ගොසිප් පුවත්තරු හුට පට

හැමෝම අහනවා කොහොමද ඔයා හිනා වෙලා ඉන්නේ කියලා – තනිවුණු වොල්ගා

ඇය කාලයෙන් කාලයට කතා මවන්නියක්. බොහෝ හැලහැප්පීම්, බාධක හමුවේත් කට පුරා සිනහවන්නියක්. රිදුණු තැන් සෙමින් අතගා ඇයගේ ගමන නොනැවතී අධිෂ්ඨානයෙන් යන්නියක්. පුංචි සිරුරක මහා දරාගැනීමේ හැකියාවක් ඇති ලොකු හදවතක උරුමක්කාරියක්. තවත් ආලවට්ටම් කුමටද? ඇය වොල්ගා කල්පනියි.

ඉතිං වොල්ගා කොහොමද මේ දවස්වල ජීවිතේ? 

වෙනදා වගේම නිදහසේ සතුටින් ඉන්නවා.

කලා කටයුතුවල වැඩ කොහොමද? 

ස්වාධීන රූපවාහිනි සේවයේ “හදවිල අරණ” ටෙලි නාට්‍යය සතියේ දවස්වල රාත්‍රි 7.30ට විකාශනය වෙනවා. ඊට අමතරව විවිධ නාළිකාවල වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා.

කලා ජීවිතයේ මුලකුරු කියැවෙන්නේ කොයි කාලෙදීද? 

සිසිර ප්‍රේමප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුබද්ධිත නාට්‍ය සංගමය මඟින් රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය සිදුකළා. මට පුංචි කාලේ ඒ සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී ප්‍රතිභා නවරත්න මහතාව මං අඳුනගන්නවා. ඔහුගේ සම්බන්ධීකරණයෙන් රූපවාහිනියේ “අතුරු මිතුරු” කියන ළමා වැඩසටහන මෙහෙයවන්න මට අවස්ථාව ලැබෙනවා.

කැමරාවක් ඉදිරියේ මුලින්ම පෙනී සිටින්නේ අතුරු මිතුරු ළමා වැඩසටහනේදී. ඉන්පස්සේ වසන්ත ජනප්‍රිය මහතාගේ හඳුනාගැනීමෙන් සිරස නාළිකාවේ රන්කොත් යාය වැඩසටහනේ නිවේදිකාවක් විධියටත් රූපවාහිනියේ දේදුනු හැන්දෑවේ හා දෙරණ නාළිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් 01 වැඩසටහනේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනියත් හිරු නාළිකාවෙත් නිවේදිකාවක් විධියට මං කටයුතු කළා. මං රංගනයට පිවිසෙන්නේ තිස්ස කුලසේකර හා චාමර සමරවික්‍රම දෙදෙනා මට ලබාදෙන අවස්ථාව නිසා. ඒ අනුව ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයා යටතේ ප්‍රථම වතාවට මට රඟපාන්න අවස්ථාව ලැබෙනවා.

රංගනයට පිවිසුණාම නිවේදනය අමතක වුණාද? 

රඟපෑම් කරන කාලයෙත් මං යම් යම් නිවේදන වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. මේ ළඟදීත් හිරු ටී.වී. එකේ අලුත් අවුරුදු වැඩසටහන් කිහිපයක්ම මං සිදුකළා.

බොහොවිට කලාකරුවන්ට තම පෞද්ගලික ජීවිත රහසිගතව පවත්වාගෙන යන්න බැහැ. එහිදී ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ රුචිකත්වය වෙනස් වෙනවාද? 

නැහැ. ඒක කොහෙත්ම වෙන්නේ නැහැ කියලා මං විශ්වාස කරනවා. පෞද්ගලිකව මටත් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙනවා. පසුගිය කාලයේ මට ආදරේ කරපු ප්‍රේක්ෂකයන්ව මගෙන් අෑත් කරන්න කිහිපදෙනෙක් ලොකු සටනක යෙදුණා. ඒත් ප්‍රේක්ෂකයන් හරිම බුද්ධිමත්. මං මොන තත්ත්වයක හිටියත් එයාලා මා වටා සිටියා. ඒ ආශීර්වාදය මට ලොකු ශක්තියක් වුණා.

හැලහැප්පීම් මැද පතුලටම වැටිලා ඉන්න මොහොතකත් වොල්ගා කල්පනිගේ හිනාව අතුරුදන් වුණේ නැහැ. කොහොමද ඒ තරම් හිත ශක්තිමත් කරගත්තේ? 

ඔව්. ගොඩාක් දෙනෙක් අහනවා “කොහොමද ඔයා ඔහොම හිනාවෙලා ඉන්නේ කියලා” ඇත්තටම මං හිනාවෙන්නේ අවංකවමයි. මොකද මං කාත් එක්කවත් තරහා නෑ. කාටවත් වෛර කරන්නේ නෑ. ඇත්තම කිව්වොත් මම කාවවත් අදාළ කරගන්න කෙනෙක් නෙමෙයි. එහෙම ජීවත් වුණොත් ඕන කෙනෙක්ට හිනාවෙන්න ඒ තරම් අමාරු නැහැ.

ආදරය ගැන මොකද හිතෙන්නේ? 

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒක කිලිටි නොකර හරි පූජනීයව පවත්වා ගැනීමයි වැදගත්.

බොහොමයක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තෝරා බේරා ගත් නිර්මාණවලයි දායක වෙන්නේ. වොල්ගා කල්පනි ඉන්නෙත් ඒ කුලකයේමද? 

ඔව්. මාත් ආරාධනා කරන හැම නිර්මාණයටම දායක වෙන්නේ නැහැ. ඒක මට මගේ වාරණවලට සුදුසුද කියලා සලකා බලලයි ඒවාට දායක වෙන්නේ. ඒ නිසායි මං හැම තිස්සෙම ටී.වී එකේ පේන්න නැත්තේ.

ජීවිතේ අහිමිවීම් දරාගෙන ශක්තිමත්ව නැඟී සිටියා වගේම අලුත් ආදරයකටත් හිතේ ඉඩක් වෙන් කරන්න අදහසක් තියෙනවද? 

නැහැ. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ තරමටම තාම මගේ හිත හැදිලා නැහැ. හිත හැදෙයිද නැද්ද කියලවත් මං දන්නේ නැහැ.

විශ්මි ජයනිකා

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button