ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ගැහැනියකට දික්කසාදය මූසල දෙයක් – දැන් ගොඩක් ඉන්නේ ටික්ටොක් නළු නිළියන්

පාසල් ශිෂ්‍යාවකගේ, නව යෞවනියකගේ සිට අවුරුදු 80 ඉක්ම වූ වයෝවෘද්ධ කාන්තා භූමිකාවක් නිරූපණය කිරීම දක්වා වූ ඉතා විශාල පරාසයක රංගන කුසලතාවක් සහිත ඇය ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙහි එක් යුගයකදී අතිශය ජනාදරයට පත් රංගන ශිල්පිනියක්. වේදිකාව, රිදී තිරය, පුංචි තිරය යන සියලුම ක්ෂේත්‍රයන්හි එක ලෙසින් දස්කම් පෑමට සමත් ඇය දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්ද වනවා. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්. මෙවර කතාබහ ඇය සමඟයි.

 

ඔබ රංගනයෙන් දායකවුණු ප්‍රේක්ෂක මතකයේ රුඳුණු නිර්මාණ මොනවාද?

හර්බට් රංජිත් පිරීස්ගේ හිරු සඳු හමුවේ, නාලන් මෙන්දිස්ගේ පස්සේ ගෙනා මනමාලි, පාට සරුංගල්, දූ දරුවෝ, උදයකාන්ත වර්ණසූරියගේ දිය සුළිය, සරෝජනි, සිඩ්නි චන්ද්‍රසේකරගේ නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, පියාඹන අශ්වයා ආදියෙහි එකිනෙකට වෙනස් චරිත නිරූපණය කළා. ඒ අතරින් දූ දරුවෝහි “දීප්තිගේ” චරිතයට රටක් – ලෝකයක් ආදරය කළා.

එදා බිහි වූ නිර්මාණ සහ අද බිහි වන නිර්මාණයන්හි වෙනස සහ ගුණාත්මක බව පිළිබඳ ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

දැන් සිදුවෙන්නේ නිර්මාණ නොවෙයි. මම නම් දැන් නිර්මාණවලට දායක වෙන්නේ නැති තරම්. හොඳ නිර්මාණයක්, හොඳ චරිතයක් නැතිව සම්බන්ධ වෙලා වැඩක් නැහැ. දැන් නිර්මාණවල තිරපිටපතක් අතට දෙන්නෙත් නැහැනේ.

ඉස්සර නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආසයි. ඇග්‍රිමන්ට් අස්සන් කරලා, මුහුරත් උළෙලක් තියෙනවා. සහාය අධ්‍යක්ෂතුමා තිරපිටපත ගෙනත් දෙනවා. තිරපිටපත් කියවනවා. කොස්ටියුම්වලට දවස් දාගන්නවා. මේකප් ටෙස්ට් එකක්, ප්‍රීෂූට් එකක් වෙනම තියෙනවා. නිර්මාණය අවසන් වුණාම පේමන්ට්ස් ගෙදරටම ගෙනත් දෙනවා. දැන් එහෙම නැහැ. මට ආරංචියි අලුත් ළමයි අරගෙන කඩ වගේ නිර්මාණ කරනවා. ඒ අයට ගෙවීම් කරන්නෙත් නැහැලු. සල්ලි ගන්නත් ගොඩක් රස්තියාදු වෙන්න ඕනිලු. ඒක හරිම ඛේදනීය තත්ත්වයක්.

අදටත් ලංකාවේ හොඳ නිර්මාණ කරන නාලන් මෙන්ඩිස්, සුදත් රෝහණ, උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරු ඉන්නවා.

එදා ඔබ ක්ෂේත්‍රට පිවිසුණු ආකාරය සහ අද නවක පරපුර කලාවට පිවිසෙන ආකාරය ගැන මොකද හිතෙන්නේ?

