විදෙස් පුවත්

මියන්මාර හමුදා කුමන්ත්‍රණයේ නායකයා ජාතිය අමතයි

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායිකා අවුන්සාන් සුකී සහ ජනාධිපති වින් මින්ට් ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ බලය පැහැරගත් හමුදා නායකයා ඊයේ ප්‍රථම වරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවා.

එහිදී ඔහු හමුදා කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ අතර, පසුගිය නොවැම්බරයේ මැතිවරණය දූෂිත බව යළි ප්‍රකාශ කළා.

විනයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමට කටයුතු කරන බව පැවසූ හමුදා නායක මින් අවුන් හයින් කියා සිටියේ යළි මැතිවරණයක් පැවැත්වීමටද පියවර ගන්නා බවයි.

මියන්මාරයේ සමාජ මාධ්‍ය හමුදාව විසින් අවහිර කරනු ලැබූවද, විකල්ප මාර්ගවලින් ඊට එක්වූ ජනයා හමුදා නායකයා ජනතාව අමතද්දී හැලි වලං හඬවමින් ඊට නොසතුට පළ කළ ආකාරයේ වීඩියෝ පටද ඊට එක්කර තිබුණා.

එමෙන්ම, හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා විරෝධතා ඊයේ තවදුරටත් ක්‍රියාත්මක වූ අතර, නිපිඩෝ අගනුවරට එක්වූ දසදහස් සංඛ්‍යාත ජනයා කුමන්ත්‍රණය හෙලා දකිමින් හඬ නැගුවා.

අගනුවරට දැඩි හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණද ඔවුන් සහ විරෝධතාකරුවන් අතර ඍජු ගැටුම් වාර්තා වී නැහැ.

හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරය පුරා දැවැන්ත වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර, හමුදා නායකයාට එරෙහි විරෝධතා පෙළපාලිවලට ඊයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ද කණ්ඩායම් වශයෙන් එක්වූ බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button