ENTERTAINMENTතරු හුට පට

ඒ වෙන කොට මම මව්පියන් නැති අනාථ තරුණයෙක් – මට කන්නවත් නැහැ කියලා දන්න පතී දැනගෙන හිටියා

“රඟපාන්න කලින් මම කළේ රෙදි බිස්නස්නේ. මට රෙදි කඩවල් පහක් තිබ්බා කෑගල්ල මහනුවර කුරුණෑගල පේරාදෙණියේ අවට. ඊටත් කලින් මම ආර්මි එකේ හිටියා අවුරුදු තුනක්. මම ඉස්කෝලේ කාලේ කැඩෙටින්ග් කළා. ඒ කාලේ ආසාවක් ඇවිල්ලා ආර්මි එකට ගියා. මම හිටියේ යාපනේ එතකොට මට පඩි අඩුවෙන් හම්බුණේ ඉතින් මං රස්සාව අතඇරලා ආවා. ඊටපස්සේ රෙදි බිස්නස් එකට බැස්සා. මගේ සිනමාව වෙනයි. ඒත් මම හම්බ කළේ රෙදි බිස්නස් එකෙන්.”

උඩ බොත්තම් දෙක පැන්නූ සාක්කු දෙකක් ඇති ලොකු කමිසයද බෙල් බොටම් ඩෙනිම් කලිසම හැඳී අමරසිරි කලංසූරියව මදකට හිතේ මවාගන්න මා ඔබට ඇරයුම් කරමි. මන්දයත් විලාසිතා පිළිබඳ ඔහු සතු සවිඥානිකත්වය පැමිණ ඇත්තේ කොතැනින්දැයි ඔබට පසක් කිරීමටය. එකල සිනමාවට විවිධ විලාසිතා හඳුන්වා දුන් කුරුලු කොබෙයියාගේ යටගියාව ගැන සැක නැත. මගේ පළමු හරස් ප්‍රශ්නය වූයේ සිනමාවට එන්නට ප්‍රථම ඔහුගේ සිනමාවේ වීරයා ගැනයි.

“මම අනිත් අයගේ හීරෝ වුණාට මගේ හීරෝ ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි. මම එයාව හොඳට දන්නවා. එයා මගේ සාප්පුවටත් ඇවිත් තියෙනවා. ටෝනි රණසිංහටත් මම ඒ කාලේ හරිම ආසයි. බොහොම වැදගත් කෙනෙක් එයා.

“රෙදි බිස්නස් කරපු කලං සිනමාවට ආවේ කොහොමද?”

“මම සිනමාවට ආවේ හන්තානේ කතාවෙන්. විජය ධර්මශ්‍රී, සුගතපාල සෙනරත් යාපා මහත්තුරු දෙන්නා මාව මුණගැහිලා මට ඉන්ටවිව් එකකට එන්න කිව්වා චිත්‍රපටියකට. මම ඉන්ටවීව් එකට ගියා. මට රඟපාන්න කිව්වේ බිරිඳව ඝාතනය කරලා එල්ලලා මරන්න තීන්දු කරලා ඉන්න සැමියෙක්ගේ චරිතය. මම මිනිත්තු දහයක් කල්පනා කරලා කියන්නම් කියලා මම කිව්වා “අර අල්ලපු ගෙදර ගෑනි තමයි මේ ඔක්කොම කළේ ස්වාමීනී!” කියලා. ඊටපස්සේ මට ගෙදරට ලියුමක් ආවා චිත්‍රපටියට තෝරගත්තා කියලා. මගේ මිත්‍රයා පතී (ධර්මසේන පතිරාජ) ඒකේ පිටපත් රචකයා. හන්තානේ කතාව අපි ලස්සනට ශූට් කළා. අපි හැමෝම හොඳ යාළුවො වගේ ඒ කාලය ගත කළේ. ෆිල්ම් එකේ ශූටින්ග් ඉවර වුණාට පස්සේ මගේ මිත්‍රයා පතී මට අපූරු ආරාධනාවක් කළා.”

