ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

යාමි ගෞතම් යෝග ව්‍යායාම කිරීමේ රහස

කොරෝනා වසංගතයට පින්සිදු වෙන්නට පසු ගිය වසරේ නළුනිළියෝ සිය කාර්යබහුල ජීවිතයෙන් සිත්සේ ව්‍යායාම කරන්නට කාලය සොයා ගත්හ. යමී ගෞතම් තෝරා ගත්තේ යෝග ව්‍යායාම කිරීමය.

“මම ඉස්සර යෝග ව්‍යායාම කරන්න උත්සාහ කළා.. මගේ බෙල්ලේ ආබාධය නිසා ඒක සාර්ථක වුණේ නෑ.. ව්‍යායාම කරන්න උත්සාහ කරපු හැම වෙලාවෙම මම ඒක නැවැත්තුවේ තිබ්බටත් වැඩි වේදනාවක් විඳලයි.. මේ සැරේ මම මගේ සිරුරට වේදනා දීලා ඒ තුළින්ම සුව වෙන්න ඉඩ දුන්නා.. ඒක මැජික් එකක් වගේ ක්‍රියාත්මක වුණා.. දැන් මට යෝග ව්‍යායාම කරන්න අමාරුවක් නෑ..”
බොම්බේ ටයිම්ස් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී යමී ගෞතම් සඳහන් කර තිබිණි.

ඇයගේ බෙල්ලේ ආබාධය ඇති වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදී මුහුණ දෙන්නට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි. එය දිගින්දිගටම ඇයට පීඩා කරමින් තිබිණි.

හදිසි අනතුර සිදු වූ කාලයේ ඇය චන්දිගාර්හි සරසවියක ඉගෙනුම ලබමින් සිටියාය. එක් දිනෙක ඇය සිය මෝටර් සයිකලයෙන් සරසවියට එමින් සිටියාය. ඉදිරියෙන් ගිය කාරය දකුණට හරවන බව අඟවමින් සංඥා පහන දැල්වුවත් හැරෙව්වේ වමටය.

“ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්නවත් මට කාලයක් තිබ්බෙ නෑ.. මගේ මෝටර් සයිකලය කාරෙකේ වැදිලා මාත් එක්කම බිම වැටුණා.. කාරෙක නවත්තන්නෙ නැතුවම ගියා.. වාසනාවට මම බේරුණේ.. නැත්නම් මම බිම වැටිලා ඉඳිද්දී පිටිපස්සෙන් ආව වාහනයක් මාව යට කරගෙන යන්න ඉඩ තිබ්බා.. කවුද මහත්තයෙක් ඇවිත් මාව එතනින් නැගිට්ටවලා පාර අයිනට ඇදලා ගත්තා.. ඇත්තටම අදටත් මට ඒ අනතුර මතක් වෙනකොට පුදුමාකාර බයක් දැනෙන්නෙ..” යමී කීවාය.

ඒ සීත කාලය වූයේය. උතුරේ සීතල ඉතාමත් දැඩි බැවින් ඒ කාලයේදී ඕනෑම කෙනෙක් සිටින්නේ ඇඳුම් තට්ටු කිහිපයක් ඇඳගෙනය.
“මමත් ඒ විදියට ඇඳුම් කිහිපයක්ම ඇඳගෙන හිටිය හින්දයි, හෙල්මට් එක දාගෙන හිටිය හින්දයි පිටින් මාරාන්තික තුවාලයක් වෙන්නෙ නැතුව බේරුණා.. ඒත් මගෙ බෙල්ලෙ ඇටයක් පුපුරලා හින්දා මට කවදාවත් ව්‍යායාම කරන්න බැරි වෙයි කියලා වෛද්‍යවරයා කිව්වම තමයි මට තේරුණේ අනතුරේ බරපතලකම..” ඇය කීවාය.

