දේශීය පුවත්

බදුල්ලේ වෛද්‍යවරයෙකු පැය දෙකෙන් කළ දුර්ලභ කර්ණ සැත්කම

තරුණියකගේ පිටත කන් දෙකෙහි උපතින් ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් තමාට ම අවේණික ක්‍රමයකට සැත්කමක් මගින් සාර්ථකව සකස් කිරීමට බදුල්ල පළාත් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සමත්ව තිබේ.

මෙම සැත්කම සිදු කර ඇත්තේ, එම රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආනන්ද ජයවර්ධන මහතා ය.

අවුරුදු 22ක තරුණියකගේ පිටත කන් දෙකෙහි උපතින් ම ඇතිව තිබූ අසාමාන්‍ය තත්ත්වයක් සඳහා ශල්‍යකර්මයක් කළ යුතුව තිබුණ ද එවන් අසාමාන්‍ය තත්ත්වයක් පිළිබඳව මින් පෙර මෙරටින් හෝ කිසිඳු විදේශ රටකින් වාර්තා වී නොතිබූ බව කළ විමසීමකදී වෛද්‍ය ජයවර්ධන මහතා පැවසීය.

නමුත් එම අභියෝගය භාර ගෙන තමාට අවේණික වූ ක්‍රමයකට පැය 2ක් වැනි කාලයකදී සැත්කම සාර්ථකව නිම කිරීමට වෛද්‍යවරයා සමත්ව තිබේ.

අදාළ තරුණියගේ පපු ප්‍රදේශයෙන් ලබා ගත් කාටිලේජ බද්ධ කිරීමක් ද ඒ සඳහා සිදු කර ඇති අතර ශල්‍යකර්මයට අදාළ කැළැල් පිටතට නොපෙනෙන අයුරින් සැත්කම නිම කිරීම ද විශේෂත්වයකි.

අප කළ විමසීමකදී වෛද්‍යවරයා සඳහන් කළේ, පිට කනේ අසාමාන්‍යතා වාර්තා වුව ද ඒවා සාමාන්‍යයෙන් ලොව විවිධ රටවල්වල හෝ හඳුනාගනීමකට ලක් කර තිබෙන අසාමාන්‍යතා බව ය.

එවිට ඊට අදාළ සැත්කම් පිළිබඳ වාර්තා පරිශීලනය මගින් අදාළ තොරතුරු දැනගැනීමට හැකියාව තිබෙන බව ද ඔහු පැහැදිලි කළේය.

නමුත් මෙම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා සොයා ගැනීමට නොහැකි වූ අතර එම නිසා තමාගේ ක්‍රමයකට තරුණියගේ කන් සාමාන්‍ය හැඩයට පත් කිරීමට තමාට සිදු වූ බව වෛද්‍යවරයා පැවසීය.

මේ අතර තම කන් දෙකෙහි පැවති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් අදාළ තරුණිය කනස්සල්ලෙන් පසුව තිබේ.

අන් අයගේ නිරන්තර විමසීම්වලට ලක් වීම නිසා ඇය කොණ්ඩය භාවිතයෙන් කන් වසා තබා ගැනීමට පෙළඹ සිට ඇත.

මෙලෙස අසාමාන්‍යතා පුද්ගලයෙකුගේ උපතින්, තුවාල වීම් හෝ ශල්‍යකර්මවලින් පසු ඇති විය හැකි අතර එවන් ගැටලු සහිත පුද්ගලයන් නිරන්තරයෙන් මානසික සහ සමාජමය වශයෙන් පීඩාවට ලක් වන බව වෛද්‍ය ජයවර්ධන පැවසීය.

තව ද ඒ මහතා පැවසුවේ, එය ඔවුන්ගේ ජීවිත ජය ගැනීමට ඇතැම් අවස්ථාවල බාධාවක් වන බවත් ඇතැම් පුද්ගලයන් සමාජයෙන් වෙන්ව සිටීමටත් පෙළඹෙන බවයි.

එවන් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් සපුරාලමින් ඔවුනට සහය වීම වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන වෛද්‍යවරුන්ගේ වගකීමක් බව වෛද්‍ය ජයවර්ධන මහතා අවධාරණය කළේය.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button