ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අදටත් මට ප්‍රේක්‍ෂකයන් කතා කරන්නේ ‘අමා’ කියලා – අමා කියන්නේ මගේ ජීවිතය තුළ අමතක නොවන චරිතයක්

කලකට පෙර ප්‍රේක්‍ෂකයන් අතර ඉතාම ජනප්‍රියත්වයට පත්වූ අමා ටෙලි නාට්‍යයෙහි අමාගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්‍ෂක ආදරයට පාත්‍ර වූ ඇය ශෙරිල් ඩෙකර් නම් වන්නීය. කලා ක්‍ෂේත්‍රය තුළ ඇයගේ රුව නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයට ලැබෙන රසික ආදරයෙහි නම් අඩුවක් නැහැ. පසුගිය කාලයේදී පුංචි තිරය තුළින් ඇයව එතරම් දක්නට නොලැබුණත් පෙර පරිදිම නැවතත් කලා කටයුතුවල නිරත වීමට සූදානම් වන ඇයගේ නවතම තොරතුරු දැන කියා ගැනීමට හදගැස්ම අපි ඇයට කතා කළා.

කොහොමද ඉතින් ජීවිතය?

සාමාන්‍ය ආකාරයට සැහැල්ලුවෙන් සතුටින් ගත කරනවා.

ශෙරිල් කියන්නේ රංගන ක්‍ෂේත්‍රය තුළ තෝරා බේරා ගැනීමකින් යුතුව වැඩ කරන කෙනෙක්ද?

මම මේ ක්‍ෂේත්‍රයට පැමිණි දින සිටම මට ගැළපෙන දේවල් තෝරා බේරාගෙන වැඩ කරන්න ආස කෙනෙක්.

‘අමා’ කියන්නේ ඔබගේ රංගන ජීවිතය තුළ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ චරිතයක් නේද?

ඇත්තටම ඔව්. අමා කියන්නේ මගේ ජීවිතය තුළ අමතක නොවන චරිතයක්. අමා නිසා මට ලැබුණු දේවල් බොහොමයි.

නැවතත් එවැනි චරිතයක් තුළින් ඔබව දැකගන්න අවස්ථාව ලැබේවිද?

ඔව්. එවැනි හොඳ නිර්මාණයක් තුළින් නැවතත් රසිකයන් අතරට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඉදිරියේදී එවැනි ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

ඔබ දක්‍ෂ නර්තන ශිල්පිනියක්. එම දක්‍ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා ඔබ සිතනවාද?

මෙහෙමයි. මම නර්තන ශිල්පිනියක් වශයෙන් තමයි මුලින්ම මේ ක්‍ෂේත්‍රයට පැමිණියේ. ඉතින් ඒ නිසා මම නර්තනය නම් අත්හරින්නේ නැහැ. එහෙම කියලා ලැබෙන හැම අවස්ථාවම මම භාර ගන්නේ නැහැ. ඒ දේවල් තුළින් අපට තෘප්තිමත් වෙන්න සහ සතුටක් ලබන්න පුළුවන් නම් විතරයි මම භාර ගන්නේ.

ඔබ සතු රංගන හැකියාවන් මුලින්ම හඳුනාගත්තේ කොයි අවධියේදීද?

ඇත්තටම මට වයස අවුරුදු 14දී පමණ තමයි මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ. ඒ සිරස ටී.වී. එකේ ‘රැඟුම් ගැයුම්’ වැඩසටහන තුළ. ඉන් අනතුරුව ITN අවුරුදු කුමරිය 2006 දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරුව තමයි සිරස ඩාන්සින් ස්ටාර්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

කුඩා කාලයේ සිටම ඔබ කලාවට දක්‍ෂතා දැක්වූ කෙනෙක්ද?

ඇත්තටම ඔව්. මුලින්ම මගේ නර්තන හැකියාවන් හඳුනාගත්තේ මගේ අම්මා. මම කුඩා කාලේ ඉඳන්ම නර්තනයට දක්‍ෂයි කියලා තමයි එයා කියන්නේ.

ඔබ එදා වගේම තාමත් ප්‍රේක්‍ෂකයන් අතර ඉතාම ජනප්‍රියයි. එයට හේතුව කුමක්ද?

ප්‍රේක්‍ෂක ආදරය ලබා ගැනීමට අපි කරන එක හොඳ නිර්මාණයක් වුවද ප්‍රමාණවත් කියන මතයේ තමයි මම ඉන්නේ. ඉතින් ඒ නිසා සෑම නිර්මාණයකම පෙනී සිටින්න අවශ්‍ය නැහැ කියලත් මම හිතනවා. අදටත් මට ප්‍රේක්‍ෂකයන් කතා කරන්නේ ‘අමා’ කියලා. ඒ ගැන මට හරිම සතුටුයි.

අද වන විට බොහෝ තරුණ තරුණියන් තුළ සමාජ මාධ්‍ය අවභාවිතය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව ඔබගේ මතය කුමක්ද?

ඇත්තටම මට කියන්න තියෙන්නේ තවත් කෙනෙක්ට අපහාසයක් වන අයුරින් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්න එපා කියලා තමයි. ඒ වගේම Social Media හොඳ විධියට ඉතාම පරිස්සමෙන් භාවිත කළ යුතු දෙයක්. සෑම දෙයකම වැරැදි පැත්ත පමණක් නොදැක නව තාක්‍ෂණය අපගේ දියුණුවට භාවිත කිරීමට කටයුතු කරනවා නම් වඩාත් සුදුසුයි. කාන්තාවන්ට අවමන් කිරීමට, අපහාස කිරීමට Social Media භාවිත කිරීම අනුමත කළ නොහැකියි.

ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?

ඔව්. බෙනට් රත්නායක මහතාගේ ඉර හඳ යට චිත්‍රපටයට සම්බන්ධ වුණා.

ඉදිරියේදී සිනමාවට නැවතත් සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

මට ගැළපෙන හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

ඉදිරියට එන්න තියෙන නව නිර්මාණයන් පිළිබඳව මතක් කළොත්?

චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ වැඩකටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

එදා ඉඳන් අද වෙනතුරු මාත් සමඟ සිටි මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වගේම මේ ගමනේදී මට වචනයකින් හරි උදවු උපකාර කළ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.

දිනූෂා මනෝරි නිශ්ශංක
Mawbima.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button