දේශීය පුවත්ප්‍රධාන පුවත්

හෙට පාසල් යන බස්නාහිර දරුවන්ගේ දෙමව්පියන් හට විශේෂ දැනුම්දීමක්

බස්නාහිර පළාතේ සියළු ම පාසල්වල සියළු ම ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු හෙට (29) ආරම්භ කිරීම ට නියමිත වනවා. එමෙන් ම බස්නාහිර පළාතේ සියලු පෙර පාසල් ද හෙට ආරම්භ කිරීමට නියමිත ව තිබේ.

බස්නාහිර පළාතේ පාසල්වල 5,11 සහ 13 ශ්‍රේණි පමණක් අධ්‍යයන කටයුතු සඳහා පසු ගිය 15 වැනි දා ආරම්භ කර තිබුණි. සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනි දා ආරම්භවීම ට නියමිත ව තිබුණත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ අනුමැතිය හිමිවීමත් සමඟ බස්නාහිර පළාතේ සියළු පාසල්වල සියළු ශ්‍රේණි අධ්‍යයන කටයුතු වෙනුවෙන් හෙට ආරම්භ කිරීම ට තීරණය විය.

එමෙන් ම බස්නාහිර පළාතේ පෙරපාසල් ද හෙට සිට යළි විවෘත කිරීමට නියමිතයි. මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල සියළු ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ නොවන අතර අප්‍රේල් මස 05
වන දා ඒවා ආරම්භ කරන බව කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුණු ඩයස් පියතුමන් සඳහන් කළේ ය.

මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භකර පවත්වාගෙන යෑමේ දී ඊට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කිරීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමය පවස යි.

ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසිල්ලෙන් පසුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසී ය.

සිසුන් පාසල් වෙත යොමු කිරීම ට පෙර ඔවුන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දෙමව්පියන් විමසිල්ලෙන් පසු විය යුතු බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසී ය.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳ ව නිසි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button