විශේෂාංග

පත්තර වල පිංතූර යද්දි මට හරි ආසයි

කලා ක්ෂේත්‍රයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගත් ආදරණීය ළමා රංගන ශිල්පිනියක් මෙවර සඳැල්ල කතා බහකට එකතු කර ගන්න හිතුවා. ඇය නමින් සංයුමී නිම්නාදි

සංයුමී කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ සිදූ නාට්‍යයෙන්. සිදූ නාට්‍යයට එකතුවෙන්නෙ කොහොමද? 

සිදූ නාට්‍යයට ගොඩක් කාලෙක ඉඳලා ගුංගි චරිතෙට බබෙක් හොයලා තිබුණා. ඉතින් හොයා ගන්න බැරිම වෙලා තියෙද්දි මගේ පුංචි වැඩ කරන තැනදී මේ ගැන දැන ගන්න ලැබිලා මම ගැන කියලා තියෙනවා. ඊට පස්සෙ මගෙ ෆොටෝ එවන්න කියලා තිබුණ සිදූ නාට්‍යයේ නිෂ්පාදක මාමා. ඊට පස්සෙ තමයි මාව ෆෝටෝවලින් දැකලා ඒ හාමුදුරුවන්ගෙ චරිතෙටයි, අම්මගෙ මූණටයි ගැළපෙනවා කියලා මාව තෝරගෙන තිබුණෙ.

මේ සංයුමීගෙ පළමු රංගනයද? 

ඔව්.

ඉතින් කැමරාවට මුහුණදෙද්දි බයක් හිතුණෙ නැද්ද? 

අම්මෝ බය වුණා. දවස් තුන හතරක් යනකම් මම මොනවත් කළේ නැහැ. ඇඬුවා. ඒ මුල්ම රඟපෑම කරද්දි මට අවුරුදු තුන හමාරක් වගේ නෙ. ඉතින් මුලින් ඒ වටේ ඉන්න අයයි, කැමරා එහෙම දකිද්දි මට ගොඩක් බය හිතුණා. ඒත් ටික දවසක් ගියාම මට ලොකු බයක් දැනුනෙ නැහැ. කියලා දෙන දේ කළා. මම පොඩි කාලෙ ඉඳන් ඒ නාට්‍යය බැලුවා. ඒකෙ ඉන්න මාමලා, නැන්දලාට මම ගොඩක් ආදරෙයි. ඉතින් ඒ මාමලා, නැන්දලාත් ගොඩක් දේවල් මට කියලා දුන්නා. ඒ හින්දා බයක් නැතිව දිගටම රඟපෑවා.

දැන් කැමරාවට බය නැද්ද? 

නැහැ. දැන් කියලා දෙන දේ කරනවා. රඟපාන්නත් දැන් ගොඩක් ආසයි. ෂූටින් දවසට උදේම නැගිටිනවා. ලෑස්තිවෙලා යන්න.

සංයුමීට දැන් වයස කීයද? 

අවුරුදු 7යි.

චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා නේද? 

ඔව්. ‘U turn’ චිත්‍රපටයට තමයි සම්බන්ධ වුණේ. සිදූ නාට්‍යයේ මගෙ ලොකු අම්මාට රඟපාන ඇන්ටි තමයි මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරලා දුන්නෙ. ඒකෙ තිර පරීක්ෂණයට ගියා. ඒකෙන් මාව තෝරගත්තා.

‘U turn’ ඒකේ සංයුමීගෙ චරිතය මොකද්ද? 

‘U turn’ චිත්‍රපටයෙ හිටපු බබා තමයි මම, ඒ බබා නැති වුණ බබෙක්. ඒ මැරුණු බබාගෙ චරිතය මම කළේ. හොල්මන් චරිතයක්.

ඒ චිත්‍රපටය රූගත කරද්දි අමතක නොවන සිදුවීම් තියෙනවද? 

රූගත කිරීම් ගොඩක් තිබුණෙ පාන්දර. ඉතින් ඒවා කරද්දි මම නැගිටලා හිටියා. නින්ද ගියේ නැහැ. ඒ චිත්‍රපටියෙ රඟපාපු නැන්දලා මාමලාටත් පුදුමයි මම ඒ තරම් උදේ ඉඳන් නැගිටගෙන හිටපු එක ගැන. ඒ හැමෝම ඒ ගැන කතා වුණා.

ඒ චිත්‍රපටියෙ රඟපාපු අයගෙන් වැඩිපුරම කැමැති කාටද? 

චිත්‍රපටියෙ බිමල් මාමා, තුමිදු මාමා, හේමාල් මාමා එහෙම ගොඩක් හොඳයි. එයාලා ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැමෝම මට ගොඩක් ආදරෙයි. එතකොට මගෙ අම්මට රඟපාපු ගම්‍යා ඇන්ටිටත් ගොඩක් ආදරෙයි.

සංයුමීව ලොකු තිරයකින් දකිද්දි මොකද හිතුණෙ? 

ඒ චිත්‍රපටය තිරගත වෙන කාලෙ බස්වලත් මගේ ෆොටෝ ගහලා තිබුණා. පෝස්ටර්වල මගෙ ෆොටෝ තිබුණා. ඉතින් ඒවා දකිද්දිත් මට ගොඩක් ආසයි. ගොඩක් දෙනෙක් මාව අඳුරගෙන කතා කළා. මමත් චිත්‍රපටය දකිද්දි පත්තරවල එහෙම මාව දකිද්දි මට ආසයි.

ඉතින් මේ දවස්වල මහපොළොව නාට්‍යයෙත් ඉන්නවා නේද? 

ඔව් බිමල් මාමාගෙ දුවට තමයි රඟපෑවෙ. සපුමලී කියන චරිතය.

මහපොළොව ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද? 

මහ පොළාව නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නෙමෙයි මම කරන්නෙ. ප්‍රධාන චරිතයට තෝරන්න තිර පරීක්ෂණයට එන්න කිව්වම මට ඒ දවසෙ යන්න බැරිවුණා. ඒ මගෙ ඉස්සරහ දත් දෙක වැටුණා. ඉතින් ඒ හින්දා මට වෙනත් චරිතයක් ලැබුණා.

ටෙලි නාට්‍යවලට අමතරව වෙළෙඳ දැන්වීම් එහෙමත් කළා නේද? 

ඔව් වෙළෙඳ දැන්වීම් තුන හතරකට වගේ හිටියා.

දිගටම රඟපාන්න කැමැති ? 

ඉස්කෝලෙ වැඩත් කරන්න ඕනැනෙ. ඒවත් කරගෙන රඟපාන්නත් ආසයි. ඒ වුණාට ලොකු වුණාම නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි ආසම.

ඉස්කෝලෙ යාළුවො මොකද කියන්නෙ රංගනය ගැන? 

සිඳූ බලන යාළුවො ගොඩක් ඉන්නවා. ඉතින් ඉස්කෝලෙ ගොඩක් දෙනෙක් කියනවා රඟපානවා ලස්සනයි එහෙම කියලා. ස්කෝලෙ අක්කලා එහෙම මාව බලන්න එනවා. නිතරම මට ගොඩක් ආදරෙයි.

කොහෙද ඉස්කෝලෙ යන්නෙ? 

කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයට. 2 වසරෙ ඉගෙන ගන්නෙ

ධනු විජේරත්න

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button