දේශීය පුවත්විශේෂාංග

ජලය වටිනා සම්පතක්, මිනිසුන්ට ඒ ගැන වැටහීමක් නෑ – අනිල් ජාසිංහ

“සුරකිමු ගංගා” ජාතික වැඩසටහන ගැන පැහැදිලි කළොත්? 

රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම උදෙසා සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන ක්‍රියාවට නැංවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තියෙනවා. එහිදී මුලින්ම කියන්න ඕන ගරු අමාත්‍ය මහින්ද අමරවීම මැතිතුමා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරල තියෙනවා වගේම 2021 අය-වැය කතාවට මෙය ඇතුළත් කරල තියෙනවා.

ඒ වගේම රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම අපේ පරිසර අමාත්‍යාංශයේ ක්‍රියාකාරී වැඩ සැලැස්ම ඇතුළේ විශාලම සහ අලුත්ම වැඩසටහන වෙනවා. මේ සඳහා අය-වැයෙන් දැනට රු. මිලියන 200ක් වෙන් කරල තියෙනවා.

මෙම වැඩසටහන ජාතික මට්ටමින් මෙහෙයවීම පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා මෙයට අදාළ පාර්ශ්වකාර අමාත්‍යාංශවල ලේකම්වරුන් හා ආයතනවල සභාපතිවරුන්ගේ හෝ නියෝජිතවරුන්ගේ සහභාගිත්වයෙන් යුත් අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුවක් මඟින් සිදු වෙන අතර වැඩසටහන තිරසර මෙන්ම දිගුකාලීන වැඩසටහනක් ලෙස ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියයි. (මේ සඳහා වෙනමම ඒකකයක් ලෙස “සුරකිමු ගංගා” ලේකම් කාර්යාලයද පිහිටුවා ඇත.)

මෙහි ක්‍රියාකාරීත්වය ජාතික මෙහෙයුම් කමිටුව හරහා සිදුවන හෙයින් මෙම කමිටුව දෙමසකට වරක් රැස්ව මේ සම්බන්ධයෙන් නොකඩවා කෙරෙන්න ඕන කටයුතු සහ ජාතික මට්ටමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සිදුකරනු ලබනවා.

 

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙහිදී ඔබගේ කාර්යයභාරය කුමනාකාරද? 

මෙහිදී මගේ කාර්ය භාරය වෙන්නෙ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙහි ක්‍රියාකාරීත්වය සිදුවන ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස එහි කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමට උරදීම සහ ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සංවිධානයට උපරිම දායකත්වය ලබාදීමයි.

ඒ වගේම (පරිසර අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්) පරිසර කමිටු නැවත සක්‍රිය දායකත්වයක් දිය හැකි පරිදි ක්‍රියාකාරී කිරීමත් සමඟ බලාපොරොත්තු වෙනවා ගංගාවල් අපවිත්‍ර කිරීමේ හෝ අපවිත්‍ර වීමේ කටයුතු සොයා බැලීමට උනන්දු කරවීම හෝ ඒ සඳහා යෙදවීම.

 

යම් පුද්ගලයන් කොටසක් විසින් මෙසේ ගංගාවන් සඳහා අපවිත්‍ර දේ එකතු කිරීමෙන් වන හානිය පිළිබඳ අවදානම කිව්වොත්? 

ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේවල්වලින් පමණක් නොවෙයි. ඓන්ද්‍රීය ද්‍රව්‍ය වන මලපහ මඟින් එකතු වෙන විසබීජවලින්. ගංගා ජලයට කොතරම් අසූචි එකතු වී ඒවා මිනිසා පරිභෝජනයට ගැනීමෙන් මිනිසාගේ ජීර්ණ පද්ධතිය හරහා ඇති වන රෝගවලට එම විසබීජ බලපානවා.

වසංගතවේදය ලෝකයේ ප්‍රචලිත වුණේ ලන්ඩන්වල තේම්ස් නදිය හරහා. එය 18 වන සියවසේ ලන්ඩන්වල සිදු වූ කොලරා වසංගතයක් නිසා.

