ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මට මේ වගේ අසනීපයක් හැදෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ

පුංචි තිරයේ අහිංසකාවියගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන්ගේ නිරන්තර ආදර ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි හදගැස්ම කතාබහට එකතු කරගන්නට අප සිතුවා. සුපුරුදු ළෙන්ගතුකමෙන් යුතුව ඇයගේ තොරතුරු බෙදා හදා ගන්නට ඇය ඉතාමත් ආදරයෙන් අප හා සමීප වූවා.

කොහොමද ඉතින් ජීවිතේ?

නිවෙස ඇතුළටම වෙලා ජීවිතේ බොහොම සරලව නිදහසේ ගෙවනවා.

සැප සනීප කොහොමද?

මට දැනෙන විධියට මම හොඳින් සනීපයෙන් සුවෙන් සිටිනවා.

ළඟදී කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

ඇත්තටම කියන්න කනගාටුයි. මේ වසංගත තත්ත්වය සහ මගේ සෞඛ්‍ය තත්ත්වය නිසා ළඟදී කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මට දැනුණට මම හොඳින් සිටිනවා කියලා ඇත්තටම සියයට සියයක් සුවවෙලාද කියලා කියන්න බැහැනේ. දශම ගණනක හෝ අවදානමක් තිබෙන්න පුළුවන්. එම නිසා මම ප්‍රවේශම් විය යුතුයි. කොරෝනා තත්ත්වය අවදානම අඩු වූ කාලයෙහි ආරියරත්න ඇතුගල මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු ආරම්භ කළා. නැවත කොරෝන අවදානම වැඩි වීමත් සමඟ අපි රූගත කිරීම් නතර කළා.

ඒ කියන්නේ ඉදිරියේදී කලා නිර්මාණ තුළින් ඔබව දැකගන්න පුළුවන් වේවි?

අපේ ජීවිතේ කියන්නේ කලාව. මම ජීවත්ව සිටිනතාක් කලාවෙන් තොර ජීවිතයක් නැහැ. මගේ තත්ත්වයත්, රටේ තත්ත්වයත් යහපත් වූ දවසක කලා නිර්මාණ සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.

මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙනවා කියලා දැන ගත්තහම කොහොමද ඒකට මුහුණ දුන්නේ?

මට මේ වගේ අසනීපයක් හැදෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මොකද මම හැම අවුරුද්දකම සෞඛ්‍යය පරීක්ෂණ සිදු කළා. මම මගේ ශරීර සෞඛ්‍ය ගැන ඉතාමත් සැලකිලිමත් වුණා. ආහාරපානවලින්, හැමදේකින්ම. නමුත් දෛවය අපට වෙනස් කරන්න අපහසුයි. රෝග තත්ත්වය ගැන දැනගත්ත පළමු දවසේ පොඩි දුකක් ඇතිවුණා. නමුත් ජීවිතේ කියන්නේ එහෙම තමයි යන එක මම තේරුම් ගත්තා. ඊට පසුව මෙයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මම කල්පනා කළා. අපි අහලා තියෙනවා මේ රෝගයට බෙහෙත් කරන්න කොපමණ වියදම් කළත් පලක් නැහැ කියලා. අපි බොහොම දුක් මහන්සියෙන් උපයා සපයා ගත් දේවල් විනාශ කරගෙන මගේ රෝගය සුවපත් කරගන්නවා කියන ආත්මාර්ථකාමී හැඟීම මට තිබුණෙ නැහැ. මොකද මගේ සැමියාට සහ දරුවාට හොඳින් ජීවත් විය යුතු පරිසරයක් තිබිය යුතු නිසා. නමුත් මගේ පවුලේ අය, නෑදෑයෝ සහ හිතමිත්‍රාදීන් පැවැසුවා කොපමණ වියදමක් ගියත් කමක් නැහැ ප්‍රතිකාර කළ යුතුයි කියලා. පසුව ප්‍රතිකාර සීයට සීයක්ම සාර්ථකව සිදුකළා. මට ප්‍රතිකාර කරපු වෛද්‍යවරු, අනෙකුත් කාර්ය මණ්ඩලය මට උපරිම විදිහට කරුණාවෙන් සැලකුවා.

