ගොසිප් පුවත්තරු හුට පට

නාඩගම්කාරයෝහි සරාගේ චරිතයෙන් භාගයක්ම සජිතගේ ඇත්ත ජීවිතේලු

‘සජිත අනුත්තර ඇන්තනි’ කිව්වාම ආයෙ අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතුම නැහැ. රට සුපතල කලා පවුලක තවත් එක් පුරුකක් වන, සජිත ගැන මේ දිනවල රටම කතා වන්නේ සද්ධාමංගල සුරියබණ්ඩාරගේ රචනයෙන් ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ නාඩගම්කාරයෝ නිසයි. එහි ‘සරා’ නමින් චරිතයකට දායකව සිටින සජිත එම චරිතයට ලබා දෙන අපූරු ජීවය නිසාම මෙලෙසින් රටම ඔහු ගැන කතා බහ වෙන මොහොතක මේ කතා බහ ඔහු සමගයි.

නාඩගම්කාරයෝ ‘සරා’ වෙච්ච ඔබ වඩා කැමති සජිත කියනවටද? අනුන්තර කියනවටද? 

ඒ නම් දෙකම මගේනෙ. සජිත කිව්වත්, අනුන්තර කිව්වත්, ඇන්තනි කිව්වත්, ඒ නම මගේනෙ. ඒ නිසා ඔය කොයි නම කිව්වත් එකයි.

වැඩි දෙනෙක් කතා කරන්නේ ‘සජිත’ කියලද? අනුන්තර කියලද? 

‘අනුත්තර’ කියලා මට කතා කරන පිරිසකුත් ඉන්නවා. සජිත කියන්නෙ පළමුව යෙදී ඇති නම නිසාත් බොහොම කෙටි නිසාත්, වැඩි දෙනෙත් ‘සජිත’ කියලා කියනවා. ‘අනුත්තර’ කියන නම ටිකක් දුර්ලභ නාමයක්. ඒ වගේ නමක් මට ඇහිලා තියෙනවත් අඩුයි.

කොහොම වුනත් මේ දිනවල ‘සරා’නෙ? ඇත්තටම මේ විදියට ‘සරා’ වුණේ කොහොමද? 

රංගන ශිල්පියකු ලෙස මේ චරිතය එක්තරා විදියකට මගේ හැරවුම් ලක්ෂ්‍යයක් නැත්නම් ටර්නින් පොයින්ට් එකක්. රංගනයේදී වැඩිපුර මගේ ඉදිරිපත්වීමේ කැමැත්ත තියෙන්නේ චිත්‍රපට මාධ්‍යයට. රංගනය පැත්තෙන් මගේ හීනය වුණේ කවදාහරි සිනමා නළුවකු වනවාය කියන එකයි. රංගනයට ආවෙම සිනමා නිර්මාණයකින්. සූරිය අරණේ සිට කුරුළු පිහාටු, අබා දක්වා ඒ විදියට සිනමා රංගනයෙන් ආවත් ටික කාලයක් මම පෙනෙන්නට හිටියෙ නැහැ. ඒකට හේතුව අධ්‍යාපන වැඩ කටයුතුයි. නාට්‍ය හා රංග කලාව වෙතින් සරසවි අධ්‍යාපනය ලබන අතරේ නර්තනය හා ගැයුමට අමතරව මම මාව සූදානම් කළේ රංගනය පැත්තෙන් සිනමා නළුවකු වීමටයි.

මට ඒ හීනයට සමීප වුණා. කැම්පස් ජීවිතයෙන් පසුව මම හොඳ චිත්‍රපට හතරක රඟපාන්න ලැබුණා. ප්‍රසන්න විතානගේ මහතාගේ ‘ගාඩි’ අපේ අප්පච්චිගේ ‘එකගෙයි සොකරි’, චන්න දේශප්‍රිය මාමගෙ ‘දුස්රා’, ශෂික හේරත්ගෙ ‘සිහින සමීකරණ’ එම චිත්‍රපට හතරයි. කොරෝනා වසංගත තත්ත්වය නොවෙන්නට මේ චිත්‍රපට මේ වනවිට තිරගත කෙරිලා ඉවරයි. නමුත් ඉදිරියට කල් ගියේ මේ වසංගත තත්ත්වය නිසයි. මේ ස්වභාවය එක්ක චිත්‍රපටවලට පමණක් වැඩිපුර කැමැත්තෙන් සිටි මම කොටස් 50කට එහා ටෙලිවල රඟපාන්නෙ නැහැ කියලා හිතාගෙන හිටියෙ.