“පතී මට කිව්වා රුපියල් තිස් දාහක් තියෙනවා නම් චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා. ඒ ‘අහස ගව්ව’. මම සොරබොර ගිහින් මිත්‍රරත්න හේරත් හමුවෙලා රුපියල් තිස්දාහ යොදවන්න ඔහු එකඟකර ගෙන ඇවිත් පතීට කිව්වා. එතකොට පතී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. “අහස් ගව්ව” කියන්නේ මගේ ජීවිත කතාව. පතී දැන ගෙන හිටියා මගේ ජීවිත කතාව. ඒ වෙන කොට මම මව්පියන් නැති අනාථ තරුණයෙක්. මට කන්නවත් නැහැ කියලා දන්න පතී මාව පේරාදෙණිය සරසවියට එක්ක ගිහින් කන්න දීලා තියෙනවා. ඒ කාළේ වැටෙන්න ඕනේ අන්තයටම වැටුණා. මගේ සහෝදර සහෝදරියෝ ටිකත් ගමේ යැව්වා. සෑහෙන්න දුක්වින්දා. හැබැයි මම ඒ කාලය ගැන සතුටු වෙනවා. මොකද ඒවා මගේ ජීවිතයට හොඳ අත්දැකීම්. මගේ රඟපෑම්වලට ගොඩක් පාවිච්චි කළේ ඒවා. මම වගේ තමයි විජය කුමාරතුංග. විමල් කුමාර් ද කොස්තා – අහස් ගව්වේදි එක්වුණ අපි ඔක්කෝම රැකියා නැති එක වගේ තරුණයෝ. පතී අහස් ගව්වෙන් කිව්වේ මගේ කතාව. අහස් ගව්වට අපිට ලේඛක හා විචාරක සම්මාන නවයක් ලැබුණා. හොඳම නළුවා මම, හොඳම අධ්‍යක්ෂ පතිරාජ, හොඳම කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න.”

“ධර්මසේන පතිරාජ එක්ක වැඩ කරපු අත්දැකීම කොහොමද?”

“මම හරි වාසනාවන්තයි. පතිරාජ වගේ මහත්තයෙක් එක්ක වැඩ කරන්න ලැබුණ නිසා. එයා කියන්නේ “කලං කතා කරන විදිහට කතා කරන්න මම මේ ඩයලොග් එක දෙන්නං ඒක කළං කැමති විදිහට කියන්න” කියලා. අපිට එතකොට සිනමාව ගැන එතරම් අවබෝධයක් නැහැ. ඉතිං පතී කියන විදියට අපි රඟපෑවා. පතිරාජ වචනයක් කනට ඇහෙන්න කතා කරන්නේ නැහැ. සීන් එක එයාට හරියට ආවේ නැත්නම් ළඟට ඇවිල්ලා හිමීට කියනවා “කලං අපි ආයෙමත් ඒක ගමුද?” කියලා.”

“එච්.ඩී. ප්‍රේමරත්න මහත්තයා මගෙන් ඇහුවා “කලං ෆිල්ම් එකක් කරමුද?” කියලා. පිටපත ධර්මසිරි ගමගේගේ. චිත්‍රපටයේ නම ප්‍රාර්ථනා. මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ කාස්ට් එක කියලා දැනගත්තාම රඟපාන්න මම කැමති වුණා. මාලනී නෝනාට මම ඉතින් ඒ කාලේ ඉඳලා ගෞරව කළා. ප්‍රේම ජවනිකා රඟපාන්න මම දන්නේ නැහැ. ඒ දන්නේ නැති එකම ඒ ෆිල්ම් එකට හැඩයක් වුණා කියලා පස්සේ මට එච්.ඩී. ප්‍රේමරත්න මහත්තයා කිව්වා. චිත්‍රපටිය තිරගත වුණේ අපේක්ෂා කියන නමින්.”

