ඡායාරුප ගැලරියේවිශේෂාංග

දවසේ ආදායම 75,000 පන්නන මින්නේරිය වැව අයිනේ නාලකගේ බුලත් විට

අප රටේ අස්සක් මුල්ලක් නෑර කොතැනක වුව ද බුලත්විට කඩයක් තිබෙනු දැකීම එතරම් අරුමැසි දසුනක් නොවේ. ගමේ හෝ නගරයේ කොතැනක වුව ද එපමණට ම බුලත්විට කඩ තිබේ. දිනකට බුලත්විට 1,500ක් පමණ විකුණා නගරයේ සිල්ලර කඩයක දිනක වෙළෙඳාමට නොදෙවනි ආදායමක් ලබන බුලත්විට කඩයක් වෙතැයි කීවොත් බොහෝවිට යම් කෙනෙකු පුදුමයට පත් කරවන බව නොරහසකි.

‘නාලකගේ බුලත්විට කඩේ’ යනුවෙන් බොහෝ දෙනා හඳුන්වන මේ අපූරු බුලත් විට කඩය පිහිටා ඇත්තේ මින්නේරියේ වැව පාමුලට වන්නට ය. පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරය පසුකර හබරණ දෙසට මඳ දුරක් යනවිට ආයුර්වේද දිසා රෝහලට නුදුරුව වම් පස මේ බුලත්විට කඩය නෙත ගැටේ.

කොරෝනා වසංගතය නිසා බොහෝ වෙළෙඳ ව්‍යාපාර අඩාල වී තිබෙන මේ කාලයේත් ඉතා පහසුවෙන් දිනකට බුලත්විට 1,500ක් පමණ අලෙවිකරන බව අපට දැනගන්නට ලැබිණි. එම බුලත්විට කඩේ හිමිකරු ඊ.එම්. නාලක මහතා අප සමග ප්‍රකාශ කළේ, මේ දිනවල බුලත්, පුවක් ආදියෙහි මිල ඉහළ ගොස් තිබෙන නිසා නිෂ්පාදන වියදම ඉතාමත් වැඩි බවය. එසේ වුව ද බුලත්විටක් අලෙවි වන්නේ රුපියල් 50ක මිලකට බව හෙතෙම පැවසීය.

ඔහුගේ ප්‍රධාන ගනුදෙනුකරුවන් සමාජයේ විවිධ තරාතිරම්වල අය බව හෙතෙම කීය. පාපැදියේ පටන් සුඛෝපභෝගී වාහනවලින් ගමන් යන උදවිය පවා නාලකගේ බුලත්විට කඩය ඉදිරිපිට නවතා විටක් මිලදී ගැනීමේ සිරිතක් පවතින බව අපට දැනගන්නට ලැබිණි. ටිපර් රථ, ලොරි රථ, බස් රථ ආදියෙහි රියැදුරන් නාලකගේ බුලත්විට කඩය ගැන හොඳට ම දනී. ඔවුන් ඔහුගෙන් බුලත්විට මිලදී ගනු ලබන්නේ එකක් දෙකක් නොව පහක්, හයක්, දහයක්, පහළොවක්, විස්සක් ආදී වශයෙනි. මින්නේරිය පසුකර කොයි දෙසට ගමන් ගිය ද සිය ගමනාන්තය තෙක් ගොස් ආපසු පැමිණෙන තෙක් ම අතරමගදී කන්නට ඇවැසි බුලත්විට සිය වාහනයේ තබා ගැනීමට රියැදුරු මහත්වරුන් සහ රිය සහායකවරුන් පුරුදු වී සිටිති. එම නිසා ඔවුන් එලෙස බුලත්විට වැඩිපුර මිලදී ගන්නා බව නාලක අප සමග පැවසීය.

“මේ බුලත්විට කඩේ මුලින් ම ආරම්භ කරලා තියෙන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ එක්දාස් නවසිය හැටේදී විතර. පවුලේ දරුවෝ අටදෙනෙක් ජීවත් කෙරෙව්වේ මේ කඩෙන් ලැබුණු ආදායමෙන් කියලයි අපේ අම්මා කියන්නේ. ලංකාවේ කොහේවත් නැති විධියේ හොඳ ම බුලත්විට දෙන්නේ අපේ කඩේ කියලා රියැදුරු මහත්තුරු කියනවා. ඒ කියන්නේ සුපිරි බුලත්විට කියලා. ඒ තරම් හොඳට අපි බුලත්විට දෙනවා. පුවක් ගෙඩි තුනක් කපලා දානවා. බුලත් කොළ පහක්, හුනු, දුම්කොළ වුවමනා තරම් ගන්න මුදලට ණය නැති විධියට බුලත්විට පිළියෙල කරනවා. ඒ හින්දා කිසි ම කෙනෙක් ‍දොසක් කියන්නේ නෑ. මේ අවට බුලත්විට කඩවල් ගණනාවක් තියෙනවා. ඒ හැම එකක් ම අපි මේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ආරම්භ කළ ඒවා. නමුත් අපේ වෙළෙඳාමට එයින් කිසි ම අභියෝගයක් නෑ. දවසින් දවස අපේ වෙළෙඳාම වැඩි වෙනවා මිසක අඩුවක් නෑ.”

