ඡායාරුප ගැලරියේවිශේෂාංග

තිහේ බිත්තරය තුන්සිය පනහට විකුණා ව්‍යාපාරිකාවක් වුණු සාලිනී

සුන්දර නුවර පළාත ස්වභාව සෞන්දර්යටත්, කිරි ගොවිපොළවල් සහ කුකුල් ගොවි පොළවල්වලටත් මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේය. මීදුමින් වැසී ගිය කඳුයායකින් වටවුණු තැනක ඇති එවැනි ගොවිපොළක් දෙස මොහොතක් බලා සිටින්නට ඇත්නම් එය කෙතරම් නෙත්කළු දර්ශනයක් වේද. අද අපේ කතාවේ කතා නායිකාවත් සුන්දර නුවර ප්‍රදේශයේ එවැනිම ගොවිපොළකට හිමිකම් කියන්නියකි.

ඇය සාලිනී ලක්මාලිය.

විසිහත් හැවිරිදි සාලිනී නුවර, අන්කුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. විවාහයෙන් පසුව ගෘහනියක් ලෙසින් කාලය ගත කළ ඇගේ සැමියා රජයේ සේවකයෙකි. තම සැමියා උපයන මුදල අරපිරිමැස්මෙන් වියදම් කරමින් ගෙදරදොරේ වියහියදම් මෙන්ම දෙමව්පියන්ගේ සහ දරුවාගේද වැඩ කටයුතු යාන්තමින් පිරිමහා ගත් ඇයට, එතනින් එහාට අනාගත දියුණුවක් ගැන සිතීමට නොහැකි වූවාය. දියණියගේ වැඩ කටයුතු නිසාවෙන් අමතර රැකියාවක් කීරීමටද ඇයට හැකියාවක් තිබුණේ නැත.

එහෙත් ඇය නිතරම සිතුවේ තම පවුලේ ආර්ථිකයට ශක්තියක් වීමටය. ගෙදරදොරේ කෑමබීම වියදම පිරිමසා ගැනීමට හෝ කීයක් හරි උපයාගත හැකි ක්‍රමයක් පිළිබඳවය.

එදත් සුපුරුදු පරිදි සැමියා රැකියාවට ගිය පසු ඇය දරුවාගේ කෑමවේල පිළියෙල කළාය. ඇය එයට තම්බාගත් ගම් බිත්තරයකුත්, අර්තාපල් ගෙඩියකුත් එක් කළේ කැමවේලේ තිබිය යුතු පෝෂණය ගැන සිතී නිසා විය යුතුය.

“ඔයා කැමතිද රුපියල් තිහට බිත්තරයක් ගෙනල්ලා තුන්සිය පනහට විකුණන්න?”

ඒ මොහොතේ මුළුතැන්ගෙයි සිටි සොයුරා කී අපභ්‍රන්ස කතාවට කොක් හඬලා සිනාසුණු ඇය, එනිසාම තමන්ට මුළු නුවරම ප්‍රසිද්ධියට පත් ගොවිපොළක හිමිකාරිනියක් වීමට හැකිවේයැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.

“ගෙදර අය කිව්වම රුපියල් තිහේ බිත්තරේ තුන්සිය පනහට විකුණන්න කියලා. එදා මට පොඩි තරහකුත් ආවා. ඒ වගේම ඒ කතාවෙ මුල, මැද, අග තේරුම්ගන්න මට සතියක් විතර ගියා.”

ඇය කියන්නේ සුන්දර සිනහවක්ද මුවඟ රඳවාගෙනය.

“ඊටපස්සෙ තමයි එයාලා මට කිව්වෙ කැමති නම් කුකුල් ගොවිපොළක් පටන් ගන්න කියලා. එතන ඉඳලා මම නුවර ගොවිපොළවල්වලට ගිහිල්ලා මේ ගැන හොයලා බැලුවා. ඒවගේම දන්න අඳුරන ගොවි මහත්තුරුන්ගෙනුයි, කෘෂිකර්මෙනුයි උපදෙස් අරන් ඒ ගැන අධ්‍යනයක් කරා.

මේක ගොඩක් අය නොකරන ව්‍යාපාරයක් නිසා හිතට පුංචි තිගැස්මකුත් ආවා. ඒත් ඊටපස්සෙ හරියන්න හරි වරදින්න හරි දෙයක් කරන්න එපැයි කියලා හිතලා මං ෆාම් හවුස් එක පටන් ගන්න තීරණය කරා.”

පසුව ඇය එම අදහස තම සැමියාටද කියා සිටියාය. හිතුවාටත් වඩා ඉහළින් ඔහුගේ සහයෝගය හිමිවද්දී ඇයට කියාගත නොහැකි සතුටක්ද ඇතිවිය.

නුවර ජීවත්වන සාලිනීලාට වත්ත පිටියේ ඕනෑතරම් ඉඩ පහසුකම් ඇත. ගෘහනියක වූ නිසාවෙන් ඒ සඳහා යෙදවීමට කාලය, ශ්‍රමයද ඇයට තිබුණාය. නොතිබුණේ ව්‍යපාරයකට අතගැසීමට තරම් ආර්ථික ශක්තියක් පමණි.