“බඹරු ඇවිත් ශූටින්ග් තිබ්බ කල්පිටියේ. අපි ඔක්කොම එකට උයාගෙන කාලා හිටියේ. රෙස්‍ට්හවුස් එකක් ගත්තාට අපි ඒකේ නිදාගත්තේ නැහැ. අපි ඔක්කොම එකට බිම නිදියගත්තේ. බඹරු ඇවිත් හොඳ නිර්මාණයක්. ඒක හොඳ දේශපාලනික කියවීමකුත් තියෙනවා. ඔයා විශ්වාස කරන්න ළමයෝ බඹරු ඇවිත් චිත්‍රපටියට මට ඊයෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුණා. දැන් ඒක පෙන්නලා කොච්චර කල්ද? තාමත් ඒවා ගැන කතා කරනවා කට්ටිය.”

“පරිත්‍යාග චිත්‍රපටය ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුණා. මගේ චරිතය ධනප්‍රේම. මම, ටෝනි රණසිංහ, වසන්ති චතුරානි, ශ්‍රියාණි අමරසේන ප්‍රධාන චරිත රඟපෑවේ. ඒක හරිම සංවේදී චිත්‍රපටයක්. පරිත්‍යාග චිත්‍රපටයේ මට හොඳ තරගයක් තිබ්බා ටෝනිත් එක්ක. ටෝනි මට කිව්වා “කළා මේකෙන් මම අවෝඩ් එක ගන්නවා” කියලා. මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හොඳ ඇක්ටර් කෙනෙක් ලංකාවේ. මම ඔයා පස්සෙන් එන්නම් කියලා. පරිත්‍යාග චිත්‍රපටයට ඒ අවුරුද්දේ හොඳම නළුවා සම්මාන ඔක්කොම සම්මාන ටික ලැබුණේ මට.”

“පූජා චිත්‍රපටිය ධර්මසිරි ගමගේගේ. මාත් එක්ක රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග,විමල් කුමාර ද කොස්තා, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ගීතා කාන්ති ජයකොඩි වගේ ඒකාලේ හිටපු හොඳම රංගන ශිල්පීන්. ගමගේ මහත්තයා කිව්වා “ඔක්කොටම ගැලපෙන හොඳම චරිත දීලා තියෙන්නේ. විපර්යාසයක් ඇති කරන්න පුළුවන් වෙන විදියට මේ වැඩේ හොඳට කරන්න” කියලා. ඒ චරිතය පුතෙක් විදියට සංවේදීව රඟපාන්න වෙන චරිතයක්. මගේ තාත්තත් නැති වෙලා හිටියේ. ඒ නිසා මගේ තාත්තා වෙනුවෙන් මම ඒ චරිත රඟපාන්න තීරණය කළා. තාත්තාව මතක් කරගෙන මම මූණේ ඉරියව් ආරගෙන රඟපෑවා. ඒත් චිත්‍රපටය රඟපාගෙන යද්දි මම අකමැති දේවල් වුණා.”

ඒ මොනවාදැයි අහන්නටත් ප්‍රථම මද ඇසිල්ලකට කතාව නතර කර ඇස් ලොකු කරමින් නැවතත් කියාගෙන ගියේය.

චිත්‍රපටයේ මගේ තාත්තා ජෝ. එයා පපුවේ අමාරුව හැදිලා වැටිලා ඉන්නේ. එයා ඒ සීන් එක ලස්සනට කළා. දැන් කැමරාව එන්නේ මගේ මූණට. මම ජෝව අල්ලගෙන එයා දිහා බලාගෙන ඉන්නේ. ජෝ අම්මේ කියලා කියනවා. ඒ අතරේ එයා කුණුහරපයකුත් කිව්වා. මම එහෙම්මම ජෝව අතඇරියා. අතඇරලා මම මිස්ට ගමගේට කිව්වා “එයා එක්ක රඟපාන්න බැහැ ඒ සීන් එක මාව තනියම ගන්න” කියලා. මට හරිම තරහයි ඒ කරපු වැඩේට. ඒ චරිතය මම හරිම ආදරයෙන් කළේ. ඒත් ජෝ එක්ක තරහක් නෑ. මම එයාට ආදරෙයි.”