නාලකගේ මව කේ. උක්කුඅම්මා මාතාව මේ වනවිට 75 වන වියේ පසුවන්නීය. අදින් හැට වසරකට පමණ ඉහත සිය සැමියා සමග එක්ව මුලින් ම බුලත්විට කඩය ඇරඹූ අයුරු අතීත මතකයන් ද සමගින් ඇය සිහිපත් කළාය.

“මම මින්නේරියෙ ම උපන් කෙනෙක්. මින්නේරිය වැව පාමුල තියෙන මේ ගමට කියන්නේ හේන්යාය කියලා. මගේ අම්මත් ඉපදිලා තියෙන්නේ මේ මින්නේරියේ හේන්යාය ගමේ තමා. මගේ තාත්තා කපුරාලගේ කිරිබණ්ඩා. මින්නේරිය වැවේ දේවාලේ ලොකු කපු මහත්තයා. අපි මේ මහපාර අයිනේ බුලත්විට කඩේ දාන කාලේ මේ පළාත දැන් වගේ දියුණු නෑ. ඒත් බුලත්විට වෙළෙඳාම හරි සරුයි. අපි පස්සේ තේ කඩෙත් පටන් ගත්තා. පලතුරු වගේ දේවලුත් වික්කා. ඒ කාලෙත් දැන් වගේ ම තමයි අපේ කඩේ බුලත්විටට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. එතකොට බුලත්විටක් සත දහයයි. මුලදී ම බුලත් කොළ තුනක් විතර දාලා බුලත් විට හැදුවේ. ගන්න අයගේ මූණ හොඳ නෑ. කෝ මේකේ දෙන්නෙකුට කන්නවත් බුලත් නෑනේ කියලා සමහරු කියනවා. පස්සේ මම කළේ බුලත් කොළ දහයක් විතර දාලා බුලත්විට හැදුවා. ඒත් ගාණ වැඩි කළේ නෑ. ඉන් පස්සේ අපේ බුලත්විටට ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඒ කාලේ නළු නිළියෝ පවා ඉඟුරු දාලා තේ එකක් බොන්න, බුලත්විටක් කන්න කියලා අපේ කඩේට එනවා. මට මතකයි විමල් කුමාර ද කොස්තා, ෆ්‍රෙඩී සිල්වා, මල්ලිකා කහවිට ඒ අය කිහිපවතාවක් අපේ කඩේට ගොඩවෙලා තියෙනවා.”

අපගේ මේ සටහනෙහි කතානායකවරයා නාලක පවසන පරිදි දිනකට වෙළෙඳාම සඳහා අවැසි පුවක් ගෙඩි ප්‍රමාණය තුන් දහස් පන්සීය ඉක්මවයි. බුලත් කොළ හය දහසකට ආසන්න ප්‍රමාණයක් දවසේ වෙළෙඳාමට අවශ්‍ය වේ. සිංහල දුම්කොළ සහ පැණි දුම්කොළ යන දුම්කොළ වර්ග දෙක ම යොදා බුලත්විට වෙන් වෙන්ව සකස්කරනු ලබයි.

බුලත්විට අලෙවිකරන කුඩා කඩයක එක් දිනයක වෙළෙඳාම රුපියල් 75,000ක් පමණ යනු ලොකු ආදායමක් නොවේ දැයි අප නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි වෙළෙඳාමක් තිබීම ගැන තමන් ඉතාමත් සතුටු වන බවයි. නමුත් කලින් කලට බුලත්, පුවක් ආදියෙහි මිල ඉහළ පහළ යන නිසා ලැබිය හැකි ලාභය අඩු වැඩි වන බව නාලක පෙන්වා දෙයි. ඒ සම්බන්‍ධයෙන් පැහැදිලි කරන ඔහු මෙසේ පැවසීය.

“බුලත්, පුවක් මිල වරින්වර වෙනස් වෙනවා. දැන් පුවක් ගෙඩියක මිල රුපියල් 12ක්. සමහර කාලවලට පුවක් ගෙඩිය රුපියල් 25ට යනවා. දැන් දුම්කොළ 50 කට්ටයක් රුපියල් 1,500යි. ඒත් අපේ බුලත්විටේ මිල අපි වැඩි කරන්නේ නෑ. එහෙම කළොත් වෙළෙඳාම නැති වෙනවා. ඒ නිසා අතේ පාඩුවට හරි මේක පවත්වාගෙන යනවා. සමහර කාලවලදී පුවක් ගෙඩියක් රුපියල් 3.00, 3.50ට මිල බහිනවා. එතකොට බුලත්විටකින් රුපියල් 15ක් විතර ලාභ තියෙන අවස්ථාත් තියෙනවා. තව මාස එකහමාරක් යනකොට පුවක් මිල පහළ බහිනවා. මම දැනටත් එකවතාවකට පුවක් ගෙඩි 15,000ක් 16,000ක් විතර මිලදී ගන්නවා. දවස් දෙකකට වතාවක් බුලත් සපයන කෙනෙක් ඉන්නවා.”