එහෙත් මුදල බාධාවක් කරගෙන ඉදිරියට තැබූ පය ආපස්සට ගැනීමට සාලිනී අකමැති වූවාය. පසුව සැමියා ගෙදර වියදමට දී තිබූ රුපියල් හාරදහසක්ද රැගෙන මාවනැල්ලේ කුකුල් ගොවිපොළක් වෙතට ගිය ඇය එයින් ගෙනා ගම් බිත්තර එකසිය අසූවකින් ව්‍යාපාරයට අත ගැසුවාය.

පසුව එම ගොවිපොළෙන්ම ගෙනා ඍජිෆෝම් ඉන්කියුලේටර් මැෂින් (කුකුල් බිත්තර රකින යන්ත්‍රය) සිය ගෙවත්තේම සවි කරගත් ඇය ව්‍යාපාරයට සුදුසු වටපිටාව සිය ගෙවත්තේම සාදාගත්තේ පවුලේ සාමාජිකයන්ගේද උදව් ඇතිවය.

“ඉන්කියුලේටර් මැෂින් ඇතුළෙ දැල් එලලා, ඒවාගෙ බිත්තර අතුරලා උදේට හවසට දෙපැත්ත පෙරලන්න ඕනා. ඊට දවස් දහ අටකට පස්සේ බිත්තර අරන් රෙදි කෑලි උඩ අතුරන්න ඕන. ඊටපස්සේ දවස් 21ක් යද්දි බිත්තර පුපුරලා කුකුල් පැටවු එළියට එනවා.”

ඇය කියන්නීය.

එහෙත් එහි අපහසුම කාර්යය කිරීමට තිබෙන්නේ ඉන් අනතුරුවය.

“ඊටපස්සෙ පැටවුන්ට මාස තුනක් යනකන් ගැනා ටෙක්සීල් කියන බෙහෙතයි, ඊ විටමින් එකයි පොවන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ අය නීරෝගිව ලොකු වෙන්නේ. ඒත් පොඩි කුකුල් පැටවුන්ට බෙහෙත් බොන්න තේරෙන් නැති නිසා ඒ හැමෝටම මම සිලින්ජරේකින් බෙහෙත් පොවන්න ඕන.”

ඔලුව කැක්කුමට පැනඩෝල් පෙත්තක් බීමටත් තවත් අයෙකුගේ පානෙන් වතුර වීදුරුවක් කකුල් දෙක ළඟට ගෙන්වා ගන්නා අපට, දිනකට කුකුල් පැටවු පන් හයසීයකට බෙහෙත් පොවන ඇයගේ මහන්සිය ගැන සිතා ගැනීමටද නොහැකිය.

මාස තුනක් ගත වූ පසු මුල්ම බිත්තර එකසිය අසූවෙන් ඇයට ලබාගත හැකි වූයේ කුකුල් පැටවුන් එකසිය විස්සක් පමණි. එයින් මුල්ම පැටවු සියදෙනා ඇය විකුණා ගත්තේ නුවර ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකුටය. ඒ පැටවෙකු රුපියල් දෙසිය අසූවක් වැනි මුදලකටය.

එතැන් පටන් තම ගොවිපොළ සාර්ථකව කරගෙන ගිය සාලිනීගේ ඊළඟ ගැටළුව වූයේ මේ පිළිබඳව මිනිසුන් දැනුවත් කරන්නේ කෙසේද යන්නය.

“ගොඩක් අය මට කිව්වා බිස්නස් හදාගන්න ඕන නම් ටවුවෙන් ඉඩම් කෑල්ලක් බදු ගන්න කියලා. ඒත් ඒව කරන්න මට සල්ලි තිබුණෙ නෑ. ඒක නිසා මම ගොවිපොළේ සේරම විස්තර මගේ ෆේස්බුක් එකේ දාලා ප්‍රසිද්ධ කරා. ඇත්තම කිව්වොත් ඒක මං හිතුවටත් වඩා සාර්ථක වුණා.”

ඒ වනතුරුත් අසල්වාසීන් අතර පමණක් ප්‍රසිද්ධව තිබූ ඇගේ ගොවිපොළෙන් පැටවු ඉල්ලා ගාල්ලෙන්, මාතරින් මෙන්ම කොළඹින්ද ඇමතුම් ගලා ආවේය. පාරිභෝගිකයන් වැඩි වීමත් සමඟ ඇයට මාස තුනකට වරක් රක්කවන බිත්තර ප්‍රමාණයත් වැඩි කරන්නට සිදුවිය.

එමෙන්ම සාලිනීගේ ගොවිපොළ කාඅතරත් වැඩියෙන් කතාබහට ලක් වූයේ එහි තිබූ පිරිසිදුකම සහ පිළිවෙලත් නිසාමය.

“අද වෙනකොට මම මේ ගොවිපොළෙන් මාසෙකට රුපියක් තිස්දාහකට නොඅඩු හොඳ ආදායමක් ගන්නවා. මගේ ඊළඟ බලාපොරොත්තුව මේ ගොවිපොළ ටවුමේ තැනකට ගෙනියන එක. මං වගේම අනිත් ගෘහනියන්ටත් මං කියන්නේ ගෙට වෙලා නිදාගෙන ලෙඩ වෙන්නෙ නැතුව දෙයක් කරන්න උත්සාහ ගන්න කියන එක.”

(ලිහිණි මධුෂිකා – ධරණී පුවත්පත)

Related Articles

4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x