විවිධ ස්වරූපවලින් තමා ඉදිරියට එන අභියෝගයවලට කලං මුහුණපෑවේ එසේය. එකල තරගකාරී සිනමා කර්මාන්තයේ රංගන ශිල්පීන් අතර පැවති තරගයද එයින් ප්‍රත්‍යක්ෂ වේ. අමරසිරි කලංසූරිය ජනප්‍රියම නළුවා සම්මානය දිනාගත් දිමුතු මුතු ටෙලිනාට්‍යයේද දොළොස්මහේ පහන, පොඩි විජේ, යස ඉසුරු, අනූපමා යන චිත්‍රපටද ඔහුට කිසිදා අමතක නොවන වගද සටහන් කරන්නටම කියා පෙරැත්ත කළේය. මේ අතර කලංට නැවතත් මගෙන් අමුතු ප්‍රශ්නයකි.

“ඒ කාලේ නිළියකට ආදරේ කරන්න හිතුණේ නැද්ද?”

“නැහැ. අපි නිළියොන්ට සැලකුවේ බොහොම උසස් විදියට. ඒ අයත් එහෙම හිටියා. මට එහෙම නිළියකට නම් ආදරේ හිතුණේ නැහැ. හැබැයි මාලිනී දවසක් කියලා තිබ්බා එයාට සිනමාවේදී මුණගැහුණු හොඳම පෙම්වතා මම කියලා. අපේක්ෂා ෆිල්ම් එකේදී මට කිව්වා මාලිනීව ඉඹින්න කියලා. මම බැහැ කිව්වා. ඒ එයාට තියෙන ගෞරවයට.”

දෙකම්මුල් උස් කර රිදී තිරයේ පෙන්වන අර ලස්සන මදහසද ඇතුව කලං ඒ අතීත මතක වචනවලට හරවයි. විටෙක ආවේගශීලී ලෙස උස් හඬින් ඉක්මනින් වචන හරඹ කරන හෙතෙම තවත් විටෙක සෙමෙන් ඇසෙන නොඇසෙන තරමට හඬ බාල කර කතා කරයි. පැහැදිලිවම කිවහොත් ඔහු එහෙන් පිටින්ම සිනමා රූපයකි. ඒ සිනමා රූපය මැනවින් කාචගත කළ අධ්‍යක්ෂවරු පිළිබඳ මතකය අවදි කරන්නට මම කලංව පෙලඹුවෙමි.

“මට වැඩිපුරම හිතට අල්ලපු අධ්‍යක්ෂවරයා ධර්මසේන පතිරාජ. ඒ වගේම මම හරි ආදරෙන් වැඩ කරපු කෙනෙක් ඩී.බී. නිහාල්සිංහ මහත්තයා. ලෙස්ටර් මහත්තයාවත් අමතක කරන්න බැහැ. එයාටත් මම ආදරෙයි. එච්.ඩී. ප්‍රේමරත්න, ගමගේ මහත්තයාවත්, ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයවත් මතක් කරන්න ඕනේ. අපොයි… අමතක වුණානේ. ගාමිණේ ෆොන්සේකා… එයා මගේ හීරෝනේ. පුදුම මනුස්සකමක් තිබුණු කෙනෙක්. සමහරු කියන්නේ ආඩම්බරයි කියලා. ඒ ආඩම්බරය නෙමෙයි එයාගේ තියෙන පෞරුෂත්වය.”

ගාමිණී ෆොන්සේකාගේ පෞර්ෂත්වය ගැන වර්ණනා කරන ඔහුගේ පෞර්ෂත්වයට එකල මෙන්ම මෙකලද තරුණියන් පෙම් කරන වග ඔහුට කියන්නේ කෙසේද? ඒ පෞරුෂත්වය කෙසේ අසන්න දැයි කල්පනා කළෙමි. අවසානයේ පොටක් පාදාගත් මා ඇසුවේ මෙවැනි පැනයකි.

“කොහොමද අර ලස්සනට අතපය විසි කරලා රඟපාන්නේ? දෙබස් කියන්නේ?”