මෙවැනි රෝගයක් සාර්ථකව පාලනය කරන්න මානසික ශක්තියත් වැදගත් වෙනවා එහෙම නේද?

ඔව්. අනිවාර්යයෙන්ම මම හිතනවා, මම මානසිකව ශක්තිමත් ගැහැනියක් කියලා. ඒකේ ශක්තිය මට ලැබුණේ මගේ මවුපියන්ගෙන් සහ වටපිටාවෙන්. මම කිසිම වෙලාවක මානසිකව වැටුණේ නැහැ. මම කාටවත් නපුරක්, කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි. මට මෙහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ. මේ පෙර ආත්මයක කරපු කර්මයක් අනුව සිදු වෙච්ච දෙයක්. මම මේ රෝගී තත්ත්වයෙන් සුවපත් වෙනවා. මම නිරෝගී පුද්ගලයෙක් බවට පත්වෙනවා කියලා සියයට සියයක්ම මගේ හිතේ විශ්වාසයක් තිබුණා.

ඔබ බොහෝ දෙනාගේ ආදර ගෞරවයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක්. කොහොමද මේ ආදරේ දිනා ගත්තේ?

මම ගමකින් ආපු කෙනෙක්. මගේ පෙනුම, ජීවන රටාව ඉතාම සරලයි. ඒ වගේම බොහෝ වෙලාවට මට ලැබුණේ ඉතාම අව්‍යාජ, චාම්, සරල සහ ආදර්ශවත් චරිත. මේ දේවල් නිසාම මා පිළිබඳව ආදරයක්, විශ්වාසයක් ප්‍රේක්ෂකයන් තුළ ඇති වුණා කියලා මම හිතනවා. ඒ විශ්වාසය සහ ආදරේ අවුරුදු තිස් ගණනක් තිස්සේ මම රැකගෙන ආවා. ඒ ලැබෙන ආදරය, ගෞරවය මට දැන් මගේ ශරීරයේ කොටසක් වගේ. ඒ ආදරය වෙනුවෙන් මට තව ජීවත් වෙන්න අවශ්‍යයි කියලා හිතෙනවා. ඒ ආදරය ඔෟෂධ හා සමානව මට බලපානවා.

අපි දකිනවා බොහෝ විවාහ ජීවිත තුළ සිදුවෙන දෙදරා යෑම්. සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක් හැටියට ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

දෙදෙනෙක් විවාහ ජීවිතයකට එළැඹෙන්නෙ, අඩුම ගාණේ අවුරුදු දහඅටක්, විස්සක් පසු වුණාට පසුවයි. ඔවුන් හාත්පසින්ම වෙනස් පවුල් පසුබිම දෙකක ජීවත් වුණු දෙදෙනෙක්. පළමුවැනි කාරණය දෙදෙනාගේම පවුල් පසුබිම් ගැළපෙනවද, අදහස් උදහස් ගැළපෙනවද කියලා හොයලා බලන්න අවශ්‍යයි. ආදරය කරන කාලෙදි අපේ සැබෑ ස්වරූපය එළියට එන්නේ නැහැ. අපි අනෙකා සමඟ සියයට සියයක් විවෘත වෙන්නේ නැහැ. සැබෑ ස්වරූපය, ගති පැවතුම් එළියට එන්න එකට ජීවත් වෙන විටයි. විවාහ ජීවිතයකට එළැඹුණාට පස්සේ දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න කලින් දෙදෙනාම තීරණය කළ යුතුයි තමන්ට මේ ජීවිතේ එකට ගෙනියන්න පුළුවන්ද කියලා. එහෙම බැහැ කියන එක යන්තමින් හරි හිතෙනවා නම් අහිංසක දරුවෙක්ට උප්පත්තියක් නොදී, අතරමං නොකර ඉන්න එක තමයි හොඳම දේ. මොකද කියනව නම් අපි දරුවෙක් හැදුවට පස්සේ අපේ ජීවිතේ ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී තීරණ ගන්න ස්වාධීන වෙලා විමුක්තිය හොයාගෙන යන්න අයිතියක් නැහැ. දරුවෙක්ට මව සහ පියා යන දෙදෙනාම අවශ්‍යයි. පවුල් ජීවිතේ ඇත්තට අපි සමබර වෙන්න උත්සාහ කරන්න ඕන. එකට ජීවත් වෙන විට කොහොමත් පොඩි පොඩි ගැටලු, මතභේද ඇතිවෙනවා. ඒක සාමාන්‍යයි. කවුරුහරි කියනවා නම් අපි කිරියි පැණියි වගේ ජීවත් වෙනවා කියලා ඒක අමූලික බොරුවක්. විශේෂයෙන් දරුවෙක් සිටිනවා නම් කැපවීමෙන් සහ වගකීමකින් යුතුව තීරණ ගන්න උත්සාහ කරන්න ඕන. මම හිතන්නේ එහි වැඩිපුර ගෞරවය හිමිවෙන්න ඕනෙ කාන්තාවන්ට.

