ගොසිප් පුවත්තරු හුට පට

මම ටිකක් චබී බබෙක් – උදාරි කියන අමුතු කතාව

මෙවර ‘‘සුබ උපන් දිනක්’’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු ​ෙවන්නේ කලා ක්ෂේත්‍රය එළිය කරන්නට පෑයු රන් තරුවක්. ප්‍රේක්ෂක ආදරය, ආකර්ශනය බෙහෙවින් දිනාගත් ඒ ආදරණීය චරිතය උද‌ාරි වර්ණකුලසූරිය.

උපන් දිනයක් ලබද්දී උද‌ාරිගෙ හිතට දැනෙන හැඟීම කොහොමද? 

උපන් දිනයක් ලබනවා කිව්වම පොඩි කාලෙදි නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඒ කාලෙ අපි හරි ආසයි තෑගි ගොඩක් ලැබෙනවට. ලස්සන කේක් ලැබෙනවට. දැන් ඒ සතුට අපිට නැහැ කියනවා නෙමෙයි. අවුරුද්දෙන් අවුරුද්ද අපේ වයස ඉලක්කම් වලින් වැඩි වෙනවනෙ. නමුත් එය වයසට යාමක් නෙමෙයි, පරිණතභාවයට පත්වීමක් කියලා මට හිතෙන්නෙ.

වයසින් පරිණතවෙනවා කියලා කියන්නෙ ජීවිතේ අත්දැකීම් ලබනවා ඒ වගේම අපි වැඩිහිටියො බවට පත් වෙනවා. ඇත්තටම ඒ ගැන මට සතුටුයි. අපි ගැන අවබෝධයක් නැතිව ජීවත් වෙනවට වඩා පරිණතභාවයක් එක්ක ජීවත් වෙන්න ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කමක් ලැබෙන එක ගොඩක් සතුටුයි. මම කිසිම විටෙක මගෙ වයස, උපන් දිනය කියන්න පැකිලෙන්නෙ නැහැ. සමහරු වයස හංගනවනෙ අවුරුද්දෙන් අවුරුද්ද වයසට යද්දී. මම එහෙම නැහැ.

එහෙනම් උද‌ාරිගෙ වයස කියන්න? 

මගෙ උපත සිදුවුණේ 1988.03.22 මේ ලබන්නෙ අවුරුදු 33.

ඉතින් ඔබේ උපත ගැන අම්මා තාත්තා මොනවද කියලා තියෙන්නෙ? 

මගේ උපන්ගම බලංගොඩ, ඉපදෙන්නෙ බලංගොඩ මහ රෝහලේ. මට ඉන්නෙ එක් සහෝදරයෙක්. මගෙ අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල්.

මුලින්ම ගෙදරට පිරිමි දරුවෙක් ඉපදෙනවා. ඊළඟට ගැහැනු දරුවෙක්. 

ඉතින් දෙපාර්ශවයෙන්ම දරුවො ඉද්දි සම්පූර්ණයි වගේනෙ?

උද‌ාරි ගෙදරට එකතුවෙද්දි ඒ සතුට කොයි විදියටද දැනිලා තියෙන්නෙ ගෙදර අයට? 

අම්මයි තාත්තයි ගොඩක්ම සතුටුවෙලා. මාව ඉපදෙද්දි. මම ටිකක් චබී බබෙක්ලු. මට මාස හයක් වගේ වෙද්දි වඩාගෙන ඉන්න බැරි තරම් බර බෝල බබෙක් කියලා කියනවා. ඒ කාලෙ ෆොටෝ දැකලා තියෙනවා. ඒ වගේ හිසයි කඳයි විතරයි පේන්නෙ. බෙල්ලක් නැති තරම්.

අම්මගෙ දරු ප්‍රසුතියෙදි තාත්තාට එන්න ලැබිලා නැහැ. මොකද තාත්තා ගුවන් හමුද‌ාවෙ ඔෆිසර් කෙනෙක් විදියට සේවය කළේ. ඒ දවසෙ තාත්තාට යන්න ලැබිලා නැහැ. මොකද මාව ලැබෙන්න දින දීලා තිබුණු දවසට නෙමෙයි මාව ලැබිලා තියෙන්නෙ. ඊට දින කීපයකට කලින්. ඒකට හේතුව අම්මා ඒ දවසෙ රොටි කාලා, වරකාත් කාලා බඩේ අප්රිතයක් වෙලා. ඉතින් ඒ දවසෙ අම්මාව රෝහල් ගත කළාම මාව ලැබිලා තියෙනවා. ඉතින් අද අපේ කට්ටිය ආදරේට මට වරකා බේබි කියලත් කියනවා.

පුංචි කාලෙදි උපන් දින සැමරුම් සිදුවුණේ කොහොමද? මතකයක් තියෙනවද? 

අපේ පවුලෙ අය ඒ දවසට එකතුවෙලා සාමාන්‍ය විදියට තමයි උපන් දින සමරලා තියෙන්නෙ. අද නම් උපන් දින සැමරුම් සිදු වෙන්නෙ වෙනස්ම විදියකටනෙ. අවුරුද්ද, දෙක ලබද්දි ඒ පුංචි දරුවන්ගෙ උපන් දින හෝටල් බුක් කරලා බොහෝ පිරිසකට ආරාධනා කරලානෙ සිදු කෙරෙන්නෙ. ඒ තුළින් ඇත්තටම සතුටු වෙන්නෙ දෙමව්පියො. ඒත් එක ළමයට වදයක් කියලා මට හිතෙන්නෙ.