ඒත් කාලය ගත වෙන එක මට නවත්වන්න බැහැ. කැම්පස් ගිහිල්ලා ඉගෙන ගෙන පුරුදු පුහුණු වෙච්ච එකේ ඇයි මම නිකම් ඉන්නෙ කියලා හිතාගෙන ඉන්නකොට තමයි සිවගුරුනාදන් මහතා මට මේ නාට්‍යයට කතා කළේ. මම රඟපෑව පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළෙත් සිවගුරුනාදන් මහතා. ඒකත් විශේෂත්වයක් වගේම පිටපත සද්ධාමංගල මහතා ලියා තිබුණෙ එක දවසකට ෂූට් කරන විදියට නෙවෙයි. මුළු පිටපත වගේම ලියා තිබුණා. ඒ විදියට පිටපත් නොලියවෙන කාලයක. මට ඒ සියල්ල ගැන ආසාවක් ඇතිවුණේ. අනෙක පිටපත ලියද්දීම මාව ‘සරා’ගෙ චරිතයට නම් කර තිබුණා.

ඇත්ත ජීවිතේ සරා වගේ චරිතයක් සජිතට හමුවෙලා නැද්ද? 

මට මෙහෙම චරිතයක් හම්බ වුණාමයි. මේ සරා කියන චරිතයේ අඩක් විතරයි මට අමුතුවෙන් කරන්න තිබුණෙ. ඉතිරි භාගය සජිතම තමයි. සරා කසිප්පු විකුණුවාට, ගහගන්න ගියාට කතා කරන විදිය සැර වුණාට සරා ඇතුළෙ ගීත ගායනයට කැමති රංගනයට කැමති පොඩි සෞන්දර්යාත්මක කොල්ලෙකුත් ඉන්නවා. අන්න ඒ නිසා ඒ කොටස මට අමුතු නැහැ.

කවදාහරි මට මේ වගේ චරිතයක් ලැබෙනකල් බලාගෙන හිටියෙ. රාගම පොඩිවීකුඹුර අප්පච්චිගෙ ගමේදී විවිධ චරිත මම දැකලා තියෙනවා. සමහරදාට ඒ දවස්වල ඒ චරිත ගෙදර අය ඉස්සරහා රඟපාලා පෙන්නලත් තියෙනවා. පොඩි කාලයේ ඉඳලා ඒ විදියට දැකපු චරිත වෙතින් උකහා ගත් දේ තියෙනවා. ඒ වගේම අප්පච්චි ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ තුම්මුල්ලේ පද්මේ ලෙස රඟපෑ චරිතයේ ඒ ඇවිදින විලාසය එහෙම මගේ හිතේ මැවී තිබුණා. ඒ නිසා ‘සරා’ට අනුගත වෙද්දී ඒ සියල්ලෙහි ආභාෂයන් ගත් බව කියන්න පුළුවනි.

නාඩගම්කාරයෝ නරඹන බොහෝ දෙනා කියන්නෙ ජැක්සන් ඇන්තනිගේ තුරුණු කාලයේ රංගනය ඔබ වෙතින් දැක ගත්ත කියලයි. ඒ ප්‍රතිචාරවලට සජිත කැමතිද? 