දැන් ගොඩක් ඉන්නේ ටික්ටොක් නළු නිළියන්. ඒ තුළත් දක්ෂයො ඉන්නවා. නමුත් රංගනය පුළුල් උතුම් ක්ෂේත්‍රයක්. මෙය අවබෝධයක් ඇතිව එන්න ඕන. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා වගේ දැවැන්තයන් බිහි වුණේ මෙහි යමක් ඉගෙන ගෙන වටිනාකම අවබෝධ කරගෙන ආව නිසා. අද ඉන්න නවකයන් ස්ක්‍රිප්ට් එකේ තමන්ගේ සීන් එක විතරයි බලන්නේ. සමහර වෙලාවට රිහසල්වලදී තමන්ගේ සීන් එකවත් බලන් ඇවිත් නැහැ. මුළු ස්ක්‍රිප්ට් එකම කියවලත් නැහැ. ස්ක්‍රිප්ට් එක ගැන අවබෝධයකුත් නැහැ. ඒ අතරත් ශෙහානි කහදවල, සංගීත් ප්‍රභූ වගේ දක්ෂ අයත් ඉන්නවා.

සමහර අධ්‍යක්ෂවරුත් මේවට වගකිව යුතුයි නේද?

චරිත අවබෝධය සමඟ ඉදිරියට යෑමයි වැදගත්. පිටපතෙහි අවබෝධය, චරිතය ගැන වගකීමකුත් අපි ළඟ තිබිය යුතුයි. සමහර අධ්‍යක්ෂවරුත් මේවට වගකිව යුතුයි. මොකද බාල, බොළ¼ද නිර්මාණ බිහි කිරීම මේ ක්ෂේත්‍රය තුළින් යමක් ඉගෙන ගන්න ඉන්න අයට කරන අසාධාරණයක්.

දැන් බිහි වන පිටපත් ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

බොහෝ නිර්මාණවල ලොකු බංකොලොත් භාවයක් දකිනවා. ඒ අතර හොඳ නිර්මාණ කිහිපයකුත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළට බිහිව තිබෙනවා.

මෙවැනි දේවල් නිසා වෙන්නේ වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, එච්.ඩී. ප්‍රේමරත්න මහතා වැනි දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට කරන අගෞරවයක්. එමෙන්ම සමහරක් සිනමා නිර්මාණවලට වඩා දැන් බිහිවෙන ටෙලි නිර්මාණ ඉහළින් තිබෙනවා.

අද බිහි වන නවක පිටපත් රචකයන් තුළත්

ඔබ කියන ගැටලුව තිබෙනවාද?

ඔව්. අන් රටවල බිහිවන හොඳ නිර්මාණ දිහා බලලාවත් අපේ රටේත් හොඳ පිටපත් රචකයෝ බිහිවිය යුතුයි කියන මතයේ තමයි මම නම් ඉන්නේ. නමුත් මගේ නම් ආකල්පය ඒ අතරත් හරිම දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු, පිටපත් රචකයෝ කිහිපදෙනෙක් දැන් බිහිවෙලා ඉන්නවා.

නළු නිළියන්ට අනුව පිටපත් ලියන කොටසකුත් ඒ අය අතර සිටිනවා නේද?

නිෂ්පාදකවරයා හෝ එවැනි වෙනත් කෙනෙක් සමඟ යම් ආර්ටිස්ට් කෙනෙක් සම්බන්ධකමක් ඇති කරගත්තොත් එම සම්බන්ධකම උඩ බිහිවෙන නිර්මාණය තිබෙනවා. ඒ වගේම අලුතින් ළමයෙක් එනකොටම ඩැහැගන්න බලනවා. ඔවුන්ව එකම නිර්මාණයකට කොටු කරගන්නවා. අදාළ නාළිකාව, ආයතනය මඟින් ගිවිසුමක් අස්සන් කොට රංගන ශිල්පියාව රඳවා ගන්නවා. එසේ රඳවා ගන්නා අයට කවදාවත් රඟපාන්න බැහැ. ඔවුන් දන්නේ පිටපතේ තියෙන දෙබස් ඔහේ කියන්න විතරයි. එහෙම අයගේ ගමන එතැනින් ඉවරයි. මෙවැනි බංකොලොත් නිර්මාණ නිසා හොඳ රංගන ශිල්පියෙක් බිහිවෙන්න තියෙන අවස්ථාව වැළකී යනවා.

