විශේෂාංග

Views ලැබුණු පමණිනින් Youtube වලින් මුදල් උපයන්න බැහැ – හරින්ද්‍ර

හරින්ද්‍ර ජයලාල් නම ඇසූ පමණින් මතකයට නැඟෙන්නේ මානව හිතවාදී නිවේදකයෙක්වයි. නමුත් ඔහු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වුණු පුද්ගලයෙක් නම් නොවෙයි. සාර්ථක ව්‍යාපාරිකයෙක්, දේශකවරයෙක් මෙන්ම සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් ඔහු කටයුතු කරනවා.

 

මේ දවස්වල මොකද කරන්නේ? 

මේ දවස්වල නම් මගේ හරින්ද්‍ර ජයලාල් You Tube නාළිකාවේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව ස්වර්ණවාහිනී නාළිකාවේ විශේෂ වැඩසටහන් සඳහා සුපුරුදු පරිදි සම්බන්ධ වෙනවා. ඒත් එක්කම පසුගිය දවස්වල ජාත්‍යන්තරයට සෞඛ්‍යාරක්ෂිතව ආහාර ආනයනය කිරීම සම්බන්ධව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. එම ව්‍යාපාරයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමෙන් වැඩකටයුතු සංවිධානය කරගෙන යනවා. විශේෂයෙන්ම මගේ නාළිකාව හරහා ආදර්ශවත් දේවල් සමාජගත කළ හැකි වැඩසටහන් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කැප වෙනවා.

ඔබ එක් ක්ෂේත්‍රයකට එක් අංශයකට පමණක් සීමා වුණු පුද්ගලයෙක් නෙවෙයි නේද? 

ඔව්. එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වෙන්න මම කොහෙත්ම කැමති නැහැ. එනිසාම මීට බොහෝ කාලෙකට පෙර මම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඒ වගේම දේශකයෙක් සහ වැඩමුළු උපදේශකවරයෙක් විධියටත් වැඩ කටයුතු ආරම්භ කළා. මේ වෙනකල්ම ව්‍යවසායකත්වයට අදාළ වැඩකටයුතුවල නියැළෙනවා.

ඒ වගේම නිවේදකයෙක්, දේශකවරයෙක්, නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්, සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. එක් අංශයකට පමණක් සීමා වුණාම තියෙන ඒකාකාරී බවෙන් මිදිලා විවිධ අංශ සමඟ කටයුතු කිරීමේදී ලැබෙන විවිධත්වයට සහ ඒ හරහා ලැබෙන අත්දැකීම් ලබා ගන්න මම කැමතියි. ඇතැම් කාලවකවානුවල මම පොත් රචනා කළා. ඒවා ප්‍රකාශයට පත් කළා. ඒ ආදී වශයෙන් ගත්තම මම කාලෙන් කාලෙට විවිධ දේවල් සාර්ථකව සිදු කරලා තියෙනවා.

සමාජ මාධ්‍ය වෙත යොමු වෙන්න හිතුවේ ඇයි? 

මම මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පුවත්පත් මාධ්‍යවේදියෙක් විධියට. ඉන්පසුව ගුවන්විදුලි මාධ්‍යයට සම්බන්ධ වුණා. එතැනින් පසුව රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ වුණා. මේ වෙනකොට සමාජ මාධ්‍ය තමයි ජනතාව වෙත අපේ පණිවුඩය රැගෙන යන්න තියෙන හොඳම සහ පුළුල් පරාසයක විහිදුණු මාධ්‍යය. විශේෂයෙන්ම පවතින නවීනත්වය තුළ නිර්මාණාත්මක අදහස් මතු කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව දැනුවත් විය යුතුයි. සමාජ මාධ්‍ය කියන්නේ ප්‍රබල මෙවලමක්. එම මෙවලම භාවිත කරන්න සුදුසුම කාලය මෙයයි කියලා මම මීට අවුරුදු දෙකකට කලින් තීරණය කළා. ඒ වගේම පියවරෙන් පියවර සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී පුද්ගලයෙක් බවට පත් වුණා.

