දේශීය පුවත්ප්‍රධාන පුවත්විශේෂාංග

මම අහස උසට පෙති පිළිම නොහැදුවාට ඔක්සිජන් වනාන්තරයක් රැකලා දුන්නා – වනවාසී රාහුල හිමි කියන කතාව

මම අහස උසට පෙති පිළිම නොහැදුටාට මගේ රටට ඉතාම පිරිසුදු අක්කර 2,000ක් වූ නා ගස්වලින් පිරුණු ඔක්සිජන් වනාන්තරයක් රැකලා දුන්නා. ඒ මගේ උපන් දේශයට කළ මේ උදාර ජාතික මෙහෙවර ප්‍රමාණවත් කියලා මට හිතෙනවා.

ජාතික නාමල් උයන දශක තුනක් රැකබලාගත් වනවාසී රාහුල හිමියන් සිය අතීත ආවර්ජනය අරඹමින් එසේ පවසති. තමන් වහන්සේගෙන් ජාතියට ඉටුවිය යුතු යුතුකම් කොටස නිසි ලෙස ඉටු කළ නිසා තමන් වහන්සේට දැන් සැනසිල්ලේ කැලයේ ගසක් යට හෝ අපවත් විය හැකි යැයි ද උන්වහන්සේ පවසති.

ජාතික නාමල් උයන යනු ජාතියේ උරුමයකි. රාහුල හිමියෝ නාමල් උයනට එ්මට පෙර එම වනය හැඳින්වූයේ ‘නා කැලය’ ලෙසිනි. කිසිවකුට එහි වටිනාකමක් නොතිබිණි. ඉතිහාසයක් වසාගෙන තිබූ එම වනය බොහෝදෙනාට නිකම්ම නිකම් නා කැලයක් පමණක් විය.

ලෝකයේ ඉතා දුර්ලභ රෝස තිරිවානා නිධිය ඒ යුගයේ ප්‍රදේශවාසීන් හැඳින්වූයේ ලුණු ගල් වශයෙනි. එම නිධිය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වූයේ රාහුල හිමියන්ගේ ආගමනයත් සමගය. ඒ නිකම්ම සිදු වූවක් ද නොවේ. මේ කටයුත්තේදී රාහුල හිමියන්ට රෝස තිරිවානා නිධියේ ඇති ගල් කැට තරමට වඩා රාහුල හිමියෝ නින්දා අපහාස වින්දාහ. බැණුම් ඇසූහ. තර්ජන ගර්ජනවලට ලක්වූහ. එහෙත් ඒ කිසිම බාධකයකට රාහුල හිමි සෙලවිය නොහැකි විය. උපතින්ම කෙසඟ සිරුරකට හිමිකම් කියන රාහුල හිමියන් නාමල් උයන රැකබලා ගැනීමට යෝධයන් සමඟ හැප්පුණහ. අවසානයේ එම යෝධයෝ මේ කෙසඟ සිරුර හිමි හිමියන් ඉදිරියේ දණ නැමූහ.

“හැබැයි එදා ඉඳලා කැලෑ හොරුන්ට මාව පෙන්නන්න බැරි වුණා. ගස් කපන අයව මුණගැහුණම මම ඒ අයට මුලින් හොඳින් කියනවා. හුඟක් අය මගේ කීම අහලා කැලෙන් පිටවී ගියා. ඒත් එක දවසක් නියම වැඩක් වුණා. එක කට්ටියක් ගස් කපන්න කැලෑවට ආවා. මම කිව්වා ගස් කපන්න එපා යන්න කියලා. ඒත් ඒ මිනිස්සු ඇහුවේ නැහැ. මාත් එක්ක වාද කරන්න ආවා.මාව බය කරන්න හැදුවා. මම බය වුණේ නැහැ. එක ගහකට අත තියන්න දුන්නේ නැහැ.

