණ කළේ ඔවුන්ගේ විවාහයේ ස්වර්ණමය ජුබිලිය දා ය.

‘‘නිතරම මම බය වෙනවා, පිලිප් කුමරුට මම කියන දේවල් අහගෙන ඉන්න සිද්ධ වීම ගැන. මුලින් අපි මා විසින් කළ යුතු කතාව ට සූදානම් වෙනවා. ඔබට හිතාගන්න පුළුවන් ඇති, නිතරම ඔහු තමන්ගේ මතය නොපැකිළව කියන කෙනෙක්.

ඔහු පහසුවෙන් ප්‍රශංසාවන් භාර නොගන්නා කෙනෙක්. නමුත් ඉතාම සරල ලෙස කියනවා නම් ඔහු මගේ ශක්තියයි. මේ වසර ගණනාව පුරාම. ඔහුගේ මුළු පවුලම, සහ සෙසු රටවල් ගණනාවක් අපි නොසිතන තරම්, කවදාවත් අපි නොදැනගන්නා තරම් ඔහුට ණයගැතියි.‘‘

‘‘ප්‍රින්ස් පපා (පිය කුමරුනි), ඔබ හරි විශේෂයි..‘‘ මේ අද දිනයේ පිලිප් කුමරු වෙනුවෙන් උපහාර පුදමින් චාල්ස් පුත්‍ර කුමරු කී වදන් ය.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය – අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button