ගොසිප් පුවත්තරු හුට පට

මට තවමත් පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබෙනවා – කලකට පසුව මහේෂි කට අරියි

ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගමන් කළ සුන්දර කාන්තාවක්. සුරූපී රංගන ශිල්පිනියක වන ඇය සැබෑ ජීවිතයේදී බිරියක් සහ මවක් යන භූමිකාවන්ද ඉතාම හොඳින් ඉටුකරන්නීය. ඇය නමින් මහේෂි මධුසංඛා. දෙවැනි දරු ප්‍රසූතියත් සමඟ ඇය කලාවෙන් යම් විරාමක් ලබාගත්තා. නමුත් මේ වන විට ඇය නැවතත් රංගනයට පිවිස සිටිනවා. මේ දිනවල විකාශය වන “ඇය” ටෙලිනාට්‍යයේත් භූමිකාවක් නිරූපණය කරන ඇයගේ නවතම තොරතුරු දැනගැනීමට හදගැස්ම අපි ඇයට කතා කළා.

 

මුලින්ම අපි ‘ඇය’ ටෙලි නාට්‍යය ගැන මතක් කරමු? 

ඔව්. ස්වර්ණවාහිනි නාළිකාව තුළ සෙනසුරාදා – ඉරිදා රාත්‍රි 08.30ට ‘ඇය’ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.

‘ඇය’ ටෙලිනාට්‍යය තුළ ඔබ දිරිය මවක්. එඩිතර කාන්තාවක්. ඒ ගැනත් යමක් කියමු? 

‘ඇය’ ටෙලිනාට්‍යයට මුල සිටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ ටෙලිනාට්‍යය පොඩි දරුවන්, කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් විදේශගත ප්‍රේක්ෂකයන්ගේත් ආදරයට පාත්‍රවුණා. ‘ඇය’ ටෙලි නාට්‍යය සුවිශේෂී වීමට එයත් එක් හේතුවක්. ඒ වගේම යූටියුබ් එක හරහාත් ගොඩක් දෙනෙක් ටෙලිනාට්‍යය නරඹලා තිබුණා.

දිගු නිහැඩියාවකින් පසුව ඔබ නැවත ‘ඇය’ ටෙලි නාට්‍යය සමඟ සම්බන්ධ වුණා. එය ඉතාම සුබ, නැවුම් වෙනසක් එක් කළ දෙයක් නේද? 

ඔව්. ‘ඇය’ ටෙලි නාට්‍යයට මාව ආයෙමත් පිළිගත්ත විධිය ගැන හරිම සතුටුයි. ගොඩක් අය මම ආපසු නාට්‍යයට එනතුරු බලාගෙන ඉඳලා තියෙනවා. ඒක ලේසියෙන් සිදුනොවන දෙයක්. මොකද කෙනෙක් කුමක් හෝ හේතුවකට ටෙලි නාට්‍යයකින් ඉවත් වුණාම වෙන කෙනෙක් දම්මලා හරි ඒ චරිතය ඉදිරියට ගලාගෙන යනවා. නමුත් මුල සිටම එම චරිතයට දායක වුණු කෙනාටම නැවතත් එම චරිතයම ලැබෙනවා කියන්නේ හරිම විරල අවස්ථාවක්. ඇත්තටම එහෙම ලැබෙන්නේම නැති තරම්. එය මගේ පෙර වාසනාවකට සිදුවුණු දෙයක් වෙන්න ඇති. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. එමෙන්ම එය ඉතිහාසගත සිදුවීමක් කියලත් කියන්න පුළුවන්.

ඔබ දරුවන් නිසා කලාවෙන් කෙටි කාලයට හෝ ඉවත් වුණා. ඒ කැපකිරීම් ගැන මොනවගේ හැඟීමක්ද තිබෙන්නේ? 

ඔව්. මගේ පළමු බබා ලැබුණට පසුවත් මම ටිකක් මහත් වුණා. දැන් දෙවැනි බබා ලැබුණාමත් එහෙමයි. නමුත් ඉතින් මම මගේ ක්ෂේත්‍රයට ගොඩක්ම ආදරෙයි. මොකද මේක තමයි මගේ වෘත්තිය. ඒ වගේම මගේ ප්‍රධාන තැන හිමි වෙන්නේ මගේ පවුල් ජීවිතයට. ඒ නිසා මම දරුවන් ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම ඒ කාලය ඔවුන් වෙනුවෙන් කැප කරලා ආපසු දැන් රංගනයට යොමුවී ඉන්නවා. ඇත්තටම මගේ දරුවෝ දෙන්නගෙනුත් මට කිසිම කරදරයක් නැහැ. එයාලා හරිම අහිංසක දරුවෝ. ඒ වගේම මගේ අම්මාගෙන් සහ සැමියගෙන් ලැබෙන සහයෝගය ඉතාම වටිනවා.

ඔබ දැන් දෙදරු මවක්. නමුත් ඔබට තවමත් පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබෙනවා. මොකක්ද මේ රහස? 

විශේෂයක් නැහැ ඉතින්. ආරාධනාවල නම් එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. එදා වගේම තමවත් ප්‍රේමවන්තියගේ චරිතයට ආරාධනා ලැබෙනවා.

‘ඡායා’ කියන්නේ එක් කාලයකදී ඉතාම ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යයක්. ඒ ගැන මතක් කළොත්? 