ඔබේ නාළිකාව තුළින් සමාජයේ නමක් ගොඩනඟාගත්ත ප්‍රසිද්ධ පුද්ගලයන් සහ සමාජයේ විශේෂ පිළිගැනීමක් නොලැබුණු පුද්ගලයන් හොයාගෙන යනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? 

ජනප්‍රිය පුද්ගලයන් සමඟ කටයුතු කළ යුතුයි. ඒ වගේම සමාජයට වැඩදායී පුද්ගලයන්ව ජනප්‍රිය කරවන්නත් කටයුතු කළ යුතුයි. එවැනි චරිතවලට මේ සමාජයේ තැනක් නිර්මාණය කරලා දීම මාධ්‍යවේදියකුගේ වගකීමක්. පසුගිය කාල සීමාවේදී මගේ නාළිකාව හරහා සමාජගත වුණු චරිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. විවිධ පුද්ගලයන්ගේ මතවාද, අදහස් මෙන්ම ජීවිත කතාවන් විවිධ මානයන්ට විහිදුණු හැකියාවලින් පිරිපුන් චරිත පිළිබඳව නාළිකාව තුළින් සාකච්ඡා කළා. ඇතැමුන්ගේ ජීවිත විවරණය පුදුමාකාරයි. එනිසා මම හිතුවා මතු වුණු චරිත පිළිබඳව පමණක් කතා කරනවා වෙනුවට සමාජයට වැඩදායක චරිත මතු කිරීමේ අභියෝගය සාර්ථකව ඉටු කළ යුතුයි කියලා.

මෙනිසා ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? 

ප්‍රතිලාභ කියන දෙයින් බොහෝ දේවල් අදහස් වෙනවා. ප්‍රධාන වශයෙන් සමාජ ප්‍රතිලාභයක් සහ ධනපති ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙවැනි කාර්යයක් සිදු කිරීමෙන් ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයක් ලැබෙනවා. වගකීම් සහගත නාළිකාවක් ලෙස විශ්වාසයක් ගොඩනැඟෙනවා. සරල සිල්ලර වැඩසටහන් වෙනුවට අභියෝගාත්මක වටිනා අන්තර්ගතයක් සහිත වැඩසටහන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

You Tube කියන්නේ මුදල් ඉපැයිය හැකි මාධ්‍යයක්. නමුත් Views ලැබුණු පමණින්ම ආදායම් ලබන්න බැහැ. මුදල් ඉපැයීමට බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් වගකීම් සහගත මාධ්‍යවේදියෙක් විධියට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හොඳම දේ ලබා දිය යුතුයි. එහෙම කළාම නිසි ප්‍රතිලාභ ලැබෙනවා. ඒක සාර්ථකත්වයේ ප්‍රතිඵලයක්.

 

මේ වෙනකොට විවිධ තරාතිරම්වල ඉන්න අය ප්‍රධාන නාළිකා හරහා හෝ සමාජ මාධ්‍ය හරහා විවිධ දේවල් කරනවා. විවිධ පුද්ගලයන්ව ධ්දබඥපමඪඥඹ කරනවා. වැදගත් දේවල්වලට වඩා නොවැදගත් දේ පිළිබඳව කතා කරනවා. මීට වඩා විශාල කර්තව්‍යයක් මාධ්‍ය හරහා කරන්න පුළුවන් නේද? 