නාලකගේ බුලත්විට කඩේ දෛනික කටයුතු පිළිබඳව අප විමසූවිට ඔහු පිළිතුරු දුන්නේ මේ අන්දමටය.

“අපි දවසේ වෙළෙඳාම පටන් ගන්නේ පාන්දර 4.00ට. ඒ වෙලාවටත් බුලත්විට ගන්න වාහන නතර කරනවා. සමහර අය තේ බොන්නත් එනවා. විශේෂයෙන් ම එළවළු ගේන්න දඹුල්ලේ යන ලොරි, බස්, ටිපර්, වෑන් වෙනත් වාහනත් නතර කරනවා. දවස පුරා ම එක විධියට අපිට වෙළෙඳාම එක විධියට තියෙනවා. ආපහු රෑ 10.00ට තමා කඩේ වහන්නේ. අක්කයි, මමයි. අක්කගේ බෑනයි අපි තුන් දෙනා මාරුවෙන් මාරුවට කඩේ ඉන්නවා. දවසේ වැඩි කාලයක් කඩේ ඇරලා තිබුණා කියලා ඒක අපිට වෙහෙසකර කටයුත්තක් නෙවෙයි. අපේ ගොඩක් ගනුදෙනුකරුවෝ දන්නවා උදේ පාන්දර කඩේ අරිනවා කියලා. ඒ වගේ ම රෑට අපි කඩේ වහන වෙලාව පිළිබඳවත් සමහර විට ඈත දුර ගමනක් ගිහිල්ලා එන අය බුලත් විට ගන්න වෙන කොහේවත් නතර නොකර අපේ කඩේට ම එනවා.”

නාලක බුලත් විට වෙළෙඳාම මූලිකව කරන අතර එයට සමගාමීව තේ කඩයක් ද පවත්වාගෙන යයි. එහි ආප්ප, පිට්ටු, ඉඳිආප්ප, ලැවරියා, තෝසේ ආදිය මෙන් ම, පාන් සහ පාන් පිටි ආශ්‍රිතව නිපදවන කෑම වර්ග ද අලෙවි කරනු ලබයි. මේ දිනවල කොරෝනා වසංගත තත්ත්වය නිසා එම තේ කඩය තාවකාලිකව වසා දමා තිබෙන බව ද නාලක කීය. මේ සියලු ව්‍යාපාරික කටයුතු සඳහා තම නැගණියත් අක්කා සහ ඇගේ දියණියගේ සැමියා හෙවත් බෑනා ද සහාය වන බව නාලක පැවසීය.

“මම තව ම විවාහ වෙලා නෑ. තනිකඩ ජීවිතයක් ගෙවන්නේ. ඉතින් ඒ නිසා මගේ නංගී අක්කාගේ පවුලේ අය ඒ අයගෙන් ලැබෙන සහයෝගය හරිම අගෙයි. මම මේ උපයන ආදායම අපි පවුලේ සියලු දෙනාගේ ම වියපැහැදම් සඳහා යොදා ගන්නවා. ගෙවල් ‍දොරවල් හොඳට හදාගෙන තියෙනවා. ණය වෙන්නේ නැතිව කාටවත් අත නොපා ජීවත් වෙනවා. ඒ ගැන අපිට සතුටුයි. අපි කලින් මේ වෙළෙඳාම කළේ මීට යාබදව තාවකාලිකව හදාගත්තු තැනක. දැන් ස්ථිර ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. මීට අවුරුද්දකට විතර කලින් තමා මේ අලුත් ගොඩනැගිල්ලේ වෙළෙඳාම් පටන් ගත්තේ. කඩේ හදන්න රුපියල් ලක්‍ෂ 20කට වැඩි මුදලක් ගියා. ඒ සේර ම මුදල් මේ බුලත්විට කඩේ ඇතුළු වෙළෙඳාමෙන් හරි හම්බ කරපු ඒවා. මම සතුටු වෙනවා ඒ සියල්ලක් ම කරන්න පුළුවන් වුණේ මේ බුලත්විට වෙළෙඳාමෙන්.”

මින්නේරිය, හේන්යාය ගමේ වෙසෙන ඒකනායක මුදියන්සේලාගේ නාලක දිරිය තරුණයෙකු බව ඔහුගේ ස්වයං රැකියාව සමඟ බැඳුණු දින චර්යාව අධ්‍යයනය කිරීමෙන් පැහැදිලිවෙයි. දිනපතා අලුයම 4.30 පමණ දවස අරඹන ඔහු රාත්‍රි 10.30 දක්වා සිය ජීවන වෘත්තිය වෙනුවෙන් කාලය කැප කරනුයේ අධිෂ්ඨානශීලීවය. එය වත්මන් සමාජයේ වෙසෙන බොහෝ දෙනාට සපයන ආදර්ශයක් බව ද නිර්භයව සඳහන් කළ හැකිය.

(අනුරාධ විශ්වනාත් – මව්බිම පුවත්පත)

Related Articles

1 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x