ගොසිප් පුවත්තරු හුට පට

ආයෙත් මම ප්‍රේක්ෂකයන් අතරට එනවා – ශිරෝෂි

සිරස ඩාන්සින් ස්ටාර් සිනමා නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙනවා. පසුගිය දිනවල කලා ක්ෂේත්‍රයෙන් තරමක් අෑත්ව සිටි ඇය දැන් නැවතත් තම රංගන කටයුතුවලට අවතීර්ණ වී සිටිනවා. ඇය නමින් ශිරෝෂි රොමේෂිකා. මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාව තුළ විකාශය වන බස් එකේ ඉස්කෝල් ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඇයගේ නවතම තොරතුරු දැන කියා ගැනීමට හදගැස්ම අපි ඇයට කතා කළා.

කොහොමද ඉතින්? 

බොහොම සතුටින්, හොඳින් ඉන්නවා.

මේ දවස්වල කොහොමද වැඩකටයුතු? 

දැන් මම නැවතත් රංගන කටයුතුවලට දායක වෙලා ඉන්නවා.

ඔබගේ අලුත් ටෙලි නාට්‍ය බස් එකේ ඉස්කෝල් පිළිබඳවත් මතක් කරමු? 

ඔව්. මගේ අලුත් ටෙලි නාට්‍යය බස් එකේ ඉස්කෝලේ. එය සතියේ දිනවල රාත්‍රි 7.30ට විකාශය වෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් රසාංග. නිෂ්පාදනය ඉෂාන්ද සිල්වා. මේ නාට්‍යය තුළ ඉතා හොඳ කණ්ඩායමක් සිටිනවා. මේ දවස්වල ඉතින් ඒ නාට්‍යයත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.

බස් එකේ ඉස්කෝලේ තුළ කුඩා දරුවන් සමඟ සිදුකරන ගනුදෙනුව පිළිබඳව කතා කළොත්? 

ඇත්තටම මට දැන් චූටි දුවෙක් ඉන්නවානේ. ඒකත් එක්ක මගේ ටෙලි නාට්‍යය තුළත් කුඩා දරුවන් කිහිපදෙනෙක්ම සිටිනවා. ඒ නිසා කිසි පාළුවක් නැහැ සහ ඔවුන් එක්ක ගත වන කාලය තාම සුන්දරයි.

බස් එකේ ඉස්කෝලේ තුළ ඔබ සැමියාගෙන් ඉවත් වූ දරු දෙදෙනකුගේ මවක්. ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ කොයි ආකාරයටද? 

එහි මට ගැහැනු දරුවන් දෙදෙනෙක් තමයි ඉන්නේ. ඉතින් එය මට විශේෂ අත්දැකීමක්. අද සමාජය තුළත් දරුවන් සමඟ තනිවූ එවැනි කාන්තාවන් ඕනෑ තරම් සිටිනවා. නමුත් ඉතින් ඒ අම්මලා තමන්ගෙ ධෛර්යයෙන් දරුවන්ව රැක බලාගෙන ගෙ උස් මහත් කරනවානේ. මේ ගැහැනියත් එවැනි චරිතයක්. කොහොම හරි ජීවිතය ඉදිරියට ගෙන යෑමට වෙර දරන උත්සාහවන්ත කාන්තාවක්.

ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්? 

ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන දැනට දින කිහිපයක් පමණයි ගත වුණේ. නමුත් දැනට ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා.

පසුගිය කාලයේදී ඔබ රංගනයෙන් තරමක් ඈත් වෙලා සිටියා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. එයට එකම හේතුව මගේ දෝණි. ඇයට තවම අවුරුදු 3යි. මුල් කාලයේ එයාව තනියම දමා යන්න හැකියාවක් තිබුණේ නැහැ. දැන් ඇය ටිකක් ලොකු නිසා තමයි මම නැවතත් වැඩ කරන්න ඕනි කියලා හිතුවේ.

රංගන ශිල්පිනියක වශයෙන් ඔබ තුළ චරිත තෝරා බේරා ගැනීමක් තිබෙනවාද? 

මෙහෙමයි, රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක වුණහම ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් ඉතින් මගේ සීමාව තුළ මට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න මම සූදානම්.

ඔබ සතු කලා හැකියාවන් තුළින් නිසි ප්‍රයෝජන ගත්තා කියා ඔබ සිතනවාද? 

මා සතු කලා හැකියාවන් දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේවල් විදිහට තමයි මම දකින්නේ. ඒ හැකියාවන් හැමෝටම පිහිටන්නේත් නැහැ. ඇත්තටම මගේ කලා හැකියාවන් තුළින් මම නිසි ප්‍රයෝජන ලබා ගන්න මට බැරි වුණා. නමුත් ඉදිරියේදී නැවතත් මගේ කලා හැකියාවන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්නත්, මගේ හැකියාවන් තුළින් නිසි ප්‍රයෝජන ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ පිළිබඳව ඔබට දුකක් තිබෙනවාද? 

ඔව්. ඇත්තටම දුකක් තිබෙනවා. මොකද මට නැවත ඒ කාලයට යන්න බැහැනෙ. මේ ක්ෂේත්‍රය තුළ ඉතාම කෙටි කාලයක් ඇතුළත තමයි මට ඩාන්සින් ස්ටාර් වගේ සිනමා පටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණේ. මම ක්ෂේත්‍රයට පැමිණි කාලයේදී මට ක්ෂේත්‍රය පිළිබඳව ලොකු දැනීමක් තිබුණේ නැහැ. එහෙම වෙන්න ඇත්තේ ඒ නිසා කියලා මම හිතනවා.

ඉදිරියේදී ඔබව දිගටම විවිධ රංගනයන් තුළින් දැක ගන්න ලැබේවිද? 

ඔව්. අනිවාර්යෙන්ම. ඉදිරියේදී දිගටම රංගන වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහතාගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒ ආසාව මට ඒ කාලයේ ඉඳන්ම තිබුණු ආසාවක්.

දුව ගැන මතක් කළොත්? 

දුව මරීෂා අමාෂි පෙරේරා. ලබන ජූලි මාසයට එයාට අවුරුදු 4 සම්පූර්ණ වෙනවා.

ඉදිරියේදී ඇය කලාවට සම්බන්ධ වෙනවාට ඔබ තුළ කැමැත්තක් තිබෙනවාද? 

මෙහෙමයි. ඇය යා යුතු මාර්ගය ඇය තෝරා ගනීවි. නිසි මඟපෙන්වීම හා රැකවරණය ලබා දෙනවා හැරුණු කොට ඇයට මම බලපෑම් කරන්නේ නැහැ. දැනට නම් ඉතින් එයා සින්දු කියනවා නටනවා මේ හැමදේම කරනවා.

ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තිබෙන්නේ? 

එදා මට ආදරය කරපු ප්‍රේක්ෂයන් අදටත් මාත් සමඟ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉදිරියටත් මගේ නිර්මාණයන් සමඟ දිගටම රැඳී සිටින්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ ආදරය මට හරිම වටිනවා.

දිනූෂා මනෝරි නිශ්ශංක 

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button