ඇත්තටම ඡායා කළේ මට අවුරුදු 23දී. ඉතින් ‘ඡායා’ මගේ රංගන ජීවිතයේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරපු, මට ලැබුණු සුවිශේෂී චරිතයක්. ඒ ටෙලි නාට්‍යය කරලා දැන් අවුරුදු 7කටත් වැඩියි. අදටත් ඒ ගැන මිනිස්සු කතා වෙනවා. ඒ දවස්වල ‘ඡායා’ ටෙලි නාට්‍යයෙහි මම (ඡායා) ප්ලේන් කලර්ස් සාරි ගොඩක් ඇන්දා. ඒ වගේම සාරි විලාසිතාවන් ටෙලිනාට්‍යය නරඹපු තරුණියනුත් අඳින්න පටන් ගත්තලු. ඒ තරමටම ඔවුන් ‘ඡායා’ ටෙලි නාට්‍යයට, ඡායාගේ චරිතයට ආදරය කරලා තියෙනවා. ඒ වගේම සුජීව ප්‍රසන්න ආරච්චි මහතාගේ ඒ නවකතාවත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒකත් එක්ක ‘ඡායා’ ටෙලිනාට්‍යයත් ගොඩක් ජනප්‍රිය වුණා.

ඔබ ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආකාරය මතක් කළොත්? 

මුලින්ම කළේ සුනිල් සෝමපිරීස් මහතාගේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටය. සුනිල් සෝමපීරිස් මහතාගේ මුනුබුරා මගේ යහළුවෙක්. ඔහුගෙන් ලද තොරතුරක් මත මමත් ඔඩිෂන් ගියා. එයින් සමත් වී චිත්‍රපටයට සම්බන්ධ වුණා. චිත්‍රපටය තිරගත වීමට ප්‍රථම එහි සංස්කරණ කටයුතුවලදී අමිල අබේසේකර අයියා මාව දැකලා තමයි ඔහුගේ ටෙලි නාට්‍යයට මාව ගත්තේ. ‘මුතු වර්ෂා’ මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. එහෙම තමයි මම ක්ෂේත්‍රයට ආවේ.

ඔබ ගුවන් සේවිකාවක්, නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, රූප සුන්දරියක් ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ අයෙක්. එම අත්දැකීම් පිළිබඳව කතා කළොත්? 

ජීවිතයේදී අපි හැමෝම විවිධ දක්ෂතා රැගෙන එනවා. ඒ දේවල් වැඩිදියුණු කරගෙන ඉදිරියට යා යුත්තේ මා විසින්මයි. ඒ වගේම ඕනෑම ක්ෂේත්‍රය වැරැදි පැත්තක් වගේම හොඳ පැත්තකුත් තිබෙනවා. එය තමන් හරියට තේරුම් ගත යුතුයි. ඉතින් මම ගැන කතා කළොත් මේ වෙද්දී මම මට එන්න පුළුවන් උපරිම දුර පැමිණ තිබෙනවා. එනිසා මම අද ඉන්න තැන ගැන උපරිමයෙන්ම සතුටු වෙනවා.

කලා ක්ෂේත්‍රය තුළ වෘත්තිය මට්ටමේ කටයුතු කළ හැකියි කියා ඔබ සිතනවාද? 

ඔව්. අනිවාර්යයෙන්ම. මේ ක්ෂේත්‍රය හරිම පහසුයි. තමන් තමන්ගේ තැන හරියට හදාගත්තොත් වෘත්තීය මට්ටමින් හොඳ ස්ථාවරත්වයකට එන්න පුළුවන් ක්ෂේත්‍රයක් විධියට තමයි මම ක්ෂේත්‍රය දකින්නේ.

ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය කෙනෙක් විධියට වර්තමාන සම්මාන රාත්‍රීන්වල ජනප්‍රියතම රංගන ශිල්පියා – ශිල්පිනිය තෝරා පත්කර ගන්නා ආකාරය ගැන ඔබට මොකද හිතෙන්නේ? 

ඉර්ඉ මනාපයෙන් නැතිව වෙනත් ආකාරයකින් හෝ ජනතාවගේ ඇත්තම ඡන්දයෙන් ජනප්‍රියතම රංගන ශිල්පියා – ශිල්පිනිය තෝරා ගන්නවා නම් හොඳයි කියලා තමයි මම නම් කියන්නේ.

චිත්‍රපටවලට ආරාධනා ලැබුණාද? 

දැනට ලංකාව තුළ චිත්‍රපට බොහොම අඩු ප්‍රමාණයක්නේ කෙරෙන්නේ. ඒකත් එක්ක ඇත්තටම මේ කාලයේ නම් චිත්‍රපටවලට එහෙම ලොකුවට ආරාධනා ලැබුණේ නැහැ. ඉදිරියේදී බලමු ඉතින්.

පවුලේ විස්තරත් කියමු? 

සැමියා ශ්‍රී ලංකා එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් විධියට වැඩ කරනවා. ඔහුගෙන් මට ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. පුතා සෙනුල් ආරාධ්‍ය දිසානායක, දුව කෙනුලි පුලසදී දිසානායක. දුවට දැන් මාස 04 හමාරක් වෙනවා.

දිනූෂා මනෝරි – නිශ්ශංක

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button