ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මගේ ප්‍රතිරූපයට හානියක් වුණොත් එය මගේ පවුලට වගේම මගේ දරුවන්ටත් බලපානවා

‘උදුලාවතී’ අපට හමුවන්නේ මෙයට වසර කිහිපයකට උඩදී. ඒ ‘හැන්දෑව’ ටෙලිනාට්‍ය හරහා. ඇය නිරූපණය කළ චරිතය උදෙසා ඇයට සම්මානද හිමිවුණා. ඉන්පසු හෙමින් ගමනක් යන අතරතුර ඇය නැවැත නතර වූයේ ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයේ ‘වත්සලා’ ලෙසට. තම ආදරණීය දියණිය ඉන්න තත්ත්වය දැන දැනත් ‘වත්සලා’ කරන දේ හොඳ වැඩක් නෙවේ. එහෙත් ඇය මෙහෙම කරන්නේ ඇයි දැයි දැනගැනීමට ජනප්‍රිය රංගන ශිල්පිනී ඉරේෂා රණසිංහව සම්බන්ධ කරගත්තා.

ඉරේෂාගේ ජීවිතයේ සිහිනය කොයි වගේද?

කිසිම කෙනකුට කරදරයක් නොවී සරලව ජීවත් වීම මගේ එකම සිහිනය. ඒ වගේම මගේ දරුවන්ට හරි දේ කියා දෙමින් ඔවුන්ව හොඳ පුරවැසියන් බවට පත්කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව.

ඔබගේ සිහිනය ගැන එහෙම කියන කොට, ‘සංසාර සිහිනයේ’ ටෙලිනාට්‍යයේ අපි ඔබව දකින්නේ වෙනස්ම විදිහකට?

‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍ය මම ‘වත්සලා’ චරිතය තමයි රඟපාන්නේ. මගේ සැමියා ලෙසට රඟපාන්නේ හර්ෂ තෙන්නකෝන්. දේපළ තණ්හාව නිසා වත්සලා ටිකක් නපුරුයි. ඒ නිසා තමයි නංගිට හතුරුකම් කරන්නේ. හැබැයි නංගිට ආදරයක් නැතුව නෙවෙයි.

ඉරේෂා මේ ඉන්නවා නිර්මාණවල හිටිගමන් නැවැත නිර්මාණවල දැකගන්නට නැහැ. ඇයි මෙහෙම වෙන්නේ?

එයට ප්‍රධාන හේතූන් කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම මම රඟපාන්න සම්බන්ධ වෙනකොට චරිතය ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. එහෙම ආවට ගියාට මම නිර්මාණවල වැඩ කරන්නේ නැහැ. ඒ වගේම නිර්මාණවලින් ආරාධනා අඩුවක් තිබෙනවා අපිට.

සම්මාන ගත්ත නිළියන්ට ආරාධනා අඩුවක් කියන්නේ බොරුවක් වෙන්න පුළුවන්?

මෙහෙමයි. මට එහෙම ජනප්‍රිය වෙන්න කිසිම වුවමනාවක් නැහැ. හිතේ ආශාවට තමයි මම රඟපාන්නේ. ඉතින් ආරාධනා ලැබුණත් ඒ නිර්මාණවල මට යමක් කරන්නට දෙයක් නැති නම් මම සම්බන්ධ වෙන්නේ නැහැ.

‘හැන්දෑව’ ටෙලිනාට්‍ය ඔබේ කලා දිවියේ කඩඉමක් නේද?

2005 තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ආරියරත්න ඇතුගල අධ්‍යක්‍ෂණය කළ ‘සමනල කඳවුර’ ටෙලිනාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ‘හැන්දෑව’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘උදුලාවතී’ චරිතය උදෙසා 2010 හොඳම රංගනය වෙනුවෙන් ජූරියේ සම්මානයක් මට ලැබුණා.

‘උදුලාවතී’ වගේ සුවිශේෂී චරිතයක් පසුකාලීනව ඔබේ රඟපෑම තුළ දැකගන්නට ලැබුණේ නැහැ?

මමත් ගොඩාක් ආශාවෙන් හිටියේ ඒ වගේ ගැමි චරිතයක් රඟපාන්න. ඒත් එවැනි නිර්මාණ අඩුවක් අපි දකිනවා. ඉතින් එවැනි ගැමි චරිතයක් කරන්න මම තවමත් ආශාවෙන් මම බලන් ඉන්නවා.

චරිත ගැන ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ මවක් නිසාද?

මම එදා ඉඳලා මම ගැන හිතලා තමයි වැඩ කළේ. මගේ ප්‍රතිරූපයට හානියක් වුණොත් එය මගේ පවුලට වගේම මගේ දරුවන්ටත් බලපානවා. ඉතින් මම කැමැති නැහැ නිකරුණේ ප්‍රශ්න දාගන්න.

ඔබත් අනෙකුත් ශිල්පීන් වගේම ව්‍යාපාර පැත්තට යොමුවෙන්න යන බව ආරංචියි?

ඔව්. මේ දවස්වල මගේ සැලසුම සැලොන් එක ගැන තමයි. රටේ මේ වසංගත ප්‍රශ්න ඉවර වුණාම ඒ වැඩකටයුතු පටන්ගන්නවා.

වසන්ත විතාරණගේ
Courtesy  – Mawratanews.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button