“මම ඉස්කෝලේ යන කාළේ හොඳ මලල ක්‍රීඩකයෙක්. හැම ක්‍රීඩාවක්ම වගේ කළා. සමහර දවස්වලට උදේට පොල්සම්බෝලෙයි බතුයි පුංචි අම්මාට කියලා මුලක් බැඳගෙන පේරාදෙණිය ග්‍රවුන්ඩ් එකට ගිහින් ඒක කාලා හවස් වෙනකං ඉන්නවා දුව දුව. ඒ වගේම මම කුන්ෆූ එහෙම පුහුණු වෙලා තියෙනවා. අවුරුදු දාසයක් මම කරාතේ කළා. ඔය කියන ඇක්ටිව්කම මම හිතන්නේ ක්‍රීඩා කරපු නිසා ආපු එකක්.”

ඉන්පසුව මම කලංව රැගෙන ගියේ ඔහු වඩා සංවේදී වන ඉසව්වකටය. ජීවිතයෙන් වැඩි හරියක් සිනමාව එක්ක ගැටුණු ඔහුගේ දුක සැප බෙදාගත් මිත්‍රයන් සඟයන් සිනමාවේ කොතෙක් ඇත්ද? ඔවුන් පිළිබඳව කලංසූරියගෙන් නොවිමසුවහොත් එය මේ සංවාදයට අඩුපාඩුවකි.

“විජය කුමාරතුංග තමයි මගේ හොඳම යාළුවා. මගේ පොඩි දුවගේ නම තිබ්බෙත් එයා. මගේ ළඟින්ම හිටපු යාලුවා විජය. විජය මගේ රෙදි සාප්පුවට එනවා. එයා ඇඳුම් ලස්සනට අඳීන්න හරි ආසයිනේ. රෙදි ගොඩක් තෝරගෙන මගේ ළමයෙක් ලව්වාම ඒවා වාහනයට දාගෙන මගෙන් ගාන අහනවා. මට පුළුවන්ද විජයගෙන් සල්ලි ගන්න? සතයක් අරගෙන නෑ මම. ඒ වගේ යාළුවෝ සල්ලිවලට ගන්න බැහැ. ඒ වගේම ගාමිණී ෆොන්සේකාත් මගේ යාළුවෙක්. ඒ වගේම මට අමතක කරන්න බැහැ ඩේසි අක්කාව. (රුක්මණී දේවි) දවසක් ඩේසි අක්කා මගේ සාප්පුවට ඇවිල්ල සාරි රෙදි කෑල්ලක් අල්ල අල්ල ඉන්නවා. “මල්ලි සාරි හැට්ටෙකට මේකෙන් රෙදි කෑල්ලක් තියෙනවා නම් ෂෝක්” කිව්වා. ඒ කාලේ ඒ රෙදි යාරයක් රුපියල් 1300යි. මම කඩේ ළමයෙක්ට කියලා යාර හයක්ම පාර්සල් කරලා දුන්නා. එදා රෑ අපේ ගෙදර ඉඳල ගියේ. ඊට දවස් දෙකකට පස්සේ මට ආරංචි වුණා එයා නැති වුණා කියලා. හරිම අපරාදේ… ඊටත් වඩා මම දුක් වුණේ විජය මහත්තයා නැති වුණාම. මට සිනමාව එපා වුණා. අන්තිමටම විජයගේ මූණවත් මට බලාගන්න බැරි වුණා…අප්පෝ…”

කලං දෑත් දෙකම්මුලෙහි රඳවා කම්පා වෙයි. ඔහුගේ ඇස් කෙවෙනි අග කඳුළු කැටයක් නළියයි. එය අපිට නොපෙන්වා අතින් පිස ගනිමින් ඈත බලාගත්වන සිටියි. එකට දුකසැප බෙදාගත් පරම මිත්‍රයා සමඟ ගත කළ සුන්දර අතීතයද ඔහුගේ අභාවයේ කම්පනයද නිහඬව විඳීන්නට මද වේලාවක් ලබාදී නැවතත් කතාව වෙනතකට හරවමින් මෙසේ ඇසුවෙමි.