ඒක විවාදාත්මකයි. අපිට විවිධත්වය දැකිය හැකි විය යුතුයි. හරවත්, රසවත්, වැදගත්, සරල, සැහැල්ලු වැඩසටහන්වල එකතුවක් තමයි සමාජයක් නියෝජනය කිරීමක් කියලා හැඳින්වෙන්නේ. මාධ්‍යවේදීන් ලෙස ප්‍රේක්ෂකයාගේ හිතට සතුටක් මෙන්ම ඔවුන්ට යමක් හිතන්න ඉඩක් ලබා දෙන වැඩක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. කවුරු මොන දේ කොහොම කළත් සමාජයට තවත් අඩියක් ඉස්සරහට තැබිය හැකි යමක් සමාජගත කරන්න ඕනි. ඒ කරන කියන කිසිම දෙයක් ප්‍රේක්ෂකයන්ට වැරදි ආදර්ශයක් ලබා නොදිය යුතුයි. සෑම සාර්ථක කර්තව්‍යයකම ප්‍රතිඵලය යහපත්, ධනාත්මක සහ සුබවාදී විය යුතුයි.

සමාජ මාධ්‍ය පැත්තකින් තියලා ප්‍රධාන මාධ්‍ය ගැන කතා කළොත් දැන් හැම දෙයක්ම මුදලට යට වෙලා නේද? 

ඒක ඇත්තටම මුදලට යට වෙලා කියන්නමත් බැහැ. මොකද වර්තමානය වෙනකොට මුදල් නැතුව කරන්න පුළුවන් දෙයක් නැහැනේ. වැඩසටහනක් කරන්නම නාළිකාවක් විශාල මුදලක් වැය කරනවා. විශාල අභියෝගයකට මුහුණ දෙනවා. නාළිකා කියන්නේ පුණ්‍යායතනයන් නෙමෙයි. ඔවුන් වියදම් කරන මුදල නැවත උපයාගත යුතුයි.

ඒ වෙනුවෙන් හරවත් වැඩසටහන් නිර්මාණය කළ යුතුයි. එහෙමයි කියලා හැමදේම මුදල් මතම පදනම් විය යුතු නැහැ. සදාචාරය අමතක කළ යුතු නැහැ. ඒක හරියට ලංකාවේ ඡන්දය වගේ තමයි. මිනිස්සු කියනවා නරක මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්න එපා කියලා. නමුත් ජනතාව ඡන්දේ දුන්න නිසා තමයි නරක මිනිස්සු පාර්ලිමේන්තුවට ගිහින් ඉන්නේ. හැමදෙයක්ම මුදල් මත පදනම් වෙලා තියෙන කාලයක මාධ්‍ය ආයතනයකට මුදල් නැතුව මේ දේවල් කරන්නත් බැහැ.

මාධ්‍ය ජීවිතය ගැන කෙටියෙන් මතක් කරමුද? 

මාධ්‍ය ජීවිතය දැන් අවුරුදු 20කටත් වැඩියි. මුලින්ම උසස් පෙළ ඉවර වුණු ගමන් “සඳරේණු” පුවත්පතේ වැඩ කළා. ඉන්පසු ‘ලක්හඬ’ ගුවන් විදුලි නාළිකාවේ සහ ‘තරු FM’ ගුවන් විදුලි නාළිකාවේ සේවය කළා. විශ්වවිද්‍යාල ජීවිතයට ඇතුළත් වුණු අවධියේදී ‘ස්වර්ණවාහිනී’ නාළිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අතරතුරේදී උපාධිය සම්පූර්ණ කරලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය සම්බන්ධව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා.

ඉන්පසුව පුහුණු නිෂ්පාදකවරයෙක් සහ නිවේදකවරයෙක් ලෙස වැඩ කළා. 2012 වන විට මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් විධියට ස්වර්ණවාහිනිය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්තා. එනිසාම 2012න් පසුව නිදහස් වැඩසටහන් නිවේදකයෙක් විධියට කටයුතු කළා. එක කාර්යයකට පමණක් සීමා වීමට තිබූ අකමැත්ත නිසාම මම සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කළා. වසර කිහිපයකට පෙර Best Voice Meadia Academy පුහුණු පාඨමාලා ආයතනයක් පටන් ගත්තා. ඒ විධියට තමයි මාධ්‍ය ජීවිතය මේ දක්වා ගෙවුණේ.

නිකේෂලා රණතුංග

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button