මම නම් පුද්ගලිකව මගේ දරුවාට දැනුම් තේරුම් ඇති වයසක් එනකම් උපන් දින සාද ලොකුවට පවත්වන්න යන්නෙ නැහැ. එහෙමයි කියලා දරුවට අවශ්‍ය සැමරුම නොදී ඉන්නෙත් නැහැ. පවුලේ පිරිස එකතුවෙලා කේක් එකක් කපලා අවශ්‍ය තැගි දීලා සතුටු කරවනවා. ඒවා පවුලෙ ඇතුළෙදි වෙනවා. නමුත් ලෝකෙට පේන්න සාද පවත්වන්නෙ නැහැ. ඒ දේම තමයි මගෙ පුංචි කාලෙදිත් මම අත්දැක්කෙ. මගෙ අම්මයි තාත්තයි මාවත්, අයියාවත් සතුටු කරන්න පවුලෙ අය එක්ක එකතුවෙලා ඒ සැමරීම සිදු කළා. හරිම සැහැල්ලු සරල උපන් දින සැමරුම් තමයි අපේ තිබුණෙ.

පාසල් කාලෙ මොනවගේ දෙයක්ද සිදුවුණේ? 

පාසල් කාලෙත් ලොකු දෙයක් කරලා නැහැ. යාළුවො සුබ පතනවා ඒ දවසට. ඉතින් එද‌ාට මම කේක් දීලා එහෙම පොඩි සංග්‍රහයක් කරනවා. ඒ ඇරෙන්න විශේෂ සැමරුමක් නැහැ.

සාමාන්‍යයෙන් දැන් ඒ දවසට මොකද කරන්නෙ? 

වැඩිහිටි නිවාස, ළමා නිවාස, විශේෂ අවශ්‍යතා ඇති ළමා නිවාසවලට වගේ ද‌ානවේලක් හෝ යම් උපකාරයක් කරනවා. ඒ දේවල් උපන් දිනයටම කියලා විශේෂ කරගන්නෙ නැතිවත් සිදුවෙනවා. ඒ වගේම පුළුවන් විදියට ලැබෙන හැම අවස්ථාවකම පන්සල් යනවා, පල්ලි යනවා. මොකද මම කතෝලිකයෙක් වුණත් මහත්තයයි දරුවයි බෞද්ධ. ඒ නිසා මම ඒ ආගම් දෙකම අදහනවා. සාද පවත්වන ඒවා නම් ලොකුවට කරන්නෙ නැහැ. මේ වතාවෙ නම් කිසිවක් කරන්න බැරිවෙයි.

මොකද මගේ ළඟ කට්ටිය කවුරුත්ම නැහැ. මේ දවස්වල බොහෝ දෙනෙක් තම තමන්ගෙ අවශ්‍යතාවයන් මත පිටරටවල ජීවත් වෙන්නෙ. අම්මා ඇමරිකාවෙ, මහත්තයායි බබයි සිංගප්පූරුවෙ, අයියා ඕස්ට්‍රේලියාවෙ, තාත්තායි මමයි ලංකාවෙ ඒත් තාත්තා ඉන්නෙත් මහගෙදර, ඒ වගේ පවුලෙ අය තැන් තැන්වල. ඉතින් උපන් දිනයක් ආවා කියලා දැන් කට්ටියට එකට එකතුවෙලා සමරන්න විදියක් නැහැ. ඒ ගැන නම් ඇත්තටම දුකක් තියෙනවා. මොකද පවුලෙ කට්ටිය එකතුවෙලා එක කෑමවේලක් කන්න පුළුවන්නම් ඒක ලොකු සතුටක්නෙ හිතට. ලබන අවුරුද්දෙවත් එකට එකතුවෙලා ඉන්න ලැබෙයි කියලා හිතනවා.

මාර්තු 22 දවසට උද‌ාරිට එකතුවෙන සුබ පැතුම් ගැන කතා කළොත්? 

ඇත්තටම ඒ ගැන නම් කතා කරන්නත් සතුටුයි. මොකද ඒ දවස ලබද්දිම සුබපැතුම් අතිවිශාල සංඛ්‍යාවක් ගලාගෙන එනවා. මට අවංකවම ආදරය කරන ප්‍රේක්ෂකයො පිරිසක් ඉන්නවා. ඒ නිසාම වෙන්න ඇති මගේ පළමු ටෙලිනාට්‍ය රංගනයෙන්ම ජනප්‍රියම නිළිය සම්මානයට පාත්‍රවෙන්නට සහ මේ මෑතක තිබුණු චිත්‍රපට සම්මාන උළෙලෙ ජනප්‍රියම නිළිය සම්මානය දක්වාම මට රැඳෙන්න අවස්ථාව ලැබුණෙ. ජනප්‍රියම නිළිය සම්මානය එක පිටම පස් වතාවක් ලැබුණා.

ඒ ප්‍රේක්ෂකයන්ගෙ ආදරය නිසා ජනතාවගේ ප්‍රියත්වය තමයි ඒ පෙන්නන්නෙ. ඉතින් උපන් දිනය දවසෙත් ඒ ආදරය උපරිම විදියට මට ලැබෙනවා. පිටරටවල ඉන්න අය පවා කේක්, මල්, තෑගි භෝග පුළුවන් ආකාරයට මට එවනවා. බොහෝ පිරිසක් වයස් භේදයකින් තොරව ඒ ආදරය ප්‍රකාශ කරනවා. ඒ හැමදේම ගොඩක් සතුටින් මම භාරගන්නවා. හරිම සතුටුයි ඒ ලැබෙන ආදරය ගැන සහ ඒ ප්‍රතිචාරවලට.

Courtesy – Saaravita 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button