අවස්ථා සම්බන්ධතාවක් නොමැතිව ක්ෂණිකව ලියැවෙන පිටපත්වලට අනුව නිපදවන නිර්මාණ ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

ඔව්. යම් නිර්මාණයක ප්‍රධාන, උප ප්‍රධාන රංගන ශිල්පියාට, ශිල්පිනියට අදාළ දිනයට එන්න බැරි වුණහොත් එතැන ඉන්න කෙනෙක්ට ගැළපෙන විධියට පිටපත ලියලා රඟපාවනවා. නිර්මාණයක ගලාගෙන යෑම, මුල මැද අග සම්බන්ධයක් ඔවුනට අවශ්‍ය වන්නේ නැහැ. ඒක තමයි ඔබ කියන කාරණාවට ප්‍රධානතම හේතුව.

අද ප්‍රවීණ කලාකරුවන්ට සුදුසු පිටපත් ලියන්නේ නැහැ. එයාලාගෙන් ප්‍රයෝජන ගන්නේත් නැහැ. හරසුන් මල් නිර්මාණ කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් සුනිල් ආරියරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, ප්‍රසන්න විතානගේ වැනි හොඳ අධ්‍යක්ෂවරු කිහිපදෙනකුත් තවම ඉන්නවා.

අප රට තුළ විදේශීය නිර්මාණ විකාශය කිරීම ගැන කතා කළොත්?

ඒවායින් ගන්න කිසිදෙයක් නැහැ. එවැනි නිර්මාණ විකාශය තුළින් අපේ නිර්මාණ මොට වෙනවා. අපේ ප්‍රේක්ෂකයනුත් ඒ දේවල්වලට ඇබ්බැහි වෙනවා.

දැන් ඉතින් ඕනෑම කෙනකුට නළුවෙක් නිළියෙක් වෙන්න පුළුවන්. සින්දු කියන අය, ඕනෑම දේකට පෙනී සිටින කෙනා රංගන ශිල්පියෙක්නේ. මේක ලොකු ඛේදවාචකයක්.

රංගන ශිල්පීන්ට නිසි පරිදි ගෙවීම් සිදුවෙනවද කියන එක ගැනත් ගැටලුවකුත් තියෙනවා නේද?

ඔව්. අපේ රට තුළ මේ පිළිබඳ නීතියක් බලධාරීන් නිර්මාණය කළ යුතුයි. ඉස්සර නිර්මාණවලට සැලැස්මක් තිබුණා. නමුත් දැන් රංගන ශිල්පීන්ව මරවමින් වැඩ ගන්නවා. මට එහෙම වැඩ කරන්න හරිම අමාරුයි. දැන් නිර්මාණවලට කතා කරන්නේත් දුරකථනයෙන්. අදාළ රංගන ශිල්පියාගේ දර්ශන ටික විතරක් Whatsapp තාක්ෂණයෙන් හෝ ඊමේල් කරනවා.

අද සිටින නවකයන් ප්‍රවීණයන්ට ගරු කිරීමක් කරන්නේ නැහැ කියා ඔබ සිතනවාද?

මම වැඩ කරපු තැන්වලදී නම් එහෙම අය මුණගැහිලා නැහැ. අලුත් ළමයි මට හරිම ආදරෙයි. ගරුසරුයි. වරදක් තිබෙනවා නම් ඒ ළමයින්ට විතරක් ‍ෙදාස් කියන්න බැහැ. එයාලව මෙහෙයවන ක්‍රමය තමයි වැරැදි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැදිවලට හැමෝටම බනින්නත් බැහැ. අපිත් ප්‍රවීණයෝ වුණේ ආධුනිකයෝ විධියට ඉඳලයි. අපි අතිනුත් වැරැදි වෙලා ඇති. ඒ නිසා අපිට කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ.

අද ඉන්න ඇතැම් නවක රංගන ශිල්පිනියන් රංගනයට පැමිණ ඉතා කෙටි කලකින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. එවැනි හැකියාවක් ක්ෂේත්‍රය තුළ තිබෙනවාද?

ඒ ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත් අපේ ආර්ථික පැත්ත හදාගන්න ඇවිත් සෑහෙන්න කාලයක් ගියා. අපි ක්ෂේත්‍රයට එනවිට වෘත්තීය මට්ටමින් හොඳ ගෙවීමක් තිබුණා. මම මගේ වටිනාකම තාම අඩු කරගෙන නැහැ. මට මගේ මුදල හරියාකාරව ලැබෙන්නේ නැති නිර්මාණවලට යන්නේ නැහැ. නමුත් යම් හොඳ නිර්මාණයක් ලැබුණොත් එයට සාධාරණයක් කරන්නත් පුළුවන්. අපි තවමත් ආර්ථික අතින් ස්ථාවරත්වයකට පත්ව නැහැ. අපි හරියට දුක් මහන්සි වෙලයි මෙතැනට ආවේ.