මෙහෙමයි. අප්පච්චි තමයි මගේ හොඳම ප්‍රේක්ෂකයා. හැබැයි නිතරම එයාගෙ මුවින් පිටවෙන්නෙ මෙන්න මෙතැන මේ විදියට හදා ගත්තොත් හොඳයි වගේ උපදේශ. නිවැරදි මාර්ගය තෝරා ගන්න මාර්ගෝපදේශකයෙක් වගෙයි මට මගේ අප්පච්චි. පසුගිය කාලයේදී මම කළ වැඩවලදී අප්පච්චිගෙන් මම ඇහුවෙ හොඳ. මේ ළඟකදී මට කතා කරලා පුතා අපේ රටේ ඉන්න බොහෝ කලාකරුවන්ට නැති වරප්‍රසාදයක් මට පුතා නිසා ලැබුණා. ඒකට මම ඔයාට ස්තුතිවන්ත වෙනවා කිව්වා. මම අප්පච්චි ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා.

ආපසු අතීතයට ගිහිල්ලා තමන්ගේ තරුණ කාලය දිහා බලා ඉන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. හැබැයි මට ඔයාගෙන් ඒක පෙනෙනවා. අද මට දැනෙන්නෙ මම තරුණ වුණා වගේ කියලයි ඔයාට බොහොම ස්තුතියි.
අප්පච්චි එහෙම කිව්වාම මට ඇතිවුණේ ලොකු සතුටක්. හැබැයි මම ඒ විදියට රඟපාන්නෙ හිතලා නෙවෙයි. එය ජානමය ආභාෂය වෙන්න ඇති. කොහොම වුණත් අප්පච්චිගෙන් ලැබුණු ඒ ප්‍රතිචාරය තාත්තෙකුගෙන් පුතෙකුට ලැබුණු ලොකුම තිළිණයක් වගේම බොහොම සුන්දර අවස්ථාවක්.

‘සරා’ට ඔබගෙ බිරිඳ ‘බුවි’ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

සාමාන්‍යයෙන් මගේ ඕනෑම නිර්මාණයක් හොඳ හෝ නරක වේවා, මුල සිට අග දක්වා බලා සිටින්නේ මගේ බිරිඳ. එයා හොඳ විවේචිකාවක්. සමහර නිර්මාණවලදී අඩුපාඩු තිබුණා නම් ඒක එයාට හොඳට දැනෙනවා. අකමැතිනම් අකමැති කියලත් කියනවා. හැබැයි ‘බුවි’ නාඩගම්කාරයෝ නම් එක කොටසක් නෑර නරඹනවා. එයාට අපේ පවුලේ අය විහිළුවට වගේ මොනවා හරි කිව්වොත් එහෙම ‘මේ….මේ….මේ මං සරාගේ වයිෆ් හරි!’ කියලා එයා කියනවා. ඒ තරමට ඒ නාට්‍යයට එයා ආසයි. ඒ වගේම සරාගෙයි පාඨලීගෙයි ආදර කතාව තවම ගලා ගියේ නැහැනේ. ඒක පටන් ගත්තාමත් සරාගෙ තියෙන ඒ මුරණ්ඩුකම නැතිකර ගන්න එපා, මිනිස්සු ආසාවෙන කෑල්ල තියෙන්නෙ එතැන කියලා තමයි ‘බුවි’ කියන්නේ. එයා මගේ ජීවිතේ මට ඔහොම කේන්ති යනවා දැකලා තියෙන්නේ නාට්‍යයෙන් විතරයි.

මේ විදියට දෙස් විදෙස් මහා ප්‍රේක්ෂකාගාරයක ආදරය දිනා සිටි මොහොතක සජිතට කොවිඩ් ආසාදනය වුණා. ඒ බව දැන ගත්තාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ? 

ස්වභාවධර්මය විසින් අපට දෙන දේ බාරගත යුතුමයි. වෙන කරන්න දෙයක් නැහැ. වසංගතයක් ලෝකයට එනවාය කියන එක දෙවියන් වහන්සේගේ තීරණයක් නම් මේ ලෝකය කොච්චර දියුණුයි කියලා හිතුවත් ඒක එහෙම නැහැ කියලා ස්වභාවධර්මය විසින් අපට කියා දුන් තවත් මොහොතක්. හැබැයි ලෝකයේ කොහොම වුණත් අපේ රටේ මේ වසංගතය බාර ගත්තෙ හරියට මේක සමාජ රෝගයක්, ඒඩ්ස් වගේ තත්ත්වයක් කියලා.