සිවුර නැත්නම් තමුසෙවත් ඉරනවා කියලා කිව්වා. එදා නම් මම ඒ කට්ටියට හොඳ පාඩමක් ඉගැන්නුවා මදි නොකියන්න. මම කට්ටියටම හල්මිල්ල පොල්ලකින් සලකලා ඉවර වෙලා කිව්වා පුළුවන්නම් තොපේ ලොක්කට එන්න කියාපියව් කියලා. ලොක්කා නම් ආවේ නැහැ. හැබැයි ගෝලයෙක් එව්වා රුපියල් පන්දාහක කොන්ත්‍රාත්තුවකට මාව මරන්න. කැලේ ගස් ඉරන්නේ ගමේ අහිංසක මිනිස්සු නෙවෙයි, ජාවාරම්කා​රයෝ.”

කැලය රැක ගැනීමේදී රාහුල හිමියෝ මුහුණ දුන් අත්දැකීමක් විස්තර කළේ එසේය.

නාමල් උයන වන සතුන්ගෙන් ගහණ වනයකි. මෙය සුවිශේෂි පරිසර පද්ධතියකි. සමහර මිනිස්සුන්ගෙන් මෙන් උන්වහන්සේට එම වන සතුන්ගෙන් හිරිහැරයක් කිසි දිනක සිදුවී නොමැත.

මම නාමල් උයනට ඇවිත් මුලින්ම වාඩි වුණේ මහ පිඹුරෙකුගේ ඇඟ උඩ. මම ඇවිදගෙන ඇවිත් මහන්සියට නාමල් උයනේ ගල් පාත්‍රය උඩ වාඩි වුණා. මට නිකම් රබර් මෙට්ටයක් උඩ ඉඳ ගන්නවා වගේ දැනුනා. ඒ එක්කම සතෙක් හුස්ම ගන්න සද්දයකුත් ආවා. මට ටිකක් සැක හිතිලා එතැනින් නැගිටලා කෝටුවක් අරන් පාත්‍රය උඩ තිබුණු කොළ රොඩු ටික එහාට මෙහාට කළා. එතකොට තමයි දැක්කේ මහ විශාල පිඹුරෙක් රවුම් ගැහිලා නිදාගෙන ඉන්නවා. මගෙන් එ් සතාට හිරිහැරයක් වුණෙත් නැහැ, සතාගෙන් මට හිරිහැරයක් වුණෙත් නැහැ. හැබැයි එදා මම හිතාගත්තා කකුල් දෙකේ මිනිස් සත්වයන් එක්ක ජීවත් වෙනවාට වඩා මේ වන සතුන් එක්ක ජීවත් වෙන්න ඕනෑ කියලා.

වනවාසී රාහුල හිමියෝ මුලින්ම නාමල් උයනට වැඩම කළ දිනයේ ලැබූ අත්දැකීම් සිහිපත් කළේ එලෙසය.

“මම දවසක් හවසක ත්‍රීවීල් එ​කේ යනකොට එක පාරටම කැලය මැදින් අලියෙක් පැන්නා. අලියා ත්‍රීවීල් එකට ගහලා පොඩි කළා. මමයි ත්‍රීවීල් එක පදවපු ළමයයි විසි වුණා. මගේ ආවාසයට එතන ඉඳලා කිලෝමීටර් 1/2ක් වගේ දුරක් තිබුණේ. කොහොම හරි මම හැමදාම කන්න දෙන බලු රංචුවක් හිටියා. මේ බලු රෑන කොහෙන් ආවද මන්දා එක පාරටම එතනට ආවා. ඇවිත් අලියාට බුරාගෙන පැන්නා. අලියා එහෙමම කැලයට දිව්වා. මම හිතනවා මේ සොබාදහම් අම්මා මම රැකගන්නවා වගේම මාව ඒ සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා කියලා.”

රාහුල හිමියෝ වල් අලි ප්‍රහාරයකින් ද බේරුණේ එලෙසය.