ඔබ පවසන ආකාරයට එක රැයින් එන අයගේ පැවැත්ම තාවකාලිකයි. එහෙම අයට කලාකරුවන් කියන්නත් බැහැ. මගේ ජීවිතයේ මම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ මගේ මහන්සියෙන්. අපේ කාලයේත් ඔබ කියන ආකාරයේ අය හිටියා. එනිසා අලුත් ළමයින්ට විතරක් ‍ෙදාස් පවරන්න බැහැ. ඒ අය අතරත් ඉතාම දක්ෂයෝ ඉන්නවා.

අද වන විට තරුණ රංගන ශිල්පිනියන් අතර පවතින සම සුදු කර ගැනීමේ උන්මාදය ගැන ඔබට මොකද හිතන්නේ?

සම සුදු කරගැනීම මම අනුමත කරන්නැහැ. සුදු නෙවෙයි, පැහැපත් සහ ග්ලෝවි කියන එකයි වැදගත්. ක්ෂේත්‍රයට ආව මුල් කාලෙට වඩා දැන් අපි කරන ප්‍රතිකාර එක්ක අපේ සමත් පැහැපත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ආර්ටිස්ලා අතර සුදුවටම ඉපදුණු අයත් ඉන්නවා. මේ සුදු වීමේ උන්මාදය නිසා ගොඩක් අය හිතන්නේ ඔවුනුත් සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහලා කියලා. එය උපතින්ම සුදු අයට කරන අසාධාරණයක්.

මගේ සැලෝන් එකෙත් Skin Whitening Treatment කරනවා. ඒවා සම පැහැපත් වන Treatment මිසක් සම බ්ලීච් කරන ඒවා නෙවෙයි.

අලුත් අය උත්සාහ කරන්නේ රංගන හැකියාවටත් වඩා සම බ්ලීච් කරගෙන ස්කීන් එකට එන්න විතරයි. ඒ අයට ඇක්ටිනුත් බැහැ. ඒකට ඉතින් අපේ මීඩියාත් වගකියන්න ඕන.

ඒ වගේම මේ වන විට බොහොමයක් රංගන ශිල්පිනියන් දේශපාලනයට යොමු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ මතය ඉදිරිපත් කළොත්?

මෙහෙමයි. ඒ දේ අදාළ පුද්ගලයාට සුදුසු නම් එහි වැරැද්දක් නැහැ. දේශපාලනය කියන්නේ ලෙහෙසි දෙයක් නෙවෙයි. වේදිකාවක නැඟලා කෑගැසුවට, ජනප්‍රියත්වය මත පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තාට දේශපාලකයෙක් වෙන්න බැහැ.

එසේ පාර්ලිමේන්තු වරම් හිමිකර ගත් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙක්ම සිටිනවා. ඔවුනගෙන් රටට සේවයක් සිදුවුණා යැයි ඔබ සිතනවාද?

රජයෙන් හෝ කිසිදු දේශපාලඥයෙක්ගෙන් කලාවට කිසිම සේවයක් වෙලා නැහැ. අඩුම තරමේ රංගන පාසලක්වත් ඉදිකරන්න ඔවුනට බැරි වුණා. මේ රට තුළ කලාව ගෙනියන්නේ කලාකරුවන් තුළම තිබෙන උත්සාහය සහ කැපවීම මඟින්. අන් සියල්ලට නීති පද්ධතියක් තිබුණත් කලාකරුවන්ගේ ගැටලුවලට කිසිදු නීති පද්ධතියක් නැහැ.

අද වන විට අඩු වයස් ගැබ් ගැනීම්, බාල වයස්කාර ගබ්සා කිරීම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ ගැන කතා කළොත්?