“වර්තමාන සිනමාව ගැන මොකද හිතෙන්නේ”

“ගොඩක් කම්පා වෙනවා. මේ ළඟදී මම දැක්කා කුමාර තිරිමාදුර කියලා තියෙනවා ෆිල්ම්හෝල් වහලා ෆුඩ්සිටියට දීලා කියලා. ඉස්සර හාර පන්සීයක් ෆිල්ම්හෝල් තිබ්බ රටේ දැන් තියෙන්නේ හැත්තෑවයිලු. දැන් ඉන්න නළුවොත් තමන්ට එන වැඩ ගැන විතරයි අවදානය දෙන්නේ. තිරිමාදුර විතරයි සිනමාවේ ඇද වැටීම ගැන කතා කරන්නේ. සිනමාවට වෙච්ච දෙයට නළුවෝ අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ වගේම ප්‍රේක්ෂකයොත් වග කියන්න ඕනේ. ඉස්සරට වඩා දැන් තාක්ෂණයත් දියුණුයිනේ. ඒත් ෆිල්ම්වලට මොකද්ද වුණේ? දැන් ඉන්න නළුවොත් වැඩකට නැහැ. හොඳ අය ඉන්නේ කීපදෙනයි. අර යුනිවර්සිටි ලෙක්චරර් කවුද? එයාගේ තාත්තත් නළුවෙක්… අහ්… සෞම්‍ය ලියනගේ හොඳයි. “ගොළු තාත්තා” ටෙලියේ රඟපෑවේ කවුද? මහේන්ද්‍ර පෙරේරා… එයත් හොඳ නළුවෙක්. අනිත් එක්කෙනා ජැක්සන් ඇන්තනීගේ පොඩි පුතා. මට අනුව දැනට ඉන්න නළුවන්ගෙන් හොඳම එයාලා. එයාලට හොඳ ගමනක් තියෙනවා.”

කලංලාගේ කාලේ වගේ නොව දැන් කලාව හරි වෙනස්ය. කලා ශිල්පීන්ගේ ඇවතුම් පැවතුම්ද වෙනස්ය. එහෙත් කලා ක්ෂේත්‍රයේ පවතින හතු පිපෙන තියරිය ගැන කලං කම්පා වෙයි. එක රැයින් ජනප්‍රිය වන තරු ඊළඟ රැයේදී කඩා වැටෙන්නේ ඇයි දැයි කලං විමසයි. රංගන පාසල් බිහිවෙමින් පවතින යුගයක, නාට්‍ය හා රංග කලාව පාසලේ විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති සමයක කලං රඟපෑම ඉගැන්වීම ගැන දරන්නේ මෙවන් වූ අදහසකි.

“දැන් හැම තැනම ඇක්ටින්ග් ස්කූල් තියෙනවානේ. රඟපාන්න කොහොමද එහෙම උගන්වන්නේ. රඟපාන්න උගන්වනවා කියන්නේ හුස්මගන්න උගන්වනවා වගේ වැඩකටනේ. රංගනය කියන එක නළුවෙක්ට නිරායාසයෙන් එන්න ඕනේ එකක්. දැන් බලන්නකෝ.” යැයි පවසන ඔහු හුන් තැනින් නැඟිටියි.

“මට තියෙනවා නිකං සීන් එකක් කතාබහක් ඉවර වෙලා “මම ගිහිල්ලා එන්නම්” කියලා යන. මෙන්න මෙතන කැමරාව තියෙනවා. මම ඈත යන ටිකත් ශූට් කරනවා.”

එසේ පවසන ඔහු කැමරාව අපියි සිතා “මම ගිහිල්ලා එන්නම්” යැයි අත වනමින් පවසා ඈතට යයි. මද දුරක් යන විට ඔහුගේ අත පසුපස ප්‍රදේශයට ගනිමින් කසයි. නැවතත් අප වෙතට එන කලං මෙසේ පවසයි.