අත්හැරීම ගැන අපට බොහෝවිට අසන්න ලැබෙන්නේ දේශනා පමණි. අත්හරින්න යැයි ශ්‍රාවකයාට ​දේශනා කර තව තවත් රැස් කරගන්නා සමාජයක අත්හරින්නේ කෙසේ දැයි සමාජයට ක්‍රියාවෙන් ඔප්පු කළ යතිවරුන් කිහිපදෙනා අතර වනවාසී රාහුල හිමියන්ට ද මුල් තැනක් හිමි වේ. තම ජීවිතය මෙන් රැකගත් නාමල් උයන උන්වහන්සේ අත්හළහ. ඒ හා සම්බන්ධ සියලු චංචල නිශ්චල සියලු දේපොළ අත්හළහ. ඒ සියල්ල උන්වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලට නීත්‍යනුකූලව බාරදුන්හ. ඒ මතු පරපුරට නාමල් උයන රැකදීම සඳහාය.

මට ඕනෑ වෙලාවක දැන් ගහක් යට වුණත් මැරෙන්න පුළුවන්. මට දේපළ ගැන, බැංකු පොත් ගැන හිත හිත හිතෙන් මැරි මැරී මැරෙන්න ඕනෑ නැහැ. මට දැන් ඕනෑ වෙලාවක ගමන් මල්ලයි කුඩෙයි අතට අරන් නිදහසේ එළියට බහින්නත් පුළුවන්. මට දැන් කිසි බරක් නැහැ. මුල් කාලයේ මේ ප්‍රදේශයේ බොහෝ ගිහි පැවිදි අය පවා සිතුවේ මම මේ වනයට අරක්ගත් කුම්භාණ්ඩයෙක් කියලා. පොට්ටනි ගගහ එකතු කරන්න මට වුවමනා වුණේ නැහැ. අනික මට චෝදනා අපහාස කරන හා කරපු අයගෙන් මම අහනවා ඔබ හදවතට තට්ටු කර අහන්න ඔබ මේ රටට දැයට හෝ අඩුම තරමින් ගමට කර ඇති සේවය මොකක්ද කියලා. අනුන්ගේ සේවාව විවේචනය කිරීමට පෙර තමන් සේවාවක් කර තිබේ ද යන්න තමන්ගෙන්ම අසා බලන්න ඕනෑ. භික්ෂුවක් වශයෙන් මගේ යුතුකම උපරිමයෙන් ඉටු කළා. නාමල් උයන අද ලෝකයේම ප්‍රසිද්ධයි. ලෝකයේ හැම රටකින්ම අද නාමල් උයන නරඹන්න එනවා. මම එදා දහදුක් විඳගෙන මේ නාමල් උයන රැකගත් නිසා අද එය රටට විදේශ ආදායම ගෙන එන ස්ථානයක් බවට පත්වුණා. මම නැති කාලෙක වුණත් නාමල් උයන දකිනවිට මගේ සේවය කාටත් සිහිපත් වේවි.”

සත්‍ය වශයෙන්ම රාහුල හිමියන්ගේ නාමය ඉතිහාසගත වෙනු ඇත. උන්වහන්සේගේ කතාබහ ඇතැමුන්ට රිසි වූයේ නැත. ඒ උන්වහන්සේ මඳක් සැරපරුස ආකාරයෙන් කතා කරන නිසාය. රාහුල හිමිගේ ස්වරය දැඩිය. එහෙත් අනුන්ගේ දුකේදී පිහිටවෙන සිතක් උන්වහන්සේට ඇත. ඇතැමෙකු උන්වහන්සේ දිඹුලාගල නාහිමිගේ චරිතයට සමාන කරති.

අද තව පැත්තකින් සතුටු වෙනවා මම, නාමල් උයනට ආපු මුල් කාලයේ මට විරුද්ධව උද්ඝෝෂණ කළ, මට පෙත්සම් ගහපු, මට කැලෑ පත්තර ගහපු සමහර මිනිසුන්ගේ දරුවන්ට නාමල් උයන ව්‍යාපෘතිය යටතේ රැකියා ලබාදීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.” යැයි රාහුල හිමියෝ පවසති.