මම එය තරයේ හෙළා දකිනවා. හොඳ අධ්‍යාපනයක් ලබා යම් ස්ථාවරත්වයකට පත් වූ පසු ජීවිතයේ හරිම කාලය පැමිණෙනවා. යම් දරුවෙක් අමතර පන්ති යන මුවාවෙන් මවුපියන්ට හොරෙන් යම් වැරද්දක් කරනවා නම් එහි ආදීනව ඔවුනටම ලැබෙනවා. මොළය පාවිච්චි කොට හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් ඉදිරියේදී හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ඒ අතර මත්පැන්, මත්ද්‍රව්‍ය මෙන්ම නව තාක්ෂණය නිසාත් දරුවන් නොමඟ ගොස් තිබෙනවා නේද?

ඔව්. අවුරුදු 18ට අඩු ගොඩක් දරුවන් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. ළමයා කරන දේවල් අම්මා තාත්තාට හොයලා බලන්න බැරි නම් වැඩක් නැහැ. අන්තර්ජාලය ඇතුළු තාක්ෂණය හේතුවෙන් අද සමාජය ජරාජීර්ණ වී අවසන්. එනිසා දරුවකුට කුඩා වයසේදීම ෆෝන් එකක් ලබානොදෙන්න. තාක්ෂණය සමඟ අධ්‍යාපන කටයුතු කරන නිසා දරුවන්ව තම ඇස් දෙක වගේ බලාගැනීමට මවුපියන්ට විශාල වගකීමක් පැවරිලා තියෙනවා.

තරුණියක් විවාහයට සුදුසු සහකරුවෙක් තෝරාගැනීමේදී මොනවගේ නිර්ණායකද සලකා බැලිය යුතු?

එයට උපදේශයක් දෙන්න බැරි තරමට මටත් ජීවිතයේදී වැරැද්දක් වෙලා තිබෙනවා. මම ආදරයේදී බොළඳ වෙලා අනිකුත් කිසිවක් ගැන නොසිතා විවාහ වුණු කෙනෙක්.

ඒ කියන්නේ හරි කෙනාව ඔබටත් තෝරා ගැනීමට අපහසු වුණා කියන එකද?

ඇත්තටම මම හරි කෙනා තෝරා ගත්තේ නැහැ. නමුත් මම ඉතාම සුන්දර ආදරයක් ලැබුවා. ඒ ලබන බොළඳ ආදරය විවාහයකට සුදුසු නැහැ. මට යම් අසාධාරණයක් සිදු වුණත් මම ඔහුට ‍ෙදාස් පවරන්නේත් නැහැ. මොකද මම ආදරය කරන කෙනා විවාහ වීමට සුදුසුම කෙනාද කියලා මම තේරුම් ගත යුතුයි. විවාහයකට ඇතුළත් විය යුත්තේ ඉතා හොඳ අවබෝධයකින් පසුවයි.

පවුලකට බිරියකගේ සහ මවකගේ භූමිකාව කොතරම් වැදගත්ද?

එහි වටිනාකමන් කියන්න හරිම අපහසුයි. ආසියානු කාන්තාව ඉහළ තැනක සිටිනවා. අපේ රට දරුවන්ව අත් නොහැර දරුවන් වෙනුවෙන් මැරෙන්න පුළුවන් අම්මලා ඉන්න රටක්. ගැහැනියකගේ භූමිකාව හරිම පුළුල්. ගැහැනියකට තමන්ගේ හිතේ හයිය සහ දෑතේ හයිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. වැරැදි ක්‍රමෝපායන්වලින් මුදල් හම්බකරනවාට වඩා දුක් මහන්සියෙන් හම්බකරලා කන බත් කට හරිම වටිනවා. ගැහැනිය කියන්නේ වටින ආඩම්බරයෙන් ජීවත් විය හැකි චරිතයක්. කිසිවිටෙක කිසිවකුට විකිණෙන්න එපා.

සමාජ මාධ්‍ය ජාලා තුළ සිදුවන මවාපෑම සහ ඒ තුළ පවුල් ජීවිත ගත කිරීම ෆැෂන් එකක් වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?

තමන්ගේ ඡායාරූපයක් දෙකක් සමාජ මාධ්‍ය ජාලා තුළ පළකිරීම වරදක් නැහැ. මමත් ෆේස්බුක් ගිණුම තුළ ඡායාරූප පළකරනවා. තමන්ගේ ජීවිතවල සැබෑ ස්වරූපයෙන් ඔබ්බට ගොස් මවාපෑම් කිරීම බොරු දෙයක්.