“දැක්කද ඒකත් ඇන්ටින්ග්. පිටිපස්ස කසන එකත් ඇක්ටින්ග් තමයි. මිනිස්සු එහෙම නොකර ඉන්නේ නෑනේ. කසද්දි කසන්න එපැයි. ඒත් ඒවා ඇක්ටින්ග් ස්කූල්වල කියලා දෙනවාද? දැන් නළුවෝ ඒවා කරන්නේ නෑනේ. දැන් නළුවෝ කොච්චර ව්‍යාජද බලන්නකෝ. මූණේ තීන්ත ගාගෙන. ආරූඬ කරගත්ත මොකද්ද එකනින් රඟපාන්නේ. මම නම් මුල ඉඳලාම මේකප් කළේ නැහැ. හැමෝම දන්නවා මම මේකප් කරන්න කැමති නෑ කියලා. එතකොට කලංසූරිය නෙමෙයිනේ. වෙන මිනිහෙක් ඉන්නේ. නිවියා බාම් ටිකක් ගානෙන ලේන්සුවෙන් මූණ පිහිදැම්මාම හොඳටම ඇති.”
ඒ අව්‍යාජත්වයට තාත්විකකම කලංව මේ තරම් දුර රැගෙන පැමිණ ඇත. කලංසූරියගේ සිනමාව කලාව සහ ජීවිතය ගැන එකිනෙක දෑ පවසන මේ සංවාදයේ ඔබට යම් අඩුවක් දැනෙනවාද? ඔව්. දැන් මා ඔබට රැගෙන යන්නේ කලංගේ ආදර හන්දිය වෙතය. සිනමාව තුළ මහපොළොවේ සිට ආදරය කළ පෙම්වතාගේ ඇත්ත ආදර කතාව අසන්නට මමද නොඉවසිලිමත්‍ ය.

“එතකොට මම සුබ සහ යස නාට්ටිය කළා නුවර සෙන්ට් ඇන්තනී හෝල් එකේ. නාට්ටියට ටිකට් ගන්න එයා මගේ නුවර සාප්පුවට ආවා. එයා හරිම ලස්සනයි. එයාගේ යාළුවෙක්ගේ මම එයාගේ නම අහගත්තා. එයාගේ නම අජන්තා තලතා කුමාරි ඒකනායක. ඒ ළමයි ටවුමට එනකොට ඉඳලා හිටලා අපි මුණගැහුණා. පස්සේ අපි කසාද බැන්දා ඉතින්. වෙඩින්ග් ගත්තේ නැහැ. නිකං පොතේ අත්සන් කරලා බැන්දා. යාළුවන්ට කෑමක් දුන්නා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි පුතායි. දුමින්ද, මදුමතී, වින්ද්‍යා. ලොකුදුව ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක් කරනවා. ලොකුදුවට ලොකු දුවෙක් ඉන්නවා. (සිනාසෙමින්) මගේ පුතා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා එයා තව බිස්නස් එකකුත් කරනවා. පුතාටත් දුවෙක් ඉන්නවා. පොඩි දුව එයාර්ලයින්ස් එකේ ලේඩි සුපවයිසර් කෙනෙක්. එයා ළඟ තමයි දැන් මම ඉන්නේ.”

අමරසිරි කලංසූරිය නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාගේ ජීවිතයෙන් වැඩි කාලයක් ඔහු කැප කර ඇත්තේ කලාවටය. කලාවත් සමඟ ගෙවුණු ජීවිතයේ මඟහැරුණු තැන් ගැනද ඔහුගෙන් විමසන්නට මා අමතක කළේ නැත.

“කලාව නිසා මට මගේ ව්‍යාපාරය කරගන්න බැරි වුණා. ෆිල්ම්වල වැඩ එක්ක කාර්යබහුල වුණාම ව්‍යාපාර ගැන බලන්න වුණේ නැහැ. ඒ නිසා මගේ රෙදි ව්‍යාපාරය වැටුණා. ඒත් මම දරුවෝ ලොකු මහත් වෙනකං ඒක කොහොමහරි අතහරින්නේ නැතුව කළා. මගේ කඩ සාප්පු මගේ ගෝලයන්ටත් මම ලියලා දීලා තියෙනවා.”

එය වෙනස් කතාවකි. කලං ඒ තරම් පරිත්‍යාගශීලීදැයි මට පැනයකි. ඒ කතාව මොකක්දැයි විමසූ විට නැවත ඔහුගේ ඉරියව් වෙනස් වෙයි. රසකතා පවසන විට ඔහු ඉන්නා ඇක්ෂන් ස්වරූපයෙන් කතාවට ඒ කතාව කිව්වේ මෙසේය.