ඒ වගේම කැලණිය ගඟ ආශ්‍රිතවත් 1991දී කොලරා වැනි වසංගතයක් ආවා. ඒකත් පැතිරුණේ ගංගාවල ජලය හරහා. ඒ වගේම කෘෂි භාවිතය සඳහා යොදා ගන්නා පොහොර සහ කෘමිනාශක එකතු වීමත් අද වන විට විශාල බලපෑමක් කරල තියෙනවා මිනිසාගේ ජීවිතයට. පරිසර පනත අනුව කර්මාන්ත ශාලාවකින් රසායනික අපද්‍රව්‍ය සෘජුවම ගංගාවලට එක් කිරීම තහනම් කරල තියෙනවා. ඒවා පිරිසුදු කිරීමෙන් අනතුරුවයි මුදා හැරිය හැක්කේ. ඉතින් මේවා නිසියාකාර ලෙස කරන්නෙ නැහැනෙ. ගඟක් කියන්නේ විශාල පරිසර පද්ධතියක්. ඉතින් මේ හේතු නිසා මේ ගංගාවල මත්ස්‍ය විශේෂ විශාල ලෙස තර්ජනයට ලක්වෙලා. ඒ වගේම මයිකේ‍රා ප්ලාස්ටික් නිසාත් මේ ආකාරයටම ජලජ පරිසර පද්ධතීන් සහ ඒ තුළ ජීවත් වන මත්ස්‍යයන්ද විනාස වෙනවා. ඒවා ආහාරයට ගන්නා මිනිස්සු මේ නිසා යම් අවදානමක ඉන්නවා.

මේ ආකාරයට ගංගාවල් රැකගත යුතුය කියල ජනතාවට අවධාරණය කරන්නේ ඇයි? 

ශ්‍රී ලංකාව ප්‍රධාන ගංගා 103කින් සමන්විත රටක්. මෙම ගංගාවලින් 20ක් පමණ වර්ෂය පුරා ගලන ගංගා වන අතර අනෙක්වා කාලීන ගංගා ගණයට අයත් වෙනවා. කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 11.2%ක දායකත්වයක් කෘෂිකර්මය මඟින් ලබා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ජලය රැකගත යුතු බව අවධාරණය කළ යුතුයි.

නිදසුනක් ලෙස කල්පිටිය අර්ධද්වීපය පිහිටි නොගැඹුරු භූගත ජලනිධිවල ධාරිතාව විශාල ජන සංඛ්‍යාවකගේ පානීය ජල අවශ්‍යතාවය සැපිරිය හැකි වුණත් රසායනික පොහොර, කෘෂි රසායන හා පළිබෝධ නාශක පසට එකතු වීමෙන් සිදු වී ඇති භූගත ජල දූෂණය වීම නිසා නැවත පිරිසුදු කළ නොහැකි මට්ටමටම දූෂණය වෙලා තියෙනවා. ඒ වගේම කැලණි ගඟ දූෂණය කිරීම. මේ අපිරිසුදු කළේ කවුද? වෙන කවුරුත් නෙවෙයි මිනිස්සු. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නෙ.

ආහාර නොමැතිව අපට දින කිහිපයක් වුණත් ජීවත් විය හැකියි. ඒත් ජලය නොමැතිව පැය කිහිපයක් හෝ ජීවත් වීම අසීරුය. ජලය මිනිස්සුන්ට නිරායාසයෙන් ලැබෙන නිසා මිනිස්සුන්ට ජලය වටිනා සම්පතක් බව වැටහෙන්නෙ නෑ.

ජලය ස්වාභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද අපූර්වතම නිර්මාණයක් මෙන්ම අපට දායාද කරන ලද මහඟු සම්පතකි. ආහාර නොමැතිව අපට දින කිහිපයක් ජීවත් විය හැකියි. නමුත් ජලය නොමැතිව පැය කිහිපයක් හෝ ජීවත් වීම අසීරුයි.

 

බොහෝ වෙලාවට ‘ආණ්ඩු’ මෙවැනි මහා පරිමාණ වැඩසටහන් ආරම්භ කළත් අතරමඟදී ඒවා නතර කර දමනවා. මේ වැඩසටහනටත් එහෙම වෙයිද? 