ඔබ ඒක පාර්ශ්වීය මවක්්. අසාධාරණයන්ට සහ මානසික පීඩාවන්ට පත් වූ කාන්තාවන් වෙනුවෙන් කතා කරන තැනැත්තියක් වශයෙන් තරුණ දූවරු සිටින මවුරුන්ට ලබාදීමට යම් පණිවුඩයක් තිබෙනවාද?

ඔව්. සෑම මවක්ම පළමුවත් – අවසානයටත් දුවගේ ආරක්ෂාව සිතිය යුතුමයි. සිංගල් මදර් කෙනෙක්ට අපේ වගේ රටක ජීවත් වෙන්න හරි අමාරුයි. නමුත් ගැහැනිය ඉතාම ධෛර්යසම්පන්නයි. එනිසා මනසින්, හදවතින් නොවැටී උත්සාහයෙන් ඉස්සරහට යා යුතුයි.

මවුපිය ඝට්ටනයෙන් දරුවන් මානසිකව පහළට වැටෙනවා. එනිසා දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා. කතා කරලා හොඳම තීරණය ගන්න. බැරිනම් සියලු ජීවිත වෙනුවෙන් එක් තීරණයකට එන්න. නමුත් වඩාත් සුදුසු වන්නේ දික්කසාද නොවී දුරදිග බලා එකතු වීමයි.

ගැහැනියකට දික්කසාදය මූසල දෙයක්. එවිට ජීවිතය විඳින්න හරිම අමාරුයි. පිරිමියෙක් වගේ සියල්ල තනියම කරගන්න වෙනවා. එමෙන්ම තනිවුණු ගැහැනියකට පහරදෙන්නෙත් තවත් ගැහැනියක්මයි. එය ඉතා පහත් ක්‍රියාවක්. එනිසා දික්කසාද වී ජීවිතය විඳවනවාට වඩා තමාට හරියන දෙවැනි කසාදයක් කරගත්තාට වරදක් නැහැ.

දික්කසාදය ගැහැනිකට මූසල දෙයක් කියා ඔබ පැවැසීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

ගැහැනියක් කසාද බඳින්න පෝරුවට නඟින්නේ නැවත දික්කසාද වෙන්න නෙවෙයි. නමුත් එවැනි දෙයක් ගැහැනියකට සිදුවුණු පසු දැනෙන වේදනාව මට අදටත් දැනෙනවා. සමහර විට දරුවන් කිහිපදෙනෙක් එක්ක දික්සාද වෙන මවකට මම කියන පාළුව තනිකම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තනි දරුවෙක් සමඟ තනි වුණාම ඔය කියන තනිකම, මූසලකම හොඳින්ම දැනෙන්න පටන් ගන්නවා. නමුත් මම නම් කවදාවත් ඔහු වෙනුවෙන් දුක් වෙන්නේ නැහැ. එය මම ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණයක් ලෙස තමයි දකින්නේ.

දික්කසාද වූ කාන්තාවන් අව වරප්‍රසාදිතයි කියා ඔබ සිතනවාද?

එහෙම මතයක් ඉස්සර තිබුණා. නමුත් දැන් එහෙම නම් එහෙම නැහැ. අලුත් පරපුර ඕපාදූප සොයන්නේ නැහැ. එවැනි ඕපාදූප හොයමින් අන් අයට දුෂ්ටකම් කරන්නේ යම්කිසි වයස් සීමාවක සිටින පිරිසක් විතරයි.

අද වන විට ගෘහස්ථ හිංසනය, මානසික අවපීඩනය හේතුවෙන් බොහෝ කාන්තාවන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවද කියන්න තිබෙන්නේ?

මානසික අවපීඩන සහ එවැනි කාන්තාවන් පිළිබඳව ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන “සිත ගාව’’ වැඩසටහන තුළ අපි කතා කරනවා. මානසික අවපීඩනයෙන් මිදීමට අද ගැන නොසිතා මොළෙන් වැඩ කළ යුතුයි. කිසිම දේකට රැවටෙන්න හොඳ නැහැ. සෑම දෙයක් දිහාම ඉතාම ප්‍රඥාවෙන් බැලිය යුතුයි.