” මීට අවුරුද්දු පහළොවකට විතර කලින් දවසක් මම කෑගල්ලේ සාප්පුවට යද්දි නෝනා කෙනෙක් ඒක කරපු කොල්ලෝ දෙන්නාට හොඳටම බනිනවා. කඩේ ඉස්සරහා උන් මගේ පින්තූරෙත් ගහගෙන. මම පැත්තට වෙලා අහගෙන ඉඳලා සාප්පුව වහලා නාට්ටාමි කෙනෙක් ගෙන්නලා බෝඩ් ගලවලා මගේ පින්තූරේ ගලවලා වාහනේට දාගත්තා. ලෝයර් කෙනෙක් ළඟට එක්කන් ගිහිල්ලා සාප්පුව ඒ කොල්ලෝ දෙන්නට ලියලා දුන්නා. පස්සේ මට ආරංචියක් ආවා ඒක ලක්ෂ තිස්තුනකට විකුණුවා කියලා.”

තමාද දඩබ්බරයෙකු බැවින් දඩබ්බරයන් ආංබාං කරනා සැටි කලං හොඳ හැටි දන්නා හැඩයි. දේවල් අත්හරින හැටි ඔහු මැනවින් ප්‍රගුණ කර ඇති සෙයකි. තමන් ගොඩනැඟූ ව්‍යාපාර ගෝලයන්ට සින්නක්කරවම පවරන ව්‍යාපාරිකයින් සෙවීමට වඩා කළුනික සොයනු මැනවි. සිනමාවේද ධනපති පංතිය නිරතුරුවම පාඟාගෙන සිටින නිර්දය පංතිය නියෝජනය කළ කලංගේ මෙවැනි වැඩ ගැන එක් අතකට පුදුම විය යුතු නැත.

ජීවිතයේ සැදෑසමය දරු මුනුබුරන්ගේ ආදරය මධ්‍යයේ ගෙවන කලංගෙන් අවසානයට මට අසන්නට ඇත්තේ එක් පැනයකි.
“ජීවිතේ කරන්න නොලැබුණු, කරන්න ආසාවෙන් ඉන්න දෙයක් තියෙනවාද?”

“ඔව්. මට ඕනේ හොඳට අඳීන්න. මට චිත්‍ර අඳීන්න පුළුවන්” යැයි පවසමින් ගෙදරට රිංගූ කලංසූරිය නැවත පැමිණියේ හිස් කොළයක් සහ පෑනක් රැගෙනය. කාන්තාවකගේ උඩුකය රේඛා සිතුවමක් තත්පර කීපයකින් ඇඳ අපට පෙන්වූ හෙතෙම නැවතත් මෙසේ කීවේය.

“මැරෙන්න කලින් එක්සිබිෂන් එකක් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.”

සිංහල සිනමාවේ රස්තියාදුකාර පෙම්වතා කලං ය. දඩබ්බර ඇට්ටරයා කලං ය. විවිධ මාදිලියේ ඇඳුම් අඳීමින් අනුකාරක විලාසිතා සිනමාවට ද ඉන් ඔබ්බට ප්‍රේක්ෂකයන්ටද හඳුන්වා දුන් සිංහල සිනමාවේ කුරුලු කොබෙයියා කලං ය. නිර්ධන පන්තියේ තරුණයා සිනමාවේ රූපණය කළේ කලං ය. අධිපතිවාදී සිනමාව පෙරටුකරගෙන සිනමා පෙරහැරේ ඉස්සරහින්ම ගිය කසකාරයන්ට වඩා මේ රස්තියාදුකාර පෙනුමක් හිමි අවංකයාට ආදරේ බවත් රඟපාන්න වෙර දරන සීනිබෝල නළුවන් අතර හැරිලා බැලුවත් සිනමාරූපී කලං ටොන් ගණනින් වටින වග මෙසේ ලියා තබමි.

නිර්මාණි බණ්ඩාරනායක

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button