නාමල් උයන පිහිටා ඇත්තේ ඓතිහාසික අවුකන, දඹුල්ල, ඉබ්බන්කටුව, කලාවැව යන ස්ථානවලට මැදිව නිසා නාමල් උයනේ වටිනාකම තවත් වැඩි වී තිබේ.

රාහුල හිමියෝ කළමනාකරණයට දක්ෂය. රාජ්‍ය ආයතනයක්, පන්සලක් හෝ වෙනත් ආයතනයක් කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න රාහුල හිමිගෙන් ආදර්ශ ලබාගත හැකිය. දශක තුනකට ආසන්න කාලයක් උන්වහන්සේ ජාතික නාමල් උයන නිසි ලෙස කළමනාකරණය කළහ.

මට මේ ගමන මෙතරම් ශක්තිමත්ව එන්න පුළුවන් වුණේ මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලැබුණු සහාය නිසයි. දිවයින පුවත්පත වගේම ඉරිදා ලංකාදීප, දිනමිණ, රිවිර, ලක්බිම, මව්බිම, බුදු සරණ, සිළුමිණ, දේශය ආදී සිංහල ඉංග්‍රීසී සෑම පුවත්පතක්ම මට සහාය දුන්නා. මේ මොහොතේ මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු වන එඩ්මන් රණසිංහ මහතා ප්‍රධාන සියලුම කතුවරුන්ව.

මගේ ඇස් දෙක පියවෙන්න පෙර නාමල් උයන වෙනුවෙන් තවත් යමක් කිරීමට මගේ හිතේ තියෙනවා. ඒ රෝස තිරිවානා නිධිය බැලීමට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. මම හිතනවා එය සාර්ථක වුණොත් රටට තවත් විදේශ විනිමය සපයා ගන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු වෙයි කියලා මම හිතනවා. රටේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු වීමට එය හේතුවක් වේවී.

ගස් වැවීම වගේම වනය රැක ගැනීම දිවා රෑ පින් වැඩෙන පින්කම් කියලා සංයුක්ත නිකායේ වන​රෝපා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ පින්කම මම සිදුකර අද සතුටු සිතින් ඉන්නවා.”

රටට ලෝකයට වටිනා පරිසර පද්ධතියක් හඳුන්වා දී එය රැකගත් වනවාසී රාහුල හමියෝ අද සතුටු වෙන්නේ එලෙසිනි.

වනවාසී රාහුල හිමියන්ගේ මෙම චරිතය තුළින් වර්තමාන ගිහියන් හට මෙන්ම තරුණ භික්ෂුන්වහන්සේලාට ආදර්ශ රැසක් ගත හැක. පක්ෂ දේශපාලනය නොකර පක්ෂ රකින භික්ෂු චරිතයක් නොවී සැබෑ බෞද්ධ

දර්ශනය රැක ගැනීමටත්, මෙවැනි වටිනා සම්පතක් රැක ගැනීමටත් රාහුල හිමියන්ගේ චරිතය තුළින් ආදර්ශ ලබාගත හැක. වර්තමානයේ දී පවා රාහුල හිමියන් හමුවීමට පැමිණෙන තරුණ භික්ෂුන් වහන්සේලාට මෙන්ම ගිහියන්ට ද උන්වහන්සේ නිරතුරු කමටහන් ලබාදෙනුයේ “පරිසරයට ආදරය කරන්න, එය රකින්න” යනුවෙනි.

ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලෝකවාසී ජනතාව ද උන්වහන්සේට ණයගැති වේ. මන්ද වනාන්තර විනාශ වෙන යුගයක රාහුල හිමියන් නොසිටින්න මෙම භූමිය අද වනවිට මුඩු බිමක් වනු නොඅනුමානය.

courtesy to ‘Silumina’

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button