කාන්තා හිංසනයත් ගම් හා නගර මට්ටමින් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. දරිද්‍රතාව, විරැකියාව සහ තමන්ට තමන්ව පාලනය කර ගැනීමට නොහැකිවීම, මත්පැන්, මත්ද්‍රව්‍ය හේතුවෙන් පිරිමියා තුළ මානසික විකෘතිතා ඇතිවෙන්න පුළුවන්.

මේ සඳහා ගත යුතු පිළියම් වශයෙන් ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

මම කියන්නේ මේ රටේ පාලකයන්ට මේ තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන්. මොකද ඔවුන් ජීවත් වෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්. පාලකයන්ට මේ රට ගොඩනඟන්න වුවමනාවක් නැති නම් මේ රටේ ජීවත් වෙන මිනිස්සුත් ඉදිරියේදී මීට වඩා දරුණු තිරිසන් සතුන්ගේ මට්ටමට පත් වෙන්න පුළුවන්.

කාන්තා භූමිකාව සමාජය තුළ නිරූපණය විය යුත්තේ කොයි විධියටද?

මාවම උදාහරණයට ගන්න. එදා මම අවුරුද්දක් වයසැති දරුවෙක් එක්ක තනි වුණා. මේ ලෝකේ එහෙම තනිවෙන කාන්තාවක් ගොඩක් ඉන්නවා. ඔවුන්ව දාලා යන පුරුෂයාට වඩා තනිවුණු ගැහැනියට සමාජය තුළදී ඇඟිල්ල දිගු වනවා වැඩියි.

හැබැයි එහි දෙපැත්තම තියෙනවා. දරුවන් දමා යන මවුවරුනුත් ඉන්නවා. අද සමාජය හරිම පහත් තැනකට වැටිලා අවසන්. සමාජයට මගේ ජීවිතය තුළින් යම් පණිවුඩයක් දෙනවා නම්, ගැහැනියක්, මවක් හැටියට මම තනිවුණා කියලා හඬමින් සිටියේ නැහැ. විවාහ වෙන විටත් මම ආර්ථික අතිනුත් ශක්තිමත්. සෑම ගැහැනියක් තුළම ශක්තිමත් කෙනෙක් සිටිනවා. මෙවැනි මොහොතක ඒ ශක්තිමත් බව ප්‍රයෝජනයට ගත යුතුයි. අපිව දමා ගිය කෙනෙක් පිළිබඳව හඬා වැටිය යුතු නැහැ.

කාන්තාවක් වශයෙන් ඔබ තුළ තිබෙන්නේ මොනවගේ දැක්මක්ද?

ශක්තිය – ධෛර්යය තිබේ නම් කරන්න බැරි දෙයක් නැහැ. කිසිවිටෙකත් අන් අයට තමාව පාගන්න ඉඩ නොදෙන්න. මම සංවේදී කෙනෙක්. බොළඳකම නිසා මගේ ජීවිතය තුළ කඩාගෙන වැටුණු තැන් බොහොමයි. බොළඳකම ඇති විට ගැහැනියකගේ ජීවිතය ගොඩක් ලස්සනයි. මට අවශ්‍ය වන්නේ මගෙ දරුවට, මේ රටට මුළු සමාජයටම සේවයක් කරන වැඩදායි කාන්තාවක් වීමටයි.

ඉදිරි කලා කටයුතු ගැන මතක් කළොත්?

සුනිල් ආරියරත්නයන්ගේ අලුත් චිත්‍රපටයක වැඩ අවසන් කළා. එහි හඬ කැවීම් කටයුතුත් කොරෝනා අතරතුරම අවසන් වුණා. අලුත් ළමා නිර්මාණයකට සහ ගිරවි, අස්වැන්න ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. තවත් නව නිර්මාණ කිහිපයකම කොටස් කිහිපයක් පමණක් රූගත කළා. ඒවා ඉදිරියේදී දැකගන්න පුළුවන්.

ඔබගේ දුව ගැනත් කියමු?

දුව ස්වේතා. ඇය පාසල් ගියේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. ජීව විද්‍යා විෂය ධාරාව ඉංගී්‍රසි මාධ්‍යයෙන් හදාරා දැනට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දිනූෂා මනෝරි නිශ්ශංක
Mawbima.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button