ඒ නිසා තමයි සමහර අය මේ රෝගය වැළඳුනාම ඒක වහං කරන්න උත්සාහ ගන්නෙ. ඒ නිසා රජයේ නිලධාරීන්ට කාව කාවද ආශ්‍රය කළේ කියලා ආශ්‍රිතයන් සොයා යන්න වෙනමම මෙහෙයුමක් කරන්න සිදුවුණා. මේ ලෙඩේ ගැන නොදන්නාකම නිසා හෝ එක්කෝ සමාජයෙන් කොන්වේවිය යන හේතුව නිසා හෝ සමහර අය එහෙම කරන්න ඇති. අපේ රටේ මේ වසංගතය බොහෝ විට පැතිරීමට හේතුවත් ඔය විදියට සැඟවීම, වසන් කිරීම නිසා කියලයි මට හිතෙන්නෙ.

සජිත කොහොමද කොවිඩ් ආසාදිතයෙක් කියලා මුලින්ම දැන ගත්තේ. 

ශරීරයට පුංචි උණක්වත් ඇති වුණේ නැහැ. ඒත් මට පුංචි සැකයක් ආවා. නහය බ්ලොක් වීමක් වගේ මට දැනුණෙ. එතකොට මම කළේ බිරිඳයි මායි ගිහින් පීසීආර් (PCR) පරීක්ෂණයක් කළ එකයි. ඒක පොසිට්ව් වෙච්ච නිසා මුලින්ම මම කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන ප්‍රචාරය කළ එකයි. එයින් මට කියන්න ඕනෑ වුණේ මාව ඒ දින ටිකේ ඇසුරු කළ අය දැනුම්වත් කරන්නයි. බය නැතුව ඒ ගැන සමාජයට කියලා ඉන්පස්සේ රජයේ සෞඛ්‍ය අංශයේ නීති රීතිවලට අනුව අපි දෙන්නා නිරෝධායනය වෙනවා. මේක ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී වන තරමට අපට මේ වසංගතයෙන් ඈත් වෙන්න පුළුවනි.

අද බලන්න, මේකට එන්නතක් පවා ඇවිත්. ඒත් අපේ රටේ ඒක බෙදා ගන්න බැරිව, විද ගන්න බැරිව කට්ටිය රණ්ඩු කර ගන්න හැටි, ගහමරා ගන්න හැටි, පාලකයෝ එයාලගෙ බලතල පාවිච්චි කරලා ඒවා ඒ පැත්තට ගන්න හැටි දැක්කාම, හරි දුකක් ඇති වෙන්නෙ. කෝ අපේ රටේ අපට උගන්වපු සාරධර්ම? වැඩිහිටියන්ට ගරු කරන්න කියන එක කෝ?. මේ වැඩේදී ඉදිරිපෙළ සිටින අයට ගරු කරන්න කියන එක හරි අපි පිළිපදින්න ඕනෑ නේද?

මට ආදරය කරන සියලු දෙනාට මම කියන්නෙ අපි ජීවත් වුණේ කවදාවත් කොවිඩ් ඒවි කියලා හිතාගෙන නෙවෙයිනෙ. හැබැයි තම තමන්ගෙ ආගම්වලින් උගන්වපු සාරධර්ම තියෙනවනෙ. ඒ තමයි දේව ධර්මය, එනම් පරාර්ථකාමී වෙන්න කියන එක. ඒක ආවේ කොවිඩ් එන්න පෙරයි. අන්න ඒ පරාර්ථකාමිත්වය මේ වැඩේදී පාවිච්චි කරන්න. එතකොට මේ වසංගතය මෙච්චර පැතිරෙන එකක් නැහැ. එහෙම වුණොත් ඉක්මණින්ම ස්වභාවධර්මය විසින්ම අපට යහපතක් උදා කර දේවි.

සඳුන් ගමගේ

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button