එහෙම වෙන්නෙ මෙය පෞද්ගලික කාර්යයක් නම් තමයි. ඒත් මේ ක්‍රියාදාමය පෞද්ගලික වැඩක් නෙවෙයි. මෙය සමාජයට අපමණ සේවයක් පිණිස සමාජගත කරන කර්තව්‍යයක්. ඉතින් එසේ සමාජගත වන ක්‍රියාදාමයක් බැවින් කුමන රජයක් හෝ කුමන ලේකම් කෙනකු ආවත් මෙම පද්ධතිය තුළ සිදුවන සමාජමය වැඩපිළිවෙළ දිගටම කරගෙනයෑම නොකර ඉන්න බැහැ. ඊට අමතරව අපි දැන් පාරිසරික පනත මේ අවුරුද්දෙ සංශෝධනය කරනවා. එහෙම කළාම පරිසර දූෂණ සම්බන්ධයෙන් වන ගැටලු තත්ත්වයන් මීට වැඩිය බලාත්මක වෙනවා. ඒක නිසා මෙය කවුරු ආවත් කළයුතු සත්ක්‍රියාවක්.

 

මෙය දැවැන්ත ක්‍රියාදාමයක් බැවින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇති සැලැසුම් පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්? 

මෙම කර්තව්‍යයට අනුව එකිනෙකාට සරිලන පරිදි වගකීම් භාරදීම හා එම වගකීම් නිසියාකාරව සිදුකරවා ගැනීම. මේ හරහා ගංගාවල ඉහළ සිට පහළට අපවිත්‍ර වීම වැළැක්වීමත් ජලය අපවිත්‍ර වන එක වැළැක්වීම සඳහා ඉවුරු සංරක්ෂණ වැඩපිළිවෙළක් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ ඒ ප්‍රදේශවලට ගැළපෙන ආකාරයට ගස් සිටුවීම ඉවුරු සවිමත් කිරීම සඳහා. ඒ වගේම මිනිස්සුන්ව ගංගා ආශ්‍රිතවලින් වෙන් කිරීම. මේ සඳහා නිවාස ව්‍යාපෘතින් හඳුන්වා දීලා එම ආශ්‍රිතයන් සරිලන පරිදි නිවාස ව්‍යාපෘති සඳහා යොමු කිරීම.

ඒ වගේම ආගමික හෝ වෙනත් හේතු නිසා ජනතාව ලක්ෂ ගණන් එකතු වන නල්ලතන්නි, කතරගම වැනි ස්ථාන සඳහා වෙනම වැඩපිළිවෙළක් යෙදීම. දැනට මේ ලක්ෂ ගණන් යන එන ස්ථානයක් වෙලත් එහි නිසි සංවර්ධිත වැඩපිළිවෙළක් යොදා නැහැ. අපට දැනගන්න ලැබුණා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නල්ලතන්නිය සංවර්ධනය කිරීමට ප්‍රධාන වැඩපිළිවෙළක් යෙදීමට කටයුතු කරන බව. ඉතින් මම එහි අධ්‍යක්ෂ ජනරාල්තුමාට කිව්වා එහි පාරිසරිකව සිදුවන ක්‍රියාදාමයට අපි සම්බන්ධ වෙලා කටයුතු කරන්නම් කියලා.

 

මෙම වැඩපිළිවෙළින් පසු කිනම් පුද්ගලයෙක් හෝ නැවත ගංගාවල ජලය දූෂණය වන කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් දැනුම් දිය යුතු යම් නිලධාරියෙක් හෝ අංශයක් තිබේද? 

අපි ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙළක් යොදා තියෙනවා. මේ ගංගාවලට හෝ අවට පරිසරයට හානි කරන පුද්ගලයන් දැන ගැනීම සඳහා මහජනතාවට “Mobile App” එකක් හදුන්වා දීම. අපේ නියාමනය අපි දිගටම ගෙනියනවා. ඒ වගේම අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම උපාධිධාරී පත්වීමක් ලද නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම සිට ඒ අවට පාරිසරික ප්‍රශ්න පිළිබඳවම පමණක් කටයුතු කිරීමට.