මේ ජීවන ගමනේ දී ඔබට ඔබේ සැමියාගෙන් ලැබුණු සහයෝගය මතක් කරමු?

ගැහැනියක් බලාපොරොත්තු වන රැකවරණය, විස්වාසය සහ ආදරය නොඅඩුව මට ඔහුගෙන් ලැබුණා. ඒ වගේම කාන්තාවකට ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන් තම ස්වාමිපුරුෂයාගෙන් අගය කිරීම සහ ආදරය ලැබෙනවා. තමන්ව තේරුම් ගන්නවා නම් මම හරිම වාසනාවන්තයි. මට ඒ හැමදේම ලැබුණා. මගේ දුවත් මමත් පිටිපස්සේ නිරන්තරයෙන් මගේ සැමියා සිටියා. අපිට ආදරය, රැකවරණය ලබා දුන්නා.

ආඩම්බරකාර මවක් විධියට දුව ගැන මොකද හිතෙන්නේ?

දියුණුව, සාර්ථකත්වය වගේම සමාජය තුළ යහපත් හැසිරීම ආදිය තුළින් අපට වඩා එක අඩියක් හෝ ඉදිරියෙන් අපේ දරුවන් සිටිනවා දකින්න මවුපියෝ විධියට අපි කැමැතියි. ඒක තමයි මවුපියන්ගේ ලොකුම සතුට. ඒ අතින් බලනකොට මමත් මගේ සැමියාත් බොහොම වාසනාවන්තයි. තිසුරි නිසා මට ජීවත්ව සිටින කාලේ ලැබිය යුතු හැම ගෞරවයක්ම, හැම සතුටක්ම ලැබුණා. විශේෂයෙන්ම ගැහැනු ළමයෙක් සිටින අම්මා කෙනෙක්ට අනෙක් හැමදේටම වැඩියෙන් වටින්නේ ආත්මගරුත්වය. මට හරිම සතුටුයි මගේ දරුවා ගැන.

මෙතෙක් ආපු ගමන ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

මම 1987දී රන්මසු උයනින් පටන් ගත්තු රංගන ජීවිතය තුළ මගේ දුව ලැබීමෙන් පස්සේ අවුරුදු දෙකක් විතර මම රංගනයෙන් අෑත් වෙලා සිටියා. ඒ හැරෙන්න මම මාස දෙකක් එකදිගට ගෙදර ඉඳලා නැහැ. හැමදාම රූගත කිරීම්. මම හැමදාම රසිකයන්ගේ හදවත් තුළ රැඳෙන විදිහට වැඩකටයුතු කළා. මට රසිකයන්ගෙන් විශාල ආදරයක් ලැබෙනවා. ඇත්තටම සතුටුයි.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ බලාපොරොත්තු බොහොමයක් මේ වනවිට ඉටු වෙලයි තිබෙන්නේ. ඉතින් ඉදිරියටත් කාටවත් කරදරයක් නොවී හිත සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

(කුශාන්ති අනුරාධා බණ්ඩාර – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x