ඒ වන විට ඇය සිටියේ නීති අංශයෙන් අධ්‍යාපනය හදාරමිනි. ඇගේ අරමුණ වූයේ ඉන්දියානු පරිපාලන සේවයට ඇතුළත් වීමය. එහෙත් අනතුරින් පසුව ඇගේ අරමුණ වෙනස් වූයේය. ඇය රංග කලාව හදාරන්නට පටන් ගත්තාය.

වෙළෙඳ දැන්වීම්වල රඟ පාමින් සිටි ඇය පළමුව පය තැබුවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටය. චාන්ද් කේ පාර් චලෝ ඇය රඟ පෑ මුල්ම ටෙලි නාට්‍යයයි. යේ ප්‍යාර් නා හෝගා කාම්, රාජ්කුමාර් ආර්යාන් ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකම ඇය රඟ පෑවාය.

කන්නඩ, මලයාලම්, තෙළිගු, දෙමළ සහ පනංජාබි චිත්‍රපටි කිහිපයකම රඟ පෑ යමී හින්දි සිනමාවට පිවිසියේ ප්‍රහසන චිත්‍රපටියක් වූ විකී ඩෝනර් හි ප්‍රධාන චරිතය රඟ පාමිනි. ඇය අවසානයට දකින්නට ලැබුණේ බාලා චිත්‍රපටියේය. ඇය රඟ පෑ භූත් පොලිස් සහ දාස්වි තවම තිරගත වී නැත.

නිළියක ලෙස ඇයට විවිධාකාර චරිත රඟ පාන්නට සිදු වන අතර සිරුරේ මනා හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම කරන්නට ද සිදු වෙන්නේය. එවන් අවස්ථාවල ඇය යටපත් කරගෙන සිටින වේදනාව නිතැතින්ම මතු වෙන්නේය.

“අඟල් පහක් විතර උස අඩියක් තියෙන සපත්තු දෙකක් දාගෙන ටිකක් වෙලා එහාට මෙහාට දුවනකොට බෙල්ලේ වේදනාව මතු වෙන්න පටන් ගන්නවා.. ඒ හින්දා මම හුඟක් පරිස්සමින් තමයි රඟ පාන්නෙ.. යෝග ව්‍යයාම කරන්න පටන් ගත්තමත් එහෙමයි වුණේ.. ඒත් මේ සැරේ මම වේදනාව ගැන හිතන්නෙ නැතුව යෝග කරන්න උත්සාහ කළා.. ඒක හොඳ උත්සාහයක් කියලා මට දැනෙනවා..” ඇය කීවාය.

පිටත පෙනුමින් කෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව තීරණය නොකරන ලෙස ද ඇය ඉල්ලා සිටින්නීය.

“පිටින් හොඳ සෞඛ්‍ය සම්පන්න විදියට පෙනුණත් ඒ අය තුළ සඟවා ගත්ත ආබාධ තියෙන්නෙ පුළුවන්..” ඇය කියයි.
මෝටර් සයිකල් පදින කාන්තාවන් දකින විට අදටත් යමී එදෙස බලන්නේ භීතියෙන් යුතුවය. කිසි විටෙකත් ආරක්ෂක හිස්වැසුම් නොපැළඳ යතුරු පැදි ධාවනය නොකරන ලෙස ඇය අවධාරණාත්මකව කියන්නීය.

“සමහර කාන්තාවෝ කොණ්ඩා මෝස්තරය අවුල් වෙයි කියලා බයට හෙල්මට් දාන්නෙ නෑ.. ස්කාෆ් එකක් ඔළුවෙ ගැට ගහගෙන යනවා.. හම කළු වෙන එක වළක්වා ගන්න පමණට වඩා ලොකු කමිස අඳිනවා.. ඒත් අපි සැළකිලිමත් වෙන්න ඕන ඒවා ගැන නෙමෙයි.. ආරක්ෂාව ගැන.. මොන දේ කරන්නත් ජීවත් වෙලා ඉන්න එපායැ..”

ඇගේ එවදන් ඕනෑම අයෙකුට හොඳ පාඩමක් නොවන්නේද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button