එයට අමතරව පරිසර නිලධාරීන් මේ සඳහා යොදවනවා. ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ වෙනම අංශයක් මේ සඳහා අපි පැය 24 පුරාම විවෘත වන පරිදි යොදා තියෙනවා.

 

මෙම පරිසරයට හානි කිරීම තුළින් මිනිසාට උද්ගත වන බලපෑම අද වන විට ඉතා බරපතළ තත්ත්වයට පත්වෙලා. ඔබ ඒ පිළිබඳව දක්වන අදහස? 

ඇත්තටම ගංගා ජලයට හානි වෙන්නෙ බොහෝ විට කෘෂිකර්මික කටයුතු සඳහා අධික ලෙස පොහොර භාවිතය. මොකද පොහොර ලැබෙන නිසා ඔහේ කිසි වගකීමක් නොමැතිව ඉහලා දානවා. ඒ වගේම ඕනවට වඩා කෘෂි රසායන භාවිතය. ඇත්තටම එය තාර්කික බවකින් තොරව කියන්න පුළුවන් ගංගා ජලය ප්‍රධාන වශයෙන් දූෂණය වන්නෙ මේ නිසා කියලා.

 

පරිසරය සුරැකීම හෝ මම වැඩසටහන සඳහා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් සහාය දීමට කැමැති අයට ඔබ දෙන පණිවුඩය මොකක්ද? 

සෑම මිනිසකුම වගකීමෙන් බැඳී සිටිනවා පරිසරය සුරැකීමට. ඉතිං එවැනි මූල්‍ය‍මය හෝ ද්‍රව්‍යමය වශයෙන් පරිසරය සම්බන්ධව කටයුතු කරන්නට අප සමඟ එකතු වෙන්න පුළුවන්නම් එය විශාල මෙහෙයක් වෙනවා.

ඊට අමතරව ඇත්තටම දීප ව්‍යාප්තව සහ ප්‍රාදේශීය වශයෙන් පවතින රාජ්‍ය හෝ රාජ්‍ය නොවන පරිසර සංවිධාන හ¾දුනගෙන ඒවා සම්බන්ධීකරණය සහ එම ආයතන මඟින් දායකත්වය ලබාගෙන ඉටුකළ හැකි මෙම වැඩසටහන සඳහා වැදගත් වන කාර්යයන් හදුනාගැනීම සහ එම කාර්යයන් නිසා අනුමැතියක් සහිතව ක්‍රියාත්මක කිරීමත් ප්‍රාදේශීය කමිටුව පත්කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම තමන්ගේ බල ප්‍රදේශයන් අනුව ගංගාවන් ආශ්‍රිත තිරසර පාරිසරික ආර්ථික විභවයන් පිළිබඳ නිසි අධීක්ෂණය, ගඟ දෙපස රක්ෂිතයන් නිසි ලෙස නඩත්තු කිරීම සහ එහි ජෛව විවිධත්ව සංරක්ෂණ කාර්යයන් සඳහා සහාය වීම ප්‍රදේශයේ ජනතාව මෙම සුරකිමු ගංගා ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම, මහජන අදහස් සහ යෝජනා පිළිබඳ සැලකිලිමත් වීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ජනතා සහයෝගය ලබා ගැනීමද දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය කමිටුවල වගකීමක් වෙනවා.

අපේ අමාත්‍යාංශයත් සමඟ සම්බන්ධ වෙලා කටයුුතු කරන වැඩපිළිවෙළක් සැකසීමට බලාපොරොත්තු වෙනවා. ඉතිං එවැනි සංවිධාන හෝ කමිටු ඇති කරගෙන සිටිනවා නම් මම ආරාධනා කරනවා අපි සමඟ එකතු වන ලෙස.

මෙම ජාතික කර්තව්‍යයේ ප්‍රගතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍යවරයාගේත් ගරු පරිසර අමාත්‍යතුමාගේ සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් නිරන්තර අධීක්ෂණයට ලක්කිරීමටද නියමිත වෙලා තියෙනවා.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button